“තුන්වන තරගයේ දී ධනාත්මක වෙනසක් දකින්න බලාපොරොත්තු වෙනවා” – Grant Flower

ශ්‍රී ලංකා - බංග්ලාදේශ එක්දින තරගාවලිය 2021

181

ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබිය දී ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ කණ්ඩායම පසුගියදා සමත් වුනා. මෙම තරගාවලිය ඉතිහාසගත වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමක් හමුවේ ඔවුන් ලැබූ පළමු තරගාවලි ජයග්‍රහණය ලෙසයි. 

මුල් තරග දෙකේ අමිහිරි පරාජයෙන් අනතුරුව ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු Grant Flower හෙට (28) දින පැවැත්වෙන තුන්වන සහ අවසන් තරගය පිළිබඳව අදහස් දක්වා සිටියා. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන නිරෝශන් දික්වැල්ල පසුගිය තරග දෙක සඳහා ක්‍රීඩා නොකිරීම බොහෝදෙනාගේ අවධානයට යොමුව තිබුනා. මීට පෙර පැවති තරගවලදී දික්වැල්ල ඉහළ දස්කම් දැක්වීමට සමත් වීම විශේෂත්වයක්. 

“මම හිතන්නේ ඔහු හෙට තරගයට ක්‍රීඩා කරාවි. ඔහු කණ්ඩායමට එක්වෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා. ඔහු පුහුණු තරගයේ දීත් හොඳින් ක්‍රීඩා කළා. අපි හෙට වෙනස්කම් කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔහු දැන් ඉන්න හොඳම කඩුලු රකින්නන්ගෙන් කෙනෙක්. හෙට ඔහුව යොදාගන්න ලොකු ඉඩක් තියෙනවා.” 

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය තරග දෙක තුළ දඟපන්දු යවන්නන් හමුවේ අසාර්ථක වීම තරග පරාජයට ප්‍රධාන හේතුව වුනා. ඒ පිළිබඳව ද Grant Flower අදහස් දක්වා සිටියා. 

“ඇත්තෙන්ම මම හිතන්නේ ඔවුන් අසාර්ථක වෙන්නේ තාක්ෂණික ගැටළු සහ මානසික ස්ථාවරත්වයක් නොමැති වීම නිසා. ගොඩක් දුරට හේතුවෙන්නේ මානසිකත්වය. මම ඔවුන් එක්ක පුහුණුවීම් වලදී කටයුතු කරද්දී මම දකිනවා, ඔවුන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කරනවා. නිදහසේ ක්‍රීඩා කරනවා. ඒත් තරගයට ගියාම ඔවුන් වෙනස්. තරගයේ පීඩනය නිසා ඔවුන්ගේ මානසිකත්වය බිඳවැටෙනවා. ඔවුන් පහර එල්ල කරන්නේ කෙළින්ම පන්දු රකින්නන්ට. ඔවුන් තරගය මැදදී තැතිගන්නවා. අපි මේ ගැන ඔවුන් එක්ක සාකච්ඡා කළා. ඔවුන්ගේ අඩුපාඩු හදාගන්න පුහුණු වුනා. මම හිතනවා හෙට තරගයේ දී යම් ධනාත්මක වෙනසක් දකින්න පුළුවන් වේවි කියලා.”  

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය සඳහා ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් නොමැතිව සහභාගී වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා පිතිකරණය අසාර්ථක වීමට ප්‍රධාන හේතුව ජ්‍යෙෂ්ටයන් නොමැති වීමද? Grant Flower ඒ පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසක්. 

“ජ්‍යෙෂ්ටයන් නොමැති එක බලපාන්න පුළුවන්. ඒත් අපි මේ කණ්ඩායමට එක්කළ ක්‍රීඩකයන් ඉතාමත් දක්ෂ ක්‍රීඩකයන්. ඔවුන්ට අත්දැකීම් අඩු වීම තමයි ප්‍රධාන හේතුව. බංග්ලාදේශ කණ්ඩායම ගත්තම Mushfiqur Rahim, Tamim Iqbal වගේ ක්‍රීඩකයන් අත්දැකීම් බහුල ක්‍රීඩකයන්. තරුණ කණ්ඩායමකින් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය. කණ්ඩායමක් රිද්මයට එන්න ටික කාලයක් යනවා. මම හිතනවා ඔවුන් ඉදිරි තරග හොඳින් ක්‍රීඩා කරාවි කියලා.”  

