මහීෂ් – මතීෂ ඇතුළු චෙන්නායි රජුන් කුසලානය සොයා අහමදාබාද් යයි

2923
Chennai Super Kings v Gujarat Titans

Indian Premiere League ඉතිහාසයේ 10 වැනි වතාවටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (23) Chennai Super Kings කණ්ඩායම සමත් වුනා. ඒ මේ දක්වා තරගාවලිය තුල වැඩිම දස්කම් පෑ Gujarat Titans ලකුණු 15කින් පරාජය කරමින්.

දකුණු ඉන්දියාවේ චින්නස්වාමි ක්‍රීඩාංගණයේ දී ම පැවති මෙම තරගය නැරඹීමට බහුතරයක් Chennai ප්‍රේක්ෂකයින් පැමිණ සිටියේ සමස්ත ක්‍රීඩාංගණයම පීත වර්ණයෙන් සරසමින්. තම ක්‍රිකට් දිවියේ අවසන් කාලපරිච්ඡේදය ගෙවමින් සිටින තම සදාදරණීය නායකයාට (MS Dhoni) දක්වන ගරු බුහුමනක් ලෙස ද මෙවර චෙන්නායි ප්‍රේක්ෂකයින් වඩාත් උනන්දුවෙන් තරග නැරඹීමට පැමිණෙනවා.

කාසියේ වාසිය දිනා ගත් ගුජරාට් නායක Hardik Pandya මුලින් පන්දු යැවීමට තීරණය කළේ ඔවුන්ගේ පිතිපෙළ ඕනෑම ලකුණු ගණනක් හඹා යන්නට තරම් ශක්තිමත් බව විශ්වාස කරමින්. මේ අනුව Chennai වෙනුවෙන් ඉනිම ඇරඹූ Ruturaj Gaikwad සහ Devon Conway පළමු කඩුල්ලටම ලකුණු 87ක සුපිරි සබඳතාවයක් ගොඩ නැගුවා. මෙම සබඳතාවය Mohit Sharma විසින් බිඳ දැමීමෙන් පසු නැවතත් හොඳින් තරගයට අවතීර්ණ වන්නට Gujarat Titansට හැකි වුනා.

ඉනිමේ මුල්ම කඩුල්ල ලෙස Gaikwad දැවී යන විට පන්දු 44කින් ලකුණු 60ක් ලබා සිටියේ හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමඟිනුයි. ඔහුට අනගි සහයක් ලබා දුන් Conway හතරේ පහර 4ක් සමඟ ලකුණු 40ක් රැස් කළේ පන්දු 34ක දීයි. මේ දිනවල ලකුණු අතර සිටින ප්‍රහාරකයෙකු ලෙස හැඳින්වෙන Shivam Dube ඊයේ පැමිණි විගස විශාල පහරකට උත්සාහ කරමින් කඩුල්ල බිඳ ගත්තා.

Ajinkya Rahane සහ Ambati Rayudu ලකුණු 17 බැගින් රැස් කළ ද, ඔවුන් දෙදෙනාගෙන් ඊට වඩා දිගු ඉනිම් Chennai කණ්ඩායම බලාපොරොත්තු වුනා. බොහෝ දෙනා පිටියට පිවිසෙන තුරුම බලා සිටි MS Dhoniට පවා අද රැස්කර ගැනීමට හැකි වුනේ එක් ලකුණක් පමණයි.

කෙසේ නමුත් ඉනිමේ අවසන් පන්දුවාරයේ දී ලකුණු 15ක් ලබා ගැනීමට Ravindra Jadeja සහ Moeen Ali සමත් වීම නිසා ලකුණු 173ක අභියෝගයක් ප්‍රතිවාදීන් හමුවේ තැබීමට Super Kings කණ්ඩායමට හැකි වුනා.

Jadeja පන්දු 16කින් ලකුණු 22ක් ලබා ගනිද්දී, Moeen Ali පන්දු 4කින් ලකුණු 9ක් ලබා ගත්තේ ඉනිමේ නිමාව දක්වා නොදැවී සිටිමිනුයි. පන්දු යැවීමේ දී මේ දිනවල රිද්මයේ සිටි Mohit Sharma සහ Mohommed Shami කඩුලු 2 බැගින් බිඳ හෙළුවා. සුපිරි පා දඟපන්දු යවන්නා වන Rashid Khanට එරෙහිව අද ලකුණු 37ක් උදුරා ගන්නට Chennai කණ්ඩායමට හැකි වුනා.

මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාමට උත්සාහ කළ Gujarat කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 22 දී බිඳ වැටුණා. එහි දී Wriddhiman Saha එල්ල කළ පුල් පහර, ඩීප් බැක්වර්ඩ් ස්ක්වෙයාර් ලෙග් හි සිටි මතීෂ පතිරණ සුරැකිව රැක ගත්තා. තම පළමු පන්දුවාරය ක්‍රියාත්මක කළ මහීෂ් තීක්ෂණ ඊයේ Gujarat නායකයාගේ තීරණාත්මක කඩුල්ල දවා ගත්තේ ඔහු ලකුණු 8ක් පමණක් ලබා සිටිය දීයි.

