කිරි වීදුරුවක් නිසා ඔලිම්පික් ගිය Milkha Singh

381
milkha sing and bhaag milkha bhaa

“ඇත්තම කියනවා නම්, මම 1960න් පස්සේ එකම හින්දි චිත්‍රපටියක් වත් බලලා නහැ. බොලිවුඩ් ගැන මට තියෙන දැනුම හරිම දුප්පත්.”

1955 දී තිරගත වුන අතිශය ජනප්‍රිය හින්දි චිත්‍රපටියක් තමයි Shree 420 කියන්නේ. ඒ චිත්‍රපටියෙන් පස්සේ Milkha Singh ට මතකයේ සඳහටම රැඳෙන චිත්‍රපටියක් බලන්න 2013 වසර වෙනකම් බලාගෙන ඉන්න සිදු වුනා.

අවසානයේ Milkha තමන්ගේ චිත්‍රපටි උපවාසය නතර කරන්නේ Bhaag Milkha Bhaag චිත්‍රපටිය බලලා. විශේෂතම දේ තමයි එදා 2013 දී Milkha රිදී තිරයෙන් බලන්නේ තමන්ගේම කතාව වීම.

“අතීතයේ මම පීඩා විඳපු සමහර දවස් චිත්‍රපටියෙන් ආයෙත් දකිද්දී මම සංවේදී වුනා. මට හරි හමං රැකියාවක් හෝ කෑමට යමක් නැතුව හිටපු කාලය නැවත මතකයට ආවා. මගේම අතීත මතක විශාල තිරයකින් දකිද්දී මගේ ඇස් කඳුලින් තෙත් වුනා.”

real milkha sing
සැබෑ Milkha Singh සහ සිනමාපටයේ Milkha Singh ( Image – The Bridge )

Bhaag Milkha Bhaag චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ ඉන්දියාවෙන් බිහි වුනු විශිෂ්ට චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වන Rakeysh Omprakash Mehra විසින්. ඔහු සහ පිරිස චිත්‍රපටිය තිරගත කරන්න නියමිත වෙලා තිබුණු 2013 ජූලි මාසේ 13 වැනිදා ට පෙර දිනයක දී චිත්‍රපටියේ කතා නායකයා Milkha Singh වෙනුවෙන් විශේෂ දර්ශන වාරයක් ක්‍රියාත්මක කරනවා. මේ අවස්ථාවෙන් පසුව තමයි ඉහත සඳහන් කරපු වචන ටික Milkha Singhගේ මුවින් පිට වෙන්නේ.

ඉන්දියාව කියන්නේ පොඩිම කතාවක් වුනත් විශාල කරලා පෙන්වන රටක්!

ඉන්දියාවෙන් තරම් තමන්ගේ රටේ වටිනා සම්පත් වෙනුවෙන් චිත්‍රපටි හැදෙන්නේ නැතුව ඇති වෙන කිසිම රටක. 1983 ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් 83 චිත්‍රපටිය හැදුවා වගේම, ඉන්දියාවෙන් බිහි වුන විශිෂ්ට ධාවකයෙක් සහ කැරලිකරුවෙක් වුන Paan Singh Tomar ගැන Paan Singh Tomar චිත්‍රපටිය හැදුවා වගේම, Mary Kom ගැන ලෝකෙට පෙන්වන්න Mary Kom චිත්‍රපටිය හැදුවා වගේම, ඉන්දියාවෙන් මෙතෙක් බිහි වුන විශිෂ්ටතම මලල ක්‍රීඩකයෙක් විදිහට සැලකෙන Milkha Singh පිළිබඳ ලෝකයට පෙන්වන්න Rakeysh Omprakash Mehra විසින් Bhaag Milkha Bhaag චිත්‍රපටිය හදනවා.

ඔහු ඒ චිත්‍රපටිය හදලා මුළු ලෝකයට විතරක්ම නෙවෙයි, ඇස් වැහිලා තිබුණු බහුතරයක් ඉන්දියානුවන්ටත් පෙන්වනවා “50-60 දශකයේ දී ලෝකය හොල්ලපු මලල ක්‍රීඩකයෙක් අපේ රටෙත් හිටියා” කියලා.

