දෛවයට සරදම් කරන්න Mohitගෙන් ඉගෙන ගන්න

IPL 2023

1247

2023 IPL තරගාවලියේ දී කිසිවකු හෝ බලාපොරොත්තු නොවූ ලෙස දක්ෂතා ප්‍රදර්ශනය කරමින් කැපී පෙනුණු ක්‍රීඩකයින් අතරින් Mohit Sharma හට විශේෂ ස්ථානයක් හිමි වනවා.

මීට කලකට පෙර IPL පිටියේ මෙන් ම, ඉන්දීය ජාතික කණ්ඩායම හරහා ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් පිටියේ ද සිය නම රැඳවීමට සමත් වූ Mohit කාලයාගේ ඇවෑමෙන් ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට අමතක ව යන්නට පටන් ගත්තා.

නමුත් 2023 IPL තරග වාරය ආරම්භ වීමත් සමඟ ම ක්‍රිකට් රසිකයින් හට සිය අතීතකාමී මතක හරා අවුස්සමින් Mohitගේ දක්ෂතා ගැන කතා බහ කිරීමට අවස්ථාවක් උදා වුනේ Mohit විසින් Gujarat Titans කණ්ඩායමේ වැදගත් ම වේගපන්දු යවන්නා බවට පත් වීම නිසායි.

Mohit Sharma යනු 2014 වසරේ IPL තරගාවලියේ දී Chennai Super Kings නියෝජනය කරමින් තරගාවලියේ ඉහළ ම කඩුලු ලාභියා බවට පත් වූ පන්දු යවන්නායි. එමෙන් ම ඔහු විසින් 2014 (T20) සහ 2015 (එක්දින) ලෝක කුසලාන දෙකේ දී ම ඉන්දීය කණ්ඩායමේ ප්‍රමුඛතම තේරීමක් බවට ද පත් වුනා.

නමුත් ඔහු පන්දුවෙන් පෙන්වමින් සිටි දක්ෂතා හීන වීමට පටන් ගැනීම සහ ඔහුගේ පිට කොන්දේ ඇති වූ ආබාධයක් නිසා Mohitට ඇති ඉල්ලුම ශීඝ්‍රයෙන් අඩු වෙමින් ගියා. ඒ අනුව 2021 සහ 2022 වසර දෙකේ දී ඔහුට කිසිදු කණ්ඩායමකින් IPL කොන්ත්‍රාත්තුවක් පවා හිමි වුනේ නැහැ.

ඊට අමතර ව 2019 වසරේ දී ඔහුට සිය කොන්දේ ඇති වූ ආබාධ තත්වය වෙනුවෙන් සැත්කමකට පවා මුහුණ දීමට සිදු වනවා. එම සැත්කමෙන් පසුව නැවත ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිෂ්ට වීම පිළිබඳ ඔහු සිය ජ්‍යෙෂ්ඨයින්ගේ උපදෙස් පැතූ අතර එහි දී හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ Mohitගේ කුඩා කල පුහුණුකරු ද වූ Vijay Yadav විසින් ඔහුට ක්‍රිකට් වලින් ඈත් වී වෙනත් අවස්ථා උරගා බලන මෙන් ද ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

නමුත් මෙහි දී Mohit විසින් සිය දෛවයට අභියෝග කිරීමට තීරණය කරනවා!

“2019 දී ඔහුගේ පිට කොන්දේ සිදු කළ සැත්කමෙන් පසුව ඔහු වෙන කෙනෙක් වුනා නම් ක්‍රිකට් වලින් ඉවත් වෙලා. ඔහුට කොඳුඇට පෙළේ ආබාධ තිබුණා. කකුලේ අස්ථි බිඳීමක් සිදු වෙලා තිබුණා, ඔහු ඒවායින් සෑහෙන්න පීඩා වින්දා. පුහුණුකරුවෙක් විදිහට මම ඔහුව අගය කරනවා, මොකද ඔහු ක්‍රීඩාවට ගොඩක් කැප වුනු කෙනෙක්.”

