දෝණිට යන්න හදිසියක් නෑ!

IPL 2023

723

IPL වලට සමුදීමේ තීරණයක් ගැනීමට තවත් ඕනෑ තරම් කාලය තමන්ට ඉතිරි ව ඇති බව Chennai Super Kings නායක MS Dhoni විසින් පවසනවා.

ඊයේ (23) දිනයේ Gujarat Titans කණ්ඩායමට එරෙහිව ලකුණු 15ක ජයග්‍රහණයක් කරා තම කණ්ඩායමට මෙහෙයවීමට සමත් වූ Dhoni විසින් තරගයෙන් අනතුරුව මේ දිනවල බොහෝ දෙනෙකුගේ ප්‍රධානතම ගැටලුවක් වී ඇති සිය සමුගැනීම පිළිබඳ මෙසේ අදහස් පළ කළා.

“මම දන්නේ නැහැ, මට තවත් මාස 8-9ක් තියෙනවා තීරණයක් ගන්න. ඇයි ඒක දැන් හිසරදයක් කර ගන්නේ. මට ප්‍රමාණවත් තරම් කාලයක් ඉතුරු වෙලා තියෙනවා තීරණයක් ගන්න. මීළඟ වෙන්දේසිය තියෙන්නේ දෙසැම්බර් වල දී.”

පිටත සිට බලා හිඳින අයට ඇති ගැටලුව තමන්ට නොමැති බවයි Dhoni විසින් අවධාරණය කරන්නේ.

ඊයේ ලද ජයග්‍රහණයත් සමඟින් මෙවරත් IPL අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට Chennai Super Kings සමත් වුනා. ඒ සමඟ Dhoni විසින් මේ වන විට Chennai කණ්ඩායම IPL අවසන් මහා තරග 10ක් කරා මෙහෙයවීමට සමත් වී තිබෙන අතර, එය පහසුවෙන් නායකයෙකුට ළඟා නොවිය හැකි අන්දමේ විශිෂ්ට කුසලතාවක් බව තර්කයකින් තොරව ම පිළිගත හැකි කරුණක්.

“මම හැමදාම CSK වෙත එනවා. මම ජනවාරි වල සිට නිවසින් බැහැරව සිටියේ, මාර්තු වල සිට පුහුණුවීම් වල නිරත වුනා. ඉතින් අපි බලමු.”

මෙතෙක් ඔහු විසින් Chennai Super Kings කණ්ඩායම IPL ශූරතා 4ක් කරා මෙහෙයවීමට සමත් වී තිබෙනවා. එමෙන් ම 2022 වසරේ IPL තරගාවලියේ Chennai තරමක් දුර්වල තරග රටාවක් ප්‍රදර්ශනය කළ නමුත් මෙවර ඔවුන් නැවතත් සිය අභිමානවත් ගමන අරඹා තිබෙනවා.

“මේක තවත් එක අවසන් මහා තරගයක් කියලා කියන්න බැරි තරමට ම IPL විශාලයි. කණ්ඩායම් 10ක් ඉන්නවා, තරගකාරී බව වැඩියි. බොහෝ දෙනෙක් මාස දෙකකට ආසන්න කාලයක් වෙහෙස වෙනවා. හැමෝම සහය ලබා දුන්නා. මැද පෙළට ප්‍රමාණවත් තරම් අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් අපි මේ ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි.”

එමෙන් ම Gujaratය යනු කෙතරම් හොඳ කණ්ඩායමක් වුනත් ඊයේ දිනයේ Ravindra Jadeja ප්‍රමුඛ චෙන්නායි පන්දු යැවීම හමුවේ ඔවුන්ට කිසිදු ගැලවීමක් ලැබුණේ නම් නැහැ. Dhoni විසින් තරගයෙන් අනතුරුව Jadejaව ද විශේෂයෙන්ම අගය කළා.

එමෙන්ම නිරන්තරයෙන් සිය පන්දු යවන්නන් කෙරේ විශ්වාසය තබනා Dhoni වැඩිදුරටත් පවසා සිටියේ තමන් තරමක් කරදරකාරී නායකයකු වන්නට ඇති බවයි.

“ඔබ කඩුල්ල සහ තත්වය දැක්කා, ඒ වගේ ම නිරන්තරයෙන් ම පන්දු රකින්නන් ව වෙනස් කළා. නිතරම පන්දු රකින්නන් වෙනස් කරන නිසා මම තරමක් කරදරකාරී නායකයෙක් වෙන්නත් ඇති.

ඒක කරදරකාරී වුනත් මම මගේ සහජ හැඟීම විශ්වාස කරනවා. ඒ නිසයි මම පන්දු රකින්නන්ට නිතරම කියන්නේ ඔවුන්ගේ ඇස් මා වෙත යොමු කරලා තබා ගන්න කියලා.”

එමෙන් ම අත්දැකීම් මද වේගපන්දු යවන්නන් පිරිසක් සමඟින් Dhoni විසින් මෙවර තරගාවලියේ සිදු කළ වික්‍රමය පිළිබඳ අදහස් පළ කරමින් පවසා සිටියේ, තමන් සිය පන්දු යවන්නන් හට විශ්වාසය ලබා දෙමින් ඔවුන්ට දක්ෂතා පෙන්වීමට අවශ්‍ය වාතාවරණය නිර්මාණය කරනා බවයි.

එමෙන් ම ඊයේ තරගයේ පරාජිත නායකයා වූ Hardik Pandya විසින් සිය පන්දු යවන්නන් විසින් චෙන්නායි ඉනිමේ අවසන් පන්දුවාර කිහිපය යොමු කළ ආකාරය පිළිබඳ සිය අසතුට පළ කළා. එම දුර්වල පන්දු යැවීම චෙන්නායි ඉනිමට තවත් අමතර ලකුණු 15ක් පමණ එක් කළ බවයි ඔහු විසින් පැවසුවේ.

එමෙන් ම සිය ප්‍රතිවාදී නායකයා Dhoni පිළිබඳ අදහස් පළ කරමින් Hardik විසින් පවසා සිටියේ එළඹෙන ඉරිදා (28) IPL අවසන් මහා තරගයේ දී ඔහුව නැවත මුණ ගැසීමට බලාපොරොත්තු වන බවයි.

“ඒ තමයි ඔහුගේ (Dhoniගේ) සුන්දර බව. ඔහුගේ මනස සහ පන්දු යවන්නන් භාවිත කරන ආකාරය අනුව ඔහු තවත් අමතර ලකුණු 10ක් පමණ ඉලක්කයට එකතු කරනවා කියලයි දැනෙන්නේ.

අපේ කඩුලු දිගටම බිඳ වැටුණා, ඔහුත් දිගට ම පන්දු යවන්නන් මාරු කළා. ගෞරවය ඔහු සතු විය යුතුයි.”

මෙවර IPL තරගාවලියේ Eliminator තරගය අද (24) Mumbai Indians සහ Lucknow Super Giants කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි. එම තරගය සහ තරගාවලියේ ඉතිරි ව ඇති සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<