“එක්සත් ජනපදයේ දී Carl Lewis විසින් චිත්‍රපටිය බලලා තිබුණා. ඔවුන් දෙදෙනාම තමන්ගේ රටවල් වල සුපිරි වීරයින්, නමුත් Carl සහ Milkha කිසි දිනෙක කතාබහ කරලා තිබුණේ නැහැ. Carl කොහොම හරි Milkhaගේ දුරකථන අංකය හොයා ගෙන දුරකථන ඇමතුමක් දීලා තිබුණා. ඒක සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු නොවූ දෙයක්.”

චිත්‍රපටියට සම්බන්ධ වුන පිරිස අතරින් ඒ විදිහේ කතාවකුත් ඇහෙනවා. ඒ විතරක් නෙවෙයි ඉන්දියාවෙන් පවා Milkhaට පෙර නොලැබුණු අන්දමේ පිළිගැනීමක් ලැබෙන්න ප්‍රධානතම හේතුවක් වෙන්නේ Bhaag Milkha Bhaag චිත්‍රපටිය.

චිත්‍රපටිය තිරගත වුනායින් පසුව ඔහුට දිනකට ලියුම් සෑහෙන්න ප්‍රමාණයක් ලැබෙන්න පටන් ගන්නවා, විවිධ වැඩසටහන් වෙනුවෙන් ආරාධනා ලැබෙනවා. වෙන දෙයක් තියා බොහෝ ඉන්දියානු මාධ්‍ය වලට පවා Milkha Singh නමින් මලල ක්‍රීඩකයෙක් ඉන්දියාවේ ජීවත් වෙන බව මතක් වෙන්නේ මේ චිත්‍රපටියට පිං සිදු වෙන්න.

ඒත් කවුද ඇත්තටම Milkha Singh කියන්නේ?

ඉන්දියාව විසින් මුලින්ම ඔලිම්පික් උළෙලක පදක්කමක් දිනා ගන්න සමත් වෙන්නේ 1900 අවුරුද්දෙ දී.

1900 පැරිස් ඔලිම්පික් උළෙලේ දී මීටර් 200 සහ මීටර් 200 කඩුලු මතින් දිවීම කියන ඉසව් දෙකෙන් ම රිදී පදක්කම් දිනා ගන්න ඉන්දියාව සමත් වෙනවා. ඒත් ඇත්තටම එදා ඉන්දියාව නියෝජනය කළේ Norman Pritchard කියන බ්‍රිතාන්‍ය ජාතිකයා.

එදයින් පස්සේ මලල ක්‍රීඩා ඉසව්වකින් පදක්කම් දිනා ගන්න තවත් වසර 121ක් බලා හිඳින්න ඉන්දියාවට සිද්ධ වෙනවා.

හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ජපානයේ පැවැත්වුණු 2020 ඔලිම්පික් උළෙලේ දී (තරගාවලියේ ඇත්තටම පැවැත්වුණේ 2021 දී) Neeraj Chopra විසින් රන් පදක්කමක් ජයග්‍රහණය කරන්න සමත් වෙනවා. ඒ තමයි ඔලිම්පික් මලල ක්‍රීඩාවේ ඉන්දියානු දස්කම් ගැන සරල සාරාංශය. නමුත් මේ කාලය අතරතුර ඉන්දියාවට මලල ක්‍රීඩා ඉසව්වලින් ඔලිම්පික් පදක්කම් පෙනී නොපෙනී ගිය අවස්ථා නැතිවාම නෙවෙයි.