ඉන්පසු දසුන් ශානක පිටියට පිවිසි අතර ඔහු තම කණ්ඩායම් සගයා වන මහීෂ් තීක්ෂණට පිට පිටම හතරේ පහරක් සහ හයේ පහරක් එල්ල කිරීමට සමත් වුනා. කෙසේ වෙතත් පන්දු 16කින් ලකුණු 17ක් ලබා සිටි දසුන් ශානක අවසානයේ දැවී යන්නේ Jadejaගේ පන්දුවකට තීක්ෂණ දුවගොස් රැකගත් අගනා උඩපන්දුවක් නිසාමයි. මේ දිනවල ලකුණු ඉඩෝරයක් පසු කරමින් සිටින David Miller ඊයේත් රැස් කළේ ලකුණු 4ක් පමණයි.

මේ අවස්ථාවේ Impact Player ලෙස කණ්ඩායමට ආදේශ කළ මතීෂ පතිරණ පිටියෙන් පිටත ගත කළ කාලය මත ඔහුට පන්දු යැවීමට නම් තවත් කල් ගත වි‍ය යුතු බවට විනිසුරුවරුන් තීරණය කරද්දී, නායක Dhoni උපක්‍රමශීලීව විනිසුරුවරුන් සමඟ සාකච්ඡාවක පැටලෙමින් එම කාලය ගෙවා දැමුවා. ඒ මේ 20 හැවිරිදි වේගපන්දු යවන්නාගේ පන්දුවාර 4ම ඔහුට කොතරම් දුරට වැදගත් ද යන්න පෙන්වා දෙමින්.

නම නායකයාගේ බලාපොරොත්තු ඉෂ්ට කරදුන් මතීෂ අද ඉනිමේ තීරණාත්මක අවසන් පන්දුවාරවල දී Gujarat පිතිකරුවන්ට සිතු සේ අතපය දිග හරින්නට ඉඩක් ලබා නොදුන්නේ Vijay Shankar සහ Mohommed Shamiවද දවා ගනිමින්.

ඔහු ඊයේ වයිඩ් පන්දු 7ක් යොමු කිරීම සැලකිය යුතු තරමේ වරදක් වුවද අනෙක් පන්දුවලට පහසු ලකුණු ලබා නොදෙමින් එම අඩුපාඩුව වසා ගත්තා. පසුගිය තරගයේ විශිෂ්ට ශතකයක් ලබා ගත් Shubman Gill අද ලකුණු 42ක් ලබා ගත්තේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙසයි.

ඉනිමේ අවසන් කොටසේ දී Rashid Khan නැවතත් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 16කින් ලකුණු 30ක් ලබා ගත්ත ද, ඔහුට Gujarat කණ්ඩායම අවසන් මහා තරගය දක්වා කැටුව යාමට නම් හැකි වුනේ නැහැ.

පන්දු යැවීමේ දී Deepak Chahar, මහීෂ් තීක්ෂණ, Ravindra Jadeja, මතීෂ පතිරණ යන පන්දු යවන්නන් සිව් දෙනාම කඩුලු 2 බැගින් දවා ගත්තා. තරගයේ වීරයා සම්මානය හිමි වුනේ සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ Ruturaj Gaikwadටයි.

Chennai Super Kings – කඩුලු 7ක් දැවී ලකුණු 172 (පන්දුවාර 20): Ruturaj Gaikwad 60, Devon Conway 40, Ravindra Jadeja 22, Ajinkya Rahane 17, Ambati Rayudu 17, Mohommed SShami 2/28, Mohit Sharma 2/31.

Gujarat Titans – සියල්ලන්ම දැවී ලකුණු 157 (පන්දුවාර 20): Shubman Gill 42, Rashid Khan 30, Dasun Shanaka 17, Vijay Shankar 14, Wriddhiman Saha 12, Ravindra Jadeja 2/18, Maheesh Theekshana 2/28, Deepak Chahar 2/29, Matheesha Pathirana 2/37.

මේ අනුව Chennai Super Kings කණ්ඩායමට කෙලින්ම අහමදාබාද් හිදී පැවැත්වෙන අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමේ වරම් හිමි වූ අතර ප්‍රසාද ලකුණු සටහනේ අංක 01 බවට පත්වූ Gujarat Titans කණ්ඩායමට අද (24) පැවැත්වෙන Mumbai Indians සහ Lucknow Super Giants කණ්ඩායම් අතර තරගයේ ජයග්‍රාහකයා සමඟ අවසන් තරගය වෙනුවෙන් සටන් වැදීමට තවත් අවස්ථාවක් හිමිවනු ඇති.

Indian Premiere League ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග 3ත් සජීවීව දැකබලා ගැනීමේ අවස්ථාව ThePapare.com පරිශීලක ඔබට අප විසින් උදාකර තිබෙනවා. රැඳී සිටින්න ThePapare.com  සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<