අවසන් මහා තරග 26 වැනිදාට කල් යයි

524
Munchee National Volleyball

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයත්, මන්චී ආයතනයත් එක්ව සංවිධානය කරනු ලබන “මන්චී ජාතික වොලිබෝල් තරගාවලියේ” අවසන් මහා තරග 26 වැනි සෙනසුරාදා දක්වා කල් දැමීමට සංවිධායකයින් කටයුතු කර ඇත.

පසුගිය ලිපි: යුධ හමුදාවෙන් සුපිරි දස්කම්

නොවැම්බර් මස 25 වැනි සිකුරාදා පැවැත්වීමට සැලසුම් කල අවසන් මහා තරග, 26 වැනි සෙනසුරාදා දක්වා කල් දමා ඇත්තේ ජාතික ක්‍රීඩාවට ආදරය කරන්නාවූ ප්‍රේක්ෂකයින්ට විවේකීව සති අන්තයේ තරග නැරඹීමට අවස්තාව උදාකරනු වස්ය.

පුරා මාස එකහමාරක කාලයක් තිස්සේ පැවති ජාතික තරගාවලිය, ආධුනික සහ සුපර් ලීග් ලෙස කාණ්ඩයන් දෙකක් ඔස්සේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විය.

සුපර් ලීග් කාණ්ඩයේ කාන්තා සහ පිරිමි අංශයන් හි අවසන් පූර්ව තරග නොවැම්බර් මස 15 වැනිදා පැවති අතර එහිදී, විදුලි බල මණ්ඩල ක්‍රීඩා සමාජය විසින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය තරග වට 3:1 ලෙස පරාජය කරමින්ද, වරාය අධිකාරී කණ්ඩායම විසින් යුධ හමුදා කණ්ඩායම තරග වට 3:0ක් ලෙසද පරාජය කරමින් පිරිමි අංශයෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදී.

එදිනම පැවති කාන්තා තරගවලින්, ගුවන් හමුදා කණ්ඩායම විසින් යුධ හමුදා කණ්ඩායම තරග වට 3:0 ලෙස පරාජය කරමින් ද, කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජය විසින් නාවික හමුදා ක්‍රීඩා සමාජය තරග වට 3:0ක් ලෙසද පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසෙන ලදී.

ආධුනික අංශය දෙස අවධානය යොමු කිරීමේදී, නොවැම්බර් මස 15 වැනිදා පැවති අවසන් පූර්ව වටයේ තරගවලින් වාසනා බේකර්ස් කණ්ඩායම තරග වට 3:2ක් ලෙස පරාජය කරමින් සරත් ජෙම්ස් ක්‍රීඩා සමාජයත්, විවේකානන්ද ක්‍රීඩා සමාජය තරග වට 3:1ක් ලෙස පරාජය කරමින් නිව්ස්ටාර් ක්‍රීඩා සමාජයත්, පිරිමි අංශයෙන් අවසන් මහා සටනට සුදුසුකම් ලබා ගන්නා ලදී.

පැවති කාන්තා අවසන් පූර්ව තරගවලදී කැෂුවල් ලයින් කාන්තාවන් තරග වට 3:1ක් ලෙස පරාජය කරමින් ගුවන් සෙබලියන්ද, යුධ හමුදා ක්‍රීඩිකාවන් තරගවට 3:1 ලෙසට පරාජය කරමින් බෝයගම සිරි පැරකුම් ක්‍රීඩිකාවන්ද අවසන් මහා සටනට සිය අසුන් වෙන් කරගන්නා ලදී.

කාණ්ඩයන් දෙකේම අවසන් මහා තරග නොවැම්බර් මස 26 වැනිදා පැවැත්වීමට නියමිත අතර ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජය සංකේත ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුකෙරෙනු ඇත.

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් ක්‍රීඩා පිටුවට