Milkha Sing කියන්නේ අන්න ඒ වගේ ඔලිම්පික් පදක්කමක් අතට අරගන කටට දාගන්න බැරි වුන ක්‍රීඩකයින් අතරින් කෙනෙක්.

real milkha sing
ඉන්දියාව බිහි කළ විශිෂ්ටතම දාවකයා Milkha Singh ද? ( Image – Mere Pix )

Milkha Singh මුලින්ම ඔලිම්පික් උළෙලකට සහභාගී වෙන්නේ 1956 වසරේ දී. ඕස්ට්‍රේලියාවේ පැවැත්වුණු 56 ඔලිම්පික් උළෙලේ දී මීටර් 400 ඉසව්ව නියෝජනය කරමින් 5 වෙනි තරග වටයට සහභාගී වුන Milkha ට හිමි වෙන්නේ සිව්වැනි ස්ථානය, ඇත්තම කියනවා නම් සිව්වැනි ස්ථානය කියන්නේ ඒ තරග වටයේ අවසන් ස්ථානය.

ඉන්පසුව 1960 දී Milkha විසින් නැවතත් මීටර් 400 ඉසව්ව නියෝජනය කරමින් රෝම ඔලිම්පික් උළෙලට සහභාගී වෙනවා. 1956 දී මූලික වටයෙන් ඉදිරියටවත් යා ගන්න බැරිව හිටපු Milkha 1960 ඔලිම්පික් වලට එන්නේ පොදු රාජ්‍ය මණ්ඩල වගේම ආසියානු ශූරයාත් විදිහට කිරුළු දරමින්. ඒ වගේම තමන් මීටර් 400 ඉසව්වෙන් ලෝකයටම අභියෝග කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් බවට ඉඟි සපයමින්.

එහෙම ආපු Milkha 1960 ඔලිම්පික් උළෙලේ මූලික වටය, අර්ධ සහ අවසන් පූර්ව වට වලින් ජයග්‍රහණය කරමින් මීටර් 400 අවසන් මහා තරගය දක්වා එන්න සමත් වෙනවා. එහෙම ඇවිත් අවසාන මහා තරගයේත් මුල් මීටර 200ක් පමණ සියලුම තරග කරුවන් අබිබවමින් ඉදිරියෙන්ම රැඳී ඉන්න සමත් වෙනවා.

“හැමෝම හිතුවේ මම දිනාවී කියලා. ලොකු පීඩනයකුත් තිබුණා. රේස් එක පටන් ගත්තයින් පස්සේ මුල් මීටර් 200 විතර මම ඉස්සරහින් හිටියා. ඊට පස්සේ මම දුවනවා වේගය වැඩියි කියලා අමුතු හැඟීමක් මට ආවා. ඒ නිසා මම වේගය පොඩ්ඩක් අඩාල කළා. අවසානයේ දී මම තරගය පරාද වුනා.”

එදා පැවැත්වුණු මීටර් 400 තරගය බොහෝම විශේෂ එකක්. තරගයේ මුල් ස්ථාන දෙක හිමි කර ගත්තු Otis Davis සහ Carl Kaufmann කියන දෙන්නම එවකට එම ඉසව්වේ ලෝක වාර්තාව බිඳ හෙළන්න සමත් වෙනවා. ඉතාම තියුණු අවසානයක් දකින්න ලැබුණු ඒ තරගයේ සිව්වැනි ස්ථානය දිනා ගන්න සිදු වුන Milkha Singhට ඔලිම්පික් ලෝකඩ පදක්කම අහිමි වෙන්නේ තත්පර දශම 13කින්. එහෙම වෙලත් එදා ඔහු ඉන්දියාව වෙනුවෙන් මීටර් 400 ඉසව්වේ ජාතික වාර්තාව පිහිටුවන්න සමත් වුනා.

real milkha sing
එදා ඔහු තමන්ගේ වේගය අඩාල නොකළා නම් මේ ඡායාරූපය මීට වඩා වෙනස් එකක් වන්නට ඉඩ තිබුණා! ( Image – Mere Pix )

ඔහු එදා පිහිටවපු ඉන්දියානු වාර්තාව දශක හතරකට ආසන්න කාලයක් නොබිඳී පැවතුණා. ඒ වගේම එදා ඔහු අනවශ්‍ය විදිහට තමන්ගේ වේගය අඩු නොකළා නම් අදටත් මීටර් 400 ඉසව්වේ ජාතික වාර්තාව ඔහුගේ නම ඉදිරියෙන්ම ලියවිලා තියන්නත් ඉඩ තිබුණා.