“පිතිකරුවන් powerplay එකේදී උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. නැත්නම් මැදපෙළ පිතිකරුවන්ට ලොකු පීඩනයක් එනවා. මැදපෙළ පිතිකරුවන්ට ලොකු වේගයකින් ලකුණු ලබාගන්න වෙනවා. ඉදිරිපෙළ සහ මැදපෙළ පිතිකරණය ඉතාමත් වෙනස්. ක්‍රීඩා කරන්න ඕනේ විදිහ තේරුම් ගන්න ඔවුන් තරග ක්‍රීඩා කරන්න ඕනේ. අත්දැකීම් එක්ක තමයි ඔවුන් දියුණු වෙන්නේ.” 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:  

බංග්ලාදේශයට ඉතිහාසගත තරගාවලි ජයක්

“සල්ලිවලට මොකද වුනේ?” – Hodgeගේ සටහනෙන් BCCIයේ ඇස් ඇරේ!

‘ඇයි අනියත බියක්? තරගාවලියේ කිසිදු වෙනසක් නැහැ” – BCB සීරුවෙන්

පාකිස්තාන ප්‍රවීණයාට PSL අහිමි වෙයි

“අපි තාමත් උපරිමයෙන් දක්ෂතා දක්වලා නැහැ” – බංග්ලාදේශ නායක

“සාමාන්‍යයෙන් අපේ කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩා කරන්නේ ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන්. ඔවුන් දන්නවා ක්‍රීඩා කරන්න ඕනේ ආකාරය. අපි කිසිම ක්‍රීඩකයෙක්ට කණ්ඩායමේ දොර වහලා නැහැ. ඔවුන්ව ඉදිරි තරග සඳහා තෝරාගනීවි. ඒත් දැනට අපි අවධානය යොමු කරලා තියෙන්නේ මේ ක්‍රීඩකයන්ට.” 

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියෙන් අනතුරුව එංගලන්තය සමඟින් එක්දින තරගාවලියක් සඳහා එක්වීමට නියමිතයි. එම තරගාවලිය සඳහා සංචිතයේ වෙනස්කම් සිදුවීමට ඉඩ ඇති බව Grant Flower පවසා සිටියා. 

“යම් යම් වෙනස්කම් කීපයක් සිදුවෙන්න පුළුවන්. මට ඒ ගැන තවමත් සහතික කරන්න බැහැ. එංගලන්තය අපිට ලොකු අභියෝගයක්. ඔවුන්ගේ පන්දු යැවීම ඉතාමත් ඉහළ මට්ටමක තියෙන්නේ. විශේෂයෙන් ඔවුන්ගේ රටේදී. මම ක්‍රීඩකයන්ට කලින් දවසේ ඒ ගැන පැහැදිලි කළා. ඔවුන් හිතනවා නම් බංග්ලාදේශ පන්දු යවන්නන් අභියෝගයක් කියලා, අපිට ඊළඟට තියෙන්නේ එංගලන්ත තරගාවලියක්. ඉන් අනතුරුව අපි ඉන්දීය කණ්ඩායම එක්ක ක්‍රීඩා කරනවා. ඒ නිසා අපි අභියෝග ජයග්‍රහණය කරන්න ඕනේ. ඒ ඒ තත්ත්වයට ගැලපෙන විදිහට අපි වෙනස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙනත් ක්‍රීඩකයන් ඒ තැනට එනවා. ඒක තමයි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා කියන්නේ.” 

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තුන්වන එක්දින තරගය හෙට (28) පැවැත්වීමට නියමිතයි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<