තමන්ගේ ගෝලයා පීඩා විඳි ආබාධ තත්වය පිළිබඳ Vijay Yadav විසින් ඒ විදිහට පැහැදිලි කරනවා. ඒ වගේ ම Mohitගේ ආබාධය මොන තරම් බරපතළ ද කියලා වැටහෙන්නේ ඔහුගේ පියාට ඇහුම්කන් දෙද්දීයි.

“Mohit කොන්දේ ආබාධය නිසා පීඩා විඳිමින් හිටපු විදිහ දැක්කාම මට ඉවස ගෙන ඉන්න බැරි වුනා. මගේ බලාපොරොත්තු බිඳ වැටුණා. මම ඔහු වෙත ගිහින් කිව්වා ‘ මේ ඇති Mohit, දැන් අත් හැරලා දාන්න. අපි දැන් වෙන දෙයක් කරමු.’ කියලා.”

තමන්ගේ පුත්‍රයාගේ විඳවීම බලා ගෙන ඉන්න බැරි ම තැනක දී ඒ විදිහේ යෝජනාවක් සිදු කළත් Mohitගෙන් ඒ වෙනුවෙන් ලැබෙන්නේ වෙනස් පිළිතුරක්.

“අපි මේක තව අවුරුද්දක් කරමු. මම හිතන්නෙ මට ඒක කරන්න පුළුවන්. මට අවශ්‍යයි දිගටම උත්සාහ කරලා නැවත එන්න, ඇවිත් තව අවුරුද්දක්වත් ක්‍රීඩා කරන්න.”

ඒ වෙලාවේ දී ඔහුගේ ධෛර්‍යය ගැන තේරුම් ගත්ත පුහුණුකරු Yadav විසින් Mohitගේ ගමන යන්න ඉඩ සලසලා දෙනවා.

2016 වර්ෂයේ දී Kings XI Punjab (දැන් Punjab Kings) විසින් Mohitව මිල දී ගන්නේ ඉන්දීය රුපියල් කෝටි 6.5ක් වැනි ඉහළ මුදලකට. නමුත් 2021 වෙද්දී කිසිම කණ්ඩායමක් ඔහු වෙනුවෙන් ලංසු තබන්න පවා ඉදිරිපත් වෙන්නේ නැහැ.

ආබාධයෙන් පසුව නැවත ක්‍රීඩාවට අවතීර්ණ වෙන්න මාන බලමින් සිටි Mohit විසින් වටහා ගන්නවා තමන් නැවතත් සියල්ල මුල සිට ම ආරම්භ කළ යුතු බව. ඒ නිසා ඔහු Gujarat Titans කණ්ඩායමේ දැල් තුල පන්දු යවන්නෙකු ලෙස ක්‍රියා කරන ගමන් Ashish Nehra යටතේ පුහුණු වීම් ආරම්භ කරනවා.

“ඒ තීරණය ගොඩක් නිර්භීත එකක්. ඉන්දියාව නියෝජනය කරමින් ලෝක කුසලාන වලට පවා ක්‍රීඩා කළ පන්දු යවන්නෙක් දැල් තුල පන්දු යවන්නකු ලෙස එකතු වීම කරන්න ලේසි දෙයක් නෙවෙයි. ඒ වගේ තීරණයක් ගන්න නම් ගොඩක් නිර්භීත වෙන්න සිදු වෙනවා.

මේ තීරණයට Ego එක (මමත්වය – තමන් තුල තමන් පිළිබඳ ව ඇති ආත්මාභිමානී හැඟීම) සහ කීර්තිය වගේ ගොඩක් දේවල් සම්බන්ධ වෙනවා. නමුත් ඔහු ඒ දේවල් ගැන හිතුවේ නැහැ, ඔහු අනෙක් අයට තමන් කොපමණ හොඳ ද කියලා පෙන්වන්න කැප වුනා.”