ඉන්පසුව ඔහු 1964 ඔලිම්පික් උළෙලේ දීත් මීටර් 400×4 ඉසව්වෙන් ඉන්දියාව නියෝජනය කරන්න සමත් වෙනවා, නමුත් එවර නම් ඔහුට බලාපොරොත්තු වුන මට්ටමේ දක්ෂතාවක් පෙන්වන්න අවස්ථාවක් හිමි වෙන්නේ නැහැ.

Milkha Singh දුවන්න පටන් ගන්නේ කිරි වීදුරුවක් නිසා!

චිත්‍රපටියකින් ඔබ දකින සියලුම දේ සත්‍යය නොවුනත්, ඔබ දකින දේවල් වලට සත්‍ය කතාව මූල බීජයක් වෙන්න පුළුවන්.

Bhaag Milkha Bhaag චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා එක තැනක දී කියනවා තමන් Milkha ගැන අහපු මුල්ම කතාවක් තමයි ඔහු මේ විදිහට දුවන්න පටන් ගන්නේ කිරි වීදුරුවක් නිසා කියලා.

ඇත්තටම Milkha Singh කියන්නේ හමුදා නිලධාරියෙක්. ඔහු හමුදාවේ ඉන්න අතරතුරේ දී තමයි මේ විදිහේ දුවලා දිනන අයට කිරි වීදුරුවක් ලැබෙන තරගයක් ගැන අහන්න ලැබෙන්නේ. කිරි වලට තිබුණ ආදරය නිසාම Milkha දුවන්න පටන් ගන්නවා. එතැනින් තමයි මේ හැම කතාවක්ම ආරම්භ වෙන්නේ.

අධ්‍යක්ෂකවරයා අහපු කතාව ඔහු චිත්‍රපටයට ගෙනෙද්දී ඔහු ඒකට තවත් අඩුම-කුඩුම එකතු කරනවා. ඒ අතරේ දී තමයි Milkha Singh කියන්නේ ලෝක හොරෙක් සහ Milkha Singhට Biro නමින් පෙම්වතියක් හිටියා කියලත් අපි දකින්නේ.

real milkha sing
සැබෑ Milkha Singh විසින් සිය චරිතයට පණ පෙවූ Farhan Akhtarගේ රංගනය ඉතා ඉහළින් අගය කර තිබුණා (Image – India TV News)

චිත්‍රපටියේ කියන විදිහට නම් Milkha කුඩා වියේ පටන්ම හොර කමට (ගල් අඟුරු සොරකම් කිරීම) පුරුදු වෙනවා, නමුත් ඇත්තම Milkha Singh කියන්නේ ඒ තරම්ම නරක අතීතයක් තිබුණු කෙනෙක් නොවන බව දැන ගන්න නම් චිත්‍රපටිය බැලුවයින් පස්සේ ඔහුගේ ඇත්තම කතාව සොයා ගෙන යන්න ඔබට සිදු වෙනවා.

Milkha Singh විසින් හමුදාවට එකතු වෙන්න පෙර දුම්රියක ටිකට් පතක් නැතිව ගිය වරදට සිර ගත කෙරෙනවා. ඒ තමයි ඇත්තම Milkha Singhගේ ජීවිතයේ ඇති වුන එකම කැළල. ඒක චිත්‍රපටියට ගෙනෙද්දී තරමක් අතිශයෝක්තියකින් පෙන්වන්න අධ්‍යක්ෂකවරයා පියවර අර ගෙන තියෙනවා.

ඒ වගේම Bhaag Milkha Bhaag චිත්‍රපටියේ සුන්දරම දර්ශන පෙළ ඔබට නරඹන්න ලැබෙන්නේ Biro සහ Milkha අතර ඇතිවෙන ආදර කතාවේ දී. නමුත් ඇත්තටම හොයා ගෙන යද්දී ඔහුට Biro නමින් පෙම්වතියක් නොසිටි බවත් වාර්තා වෙනවා. කොහොම වෙතත් Milkha ට චිත්‍රපටියේ පෙන්වන කාලය තුල පෙම්වතියක් හිටී බවත් ඒ ආදර සම්බන්ධය ඒ තරම්ම කාලයක් නොපැවතුන බවත් තමයි දැන ගන්න ලැබෙන්නේ.

ඒ වගේම 1956 ඔලිම්පික් උළෙලට යන Milkha Singh විසින් තමන්ගේ පුහුණු වීම් පවා පසෙකට දමමින් තවත් ඕස්ට්‍රේලියානු යුවතියක් සමඟ ප්‍රේමයෙන් වෙළෙන බව අපි චිත්‍රපටියෙන් දකිනවා.

Betty මගේ Turban එක (Sikh ජාතිකයින් විසින් පලඳින හිස් වැස්ම) දැකලා ගොඩක් සතුටු වුනා. ඕස්ට්‍රේලියාවේ Sikh ජාතිකයින් බොහෝම ටික දෙනයි හිටියේ. Betty ඊට පෙර කවදාවත් Turban එකක් දැකලා තිබුණේ නැහැ. ඇය මගේ ළඟට ඇවිත් ඇහුවා Turban එක ඇගේ ඔළුවේ බඳින්න පුළුවන් ද කියලා.”

ඉන් පස්සේ ඔහු ඇයව ඔහුගේ කාමරයට රැගෙන ගිය බව සහ ඇයගේ ඉල්ලීම ඉටු කරපු බව Milkha විසින් සඳහන් කරනවා.

මේ කියන Bettyව තමයි අපි චිත්‍රපටියේ දී Stella නමින් Milkhaගේ ඕස්ට්‍රේලියානු පෙම්වතිය විදිහට දකින්නේ.  චිත්‍රපටියේ අපිට මුණ ගැහෙන Stella කියන්නේ නම් සාමාන්‍ය ඕස්ට්‍රේලියානු යුවතියක්. නමුත් ඇත්තටම Milkhaට 56 දී මුණ ගැහෙන Betty Cuthbert  කියන්නේ ඕස්ට්‍රේලියානු ධාවන ශූරියක්. ඇය 1956 ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කම් හතරක් ජයග්‍රහණය කරන්න සමත් වෙනවා (මීටර් 100, 200, 400 සහ 400×4 ඉසව් වලින්).

කොහොම වෙතත් චිත්‍රපටියේ දී Milkha සහ Stella අතර ඇති වෙන තරම් දුර සබඳතාවක් Betty සහ Milkha අතර ඇති වුනේ නැහැ කියලයි Milkha නම් කියන්නේ.

දශක ගණනාවකට පසුව Milkha නැවතත් ඇයව සම්බන්ධ කර ගන්න උත්සාහ දැරුවත්, ඒ උත්සාහය අසාර්ථක වෙන්නේ ඒ වෙද්දී ඇය මෙලොව හැර ගිහින් හිටපු නිසා. නමුත් Milkhaගේ දුරකථන ඇමතුමට පිළිතුරු ලබා දුන්න Bettyගේ පුතා කියලා තියෙනවා 56 දී Milkha විසින් ඇයට සිහිවටනයක් ලෙස ලබා දුන්න Turban එක තවමත් ඔහු සතුව තියෙන බව.

real milkha sing
Stella සහ Milkha අතර ආදර කතාවට චිත්‍රපටය විසින් සුන්දර අවසානයක් සටහන් කිරීමට සමත් වුනා! (Image – IMDB)

තමන්ගේ ජීවිත කාලයේ පෙම්වතියන් තිදෙනෙකු ආශ්‍රය කළ නමුත් තමන්ගේ හොඳම හමුවීම 1962 දී විවාපත් කර ගන්න ලැබුණු බවයි Milkha විශ්වාස කරන්නේ. Milkha විසින් 1962 දී විවාහ කර ගන්නේ ඉන්දියානු වොලිබෝල් කණ්ඩායමේ නායකත්වය පවා දැරූ Nirmal Saini නම් ක්‍රීඩිකාව.