Mohit විසින් අනුගමනය කළ නිර්භීත පියවර එකින් එක Yadav විසින් මේ විදිහට විස්තර කරන්නේ ලොකු ආඩම්බරයකින්.

Mohit විසින් තමන්ගේ Ego එක පැත්තකට දාලා දෛවයට සරදම් කරන්න ගත්ත තීරණයේ ප්‍රතිඵල ඉතා ම ඉක්මනට ලැබෙනවා. ඔහුගේ දක්ෂතා ගැන පැහැදෙන Gujarat Titans කණ්ඩායම විසින් මේ 34 හැවිරිදි ක්‍රීඩකයාට ඉන්දීය රුපියල් ලක්ෂ 50ක IPL කොන්ත්‍රාත්තුවක් ලබා දෙන්න තීරණය කරනවා.

ඒත් ඔහුට මෙවර තරගාවලියේ ගුජරාටය ක්‍රීඩා කරන පළමු තරග තුන ම ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් Punjab Kings කණ්ඩායම සමඟ ඔහුට මෙවර තරගාවලියේ මංගල තරගය ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණු වහාම ඔහු තමන් කවුද යන වග නැවතත් ලෝකයට ම මතක් කරලා දෙන්නේ එම තරගයේ දී සිය පන්දුවාර 4 තුල ප්‍රතිවාදීන්ට ලකුණු 18 පමණක් ලබා දෙමින් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වීම සමඟයි. විශේෂතම දේ තමයි ඔහු සිය ආගමනය සමරන්නේ තරගයේ වීරයා සම්මානයකුත් සමඟින් වීම.

එතැන් පටන් Gujarat නායක Hardik Pandya විසින් සිය අත්දැකීම් බහුල වේග පන්දු යවන්නා ව ඉනිමේ වැදගත් ම සහ අසීරුතම අවසන් පන්දුවාර කිහිපය යොමු කිරීම වෙනුවෙන් භාවිතා කරන්න පටන් ගත්තා.

ඔහු විසින් තමන්ට Gujaratය විසින් ලබා දුනු ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුව වෙනුවෙන් මේ වෙද්දී කෝටි ගණනක වැඩ කරලා තියෙන බව නම් සැකයක් නැතුව ම කියන්න පුළුවන්.

ඔහු දැනට මෙවර තරගාවලියේ තරග 11ක දී කඩුලු 17ක් බිඳ හෙළන්න සමත් වෙල තියෙනවා.

තමන්ට නැවත තරගකාරී ක්‍රිකට් පිටියට පිවිසෙන්න තිබුණු එක ම අවස්ථාව දැල් තුල පන්දු යැවීම බව වටහා ගත්තු Mohit විසින් තමන්ට ලැබුණු ඒ වටිනා අවස්ථාව දෝතින් ම බාර ගත්ත බව තමයි Yadav විසින් පවසන්නේ.

“Punjab Kings කණ්ඩායම ඔහුව කෝටි 6කට මිල දී ගත්තා. ඔහු ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කළා. ඔහු උපරිම තලයේ හිටියා. ඔහු ලෝක කුසලාන වලට ක්‍රීඩා කළා. ඒ වගේ මට්ටමක පන්දු යවන්නෙක් සාමාන්‍යයෙන් දැල් තුල පන්දු යවන්න යන්නේ නැහැ. නමුත් Mohit ඒක කළා. ඒක ලේසි වැඩක් නෙවෙයි.

ඔහු ඉහළ ම මට්ටමේ ක්‍රීඩා කරනවා දුටු කනිෂ්ඨයින්ට පවා දැල් තුල පන්දු යවන්න ඔහුට සිදු වුනා. ඔහුගේ දැඩි කැපවීමට Ego එක පරාද වුනා. මට ඔහු ගැන ගොඩක් සතුටුයි.”

Vijay Yadav විසින් Times of India වෙබ් අඩවිය සමඟ සිදු කළ සාකච්ඡාවක දී Mohitගේ මේ ආදර්ශමත් කතාව ඒ හෙළිදරව් කර තිබුණා.

මෙවර IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<