දශක හයකට ආසන්න කාලයක් තිස්සේ සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න ඔවුන් දෙදෙනා සමත් වුනා විතරක්ම නෙවෙයි, දරුවන් පස් දෙනෙකුට දෙමාපියන් වෙන්නත් ඔවුන්ට අවස්ථාව ලැබෙනවා.

ඉන් එක් අයෙක් තමයි ඉන්දියාවෙන් බිහි වුන විශිෂ්ට ගෝල්ෆ් ක්‍රීඩකයෙක් වෙන Jeev Milkha Singh කියන්නේ. Bhaag Milkha Bhaag චිත්‍රපටිය නිෂ්පාදනය වෙද්දී Jeev විසිනුත් ඉතා ඉහළ වැඩ කොටසක් ඉටු කරපු බව Milkha විසින් පසු කාලයක දී සඳහන් කරනවා.

“ඇත්තටම කියනවා නම් Rang De Basanthi චිත්‍රපටිය බලලා මේ අධ්‍යක්ෂකවරයා ගැන පැහැදිලා Jeev තමයි මගේ චිත්‍රපටිය වෙනුවෙනුත් ඔහුව තෝරා ගත්තේ.”

(Bhaag Milkha Bhaag චිත්‍රපටියට පෙර Rakeysh Omprakash විසින් අධ්‍යක්ෂණය කළ විශිෂ්ටතම චිත්‍රපටියක් ලෙස Rang de basanthi චිත්‍රපටිය හඳුන්වා දෙන්න පුළුවන්.)

Milkha නිසා ඉන්දියාවට දවසක් නිවාඩු දුන්නා!

Bhaag Milkha Bhaag චිත්‍රපටියේ දර්ශන පෙළක් තියෙනවා Milkha සහ Biro පාලමක් උඩ වාඩි වෙලා කතා කර කර ඉන්න. ඒ වෙද්දී Milkhaගේ නම හංවඩු ගැහිලා තියෙන්නේ හොරෙක් විදිහට විතරයි. ඒත් ඔහු තමන්ගේ පෙම්වතියට කියනවා කවමදාක හරි තමන්ගේ නම නිසාත් ඉන්දියාව ජාතික නිවාඩු දිනයක් වෙන් කරාවී කියලා.

real milkha sing
තමන් වෙනුවෙනුත් ඉන්දියාව ජාතික නිවාඩු දිනයක් වෙන් කරාවි යැයි Milkha පවසද්දී Biro පිළිතුර වුනේ සිනහවක් පමණයි! (Image – Bhaag Milkha Bhaag Movie)

චිත්‍රපටියේ මේ විදිහේ සිදුවීමක් අපි දැක්කත් ඇත්තටම එහෙම කතාව ඔහු කිව්ව ද, නැද්ද කියන්න පැහැදිලි සාක්ෂියක් නැහැ. කෙසේ වෙතත් 1958 දී ඇත්තටම Milkha විසින් පොදු රාජ්‍ය මණ්ඩල උළෙල නියෝජනය කරලා රන් පදක්කමක් දිනා ගන්න සමත් වෙනවා. ඒ වෙලාවේ දී එවකට ඉන්දීය අගමැති Jawahr Lal Neruගේ සහෝදරිය මේ තරගය සජීවීව නරඹනවා විතරක් නෙවෙයි, තරගයෙන් පසුව ඇවිත් Milkhaව වැලඳ ගනිමින් සුබ පැතුම් එකතු කරනවා. පසුව ඇය ඔහුගෙන් අහනවා මේ ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය මොනවද කියලා. ඒ වෙලාවෙ ඔහු ඉල්ලන්නේ ජාතික නිවාඩු දිනයක් වෙන් කරන්න පුළුවන් ද කියලා. JL Neru විසින් මේ ඉල්ලීම ඉටු කරනවා.

Milkha විසින් මොන තරම් ලොකු සංධිස්ථානයක් ඉන්දියාව වෙනුවෙන් සටහන් කරා ද කියන්න ඒ උදාහරණයම ප්‍රමාණවත්. මොකද Milkha Singh තමයි පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙකක දී ඉන්දියාව වෙනුවෙන් රන් පදක්කමක් දිනා ගත්තු මුල්ම ක්‍රීඩකයින් දෙදෙනා අතරින් කෙනෙක් වෙන්නේ.

නමුත් මේ හැම දෙයකට ම වඩා ඉහළින් අගය කෙරෙන දෙයක් Milkhaගේ ජීවිතයේ තියෙනවා.

Milkha Singh විසින් ඉන්දියාවේ ප්‍රබලතම ප්‍රතිවාදියා වුන පාකිස්තානය පරාජය කරන්න සමත් වුනා.

Milkha Singh ඉන්දියාවේ රජ කරපු කාලයේ පාකිස්තානයේ රජ කළේ Abdul Kaliq කියන ධාවන ශූරයා.

1962 දී Milkha ට අවස්ථාවක් හිමි වෙනවා පාකිස්තානයට යන්න. නමුත් Milkha මේ ඇරයුම පිළිගන්නේ නැහැ. මොකද Milkhaගේ දෙමාපියන් ඔහුගේ ඇස් ඉදිරිපිට දීම පාකිස්තානයේ දී* මරා දමපු මතකය නිසා.

*ඉන්දියාව සහ පාකිස්තාන යන රටවල් වෙන් වෙද්දී තමයි මේ සිදුවීම වෙන්නේ. දෙමාපියන් මරා දැමීමෙන් පස්සේ ඉන්දියාවට ආපු Milkha විසින් ජීවත් වෙන්නේ තමන්ගේ වැඩිමහල් සහෝදරිය සමඟ. මෙතන දී චිත්‍රපටිය වගේම සමහර වාර්තාවල සටහන් වෙන්නේ Milkhaගේ දෙමාපියන් ඔහුගේ ඇස් ඉදිරිපිටම මරා දැමූ බව. නමුත් සමහර තැන්වල සඳහන් වෙන්නේ ඒ වෙද්දී Milkha එතන නොසිටි බව. කෙසේ වෙතත් Milkhaට ලැබුණු ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න ප්‍රධානතම හේතුව තමයි සිය මව්පියන් ඝාතනය ගැන තියෙන අඳුරු මතකය.

පසුව එවකට ඉන්දීය අගමැති Jawahr Lal Neru විසින් පෞද්ගලිකව Milkhaගෙන් කරපු ඉල්ලීමක් නිසා ඔහු පාකිස්තානයට යනවා.

එහි දී ඔහු නැවත වරක් Abdul Kaliq ව පරාජය කරනවා.

“Milkha, ඔයා පාකිස්තානයට ඇවිත් දිව්වේ නැහැ. ඔයා පියෑඹුවා.”

එවකට පාකිස්තාන ජනාධිපති වුනු Ayub Khan විසින් තරගයෙන් පසුව Milkha Singh ව අගය කරන්නේ ඒ විදිහට.

Milkha Singh ව හඳුන්වන තවත් අන්වර්ථ නාමයක් තියෙනවා, ඒ තමයි Flying Sikh (පියාඹන Sikh ජාතිකයා). Milkha Singh කියන විදිහට නම් තමන්ට ලැබුණු අන්වර්ථ නාමයේ සැබෑම අයිතිය හිමි විය යුත්තේ Ayub Khan හට.

ඒ වගේම Bhaag Milkha Bhaag චිත්‍රපටිය නරඹද්දී වගේම Milkha Singගේ අතීත වාර්තා පිරික්සද්දීත් ඔහු විසින් පාකිස්තානයේ දී ලබපු ජය බොහෝ ඉන්දියානුවන් ඔලිම්පික් ජයග්‍රහණයක් තරමට ම සැමරුව බව පසක් වෙනවා.

ඒ නිසාම වෙන්න ඇති Bhaag Milkha Bhaag චිත්‍රපටියත් 1960 රෝම ඔලිම්පික් උළෙලේ Milkhaගේ පරාජයෙන් පටන් අරගෙන පාකිස්තානයේ දී Milkha ලද ජයග්‍රහණයෙන් නතර වෙන්නෙත්.

ඒ කොහොම වුනත් තමන් ඔලිම්පික් වල දී ලද ඒ අනපේක්ෂිත පරාජය Milkhaගේ ඉදිරි ජීවිත කාලය පුරාවටම ඔහුගේ හිතේ නොමැකී තිබුණා.

“ඔහු කිවුවා ජීවිතයේ ඔහු අතින් සිදු වුනු ලොකුම වරද එය (1960 ඔලිම්පික් පදක්කම මග හැරීම) බව සහ ඒ වෙනුවෙන් කවමදාවත් තමන් තමන්ටම සමාව නොදෙන බව.”

Jeev Milkha Singh විසින් සිය පියාගේ හැඟීම් පිළිබඳ ඒ විදිහට විස්තර කරනවා.

ඔහුගේ පසුතැවීම කවදාවත් තුරන් නොවුනා වගේම, මලල ක්‍රීඩාවෙන් ඉන්දියානුවෙක් ඔලිම්පික් පදක්කමක් දිනා ගන්නවා බලන්න ඔහුට තිබුණු ආසාවත් කිසිම දවසක ඉෂ්ට වෙනවා දකින්න ඔහුට අවස්ථාවක් හිමි වෙන්නේ නැහැ.

2021 ජුනි මාසයේ 13 වැනිදා ඔහුගේ ප්‍රිය බිරිඳ Nirmal Saini කොරෝනා වයිරසය නිසා ඇති වුනු සංකූලතා නිසා ජීවිතයෙන් සමුගන්නවා, හරියටම ඊට දවස් පහකට පස්සේ ජුනි මාසේ 18 වැනිදා අපේ කතා නායකයා Milkha Singh තමන්ගේ බිරිඳ ඉන්න තැනක් හොයා ගෙන යන්න යනවා.

Milkhaට සිය බිරිඳව මුලින්ම මුණ ගැහෙන්නේ 1955 දී කොළඹ පැවති උත්සවයක දීයී! (Image – Decan Herald)

අපි මේ සිදුවීම් චිත්‍රපටියෙන් නොදකිනවා වුනත්, චිත්‍රපටියක් හදන්න තරම් වටින ආදර කතාවක් වගේම සංවේදී අවසානයකුත් Milkha සහ Nirmal යුවල අතර තියෙනවා.

කොහොම වෙතත් Milkhaගේ පසුතැවීම් වලට සාධාරණයක් ඉටු කරන්න මරණයෙන් මාස දෙකක් ගෙවෙන්නත් මත්තෙන් Neeraj Chopra විසින් සමත් වෙන්නේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ඔලිම්පික් රන් පදක්කමක් ඉන්දියාවට හිමි කර දීමෙන්.

NeerajMilkhaගේ ආත්මයට ශාන්තියක් ගේන්න පුළුවන් වුනා කියලා අපි විශ්වාස කරමු!

Bhaag Milkha Bhaag කියන්නේ සර්ව සම්පූර්ණ චිත්‍රපටියක් බවට මම කිසිම විදිහකින් කියන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් Milkha Singh විසින් තමන්ගේ චරිතාපදානය සතුටින් බාර ගත්තා සහ ඒ පිළිබඳ සතුටු සිතින් අදහස් පළ කරා.

මෙතන දී විශේෂයෙන්ම Milkhaගේ චරිතයට පණ දුන්න සුපිරි බොලිවුඩ් නළුවෙක් වෙන Farhan Akhtarවත් මතක් කළ යුතුමයි. ඔහු ඒ වෙනුවෙන් විශේෂ කැපවීමක් දරපු බව සිනමාපටයෙන් අපිට පේනවා, ඒ වගේම Milkha විසිනුත් ඔහුව සෑහෙන්න අගය කරලා තියෙනවා.

සම්මාන කීයක් හිමි වුනත්, සත්‍ය කතාවේ හිමි කාරයාගෙන් ලැබෙන පිළිගැනීම තරම් දෙයක් නැති නිසා Bhaag Milkha Bhaag චිත්‍රපටිය ඕනෑම කෙනෙකුට බය නැතුව බලන්න කියලා නිර්දේශ කරන්න පුළුවන්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<