එක්දින පිටියේ පෙරළිකාරයා ඩීනෝ!

873
Dean Jones
@Getty Images

ඩීන් ජෝන්ස් යනු එක්දින තරග රටාව ගැන කතා කරද්දී අමතක කරන්නට බැරි චරිතයකි. ජෝන්ස්ගේ ක්‍රීඩා රටාව සීමිත පන්දුවාර ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙන ආකාරය වෙනස්ම මානයකට යොමු කළේය.

අද දිනයේ සිය උපන්දිනය සමරන, ඩීනෝ නම් සුරතල් නාමයෙන් ක්‍රිකට් ලෝකයක් හැඳින්වූ ඩීන් ජෝන්ස් නම් අපූරු ක්‍රිකට් ක්‍රීඩකයා අද අපේ ලිපියේ කතානායකයා ලෙස තෝරා ගත්තෙමු.

ඩීන් ජෝන්ස්ගේ අභීත මදුරාසි වික්‍රමය.

1986 වසරේ ඉන්දියාවට එරෙහිව මදුරාසියේ දී පැවති ලකුණු සමව නිමාව දුටු ටෙස්ට් තරගයේ ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට ජෝන්ස් අගනා ලකුණු 210ක් එක් කළේය. බොහෝ ඕස්ට්‍රේලියානු ජාතිකයින්ට අනුව සිය මව් රටෙන් පිටත දී ඕස්ට්‍රේලියානුවෙකු දියත් කළ විශිෂ්ටතම ඉනිම මෙයයි.

අධික රශ්මියක් සහිත මදුරාසියේ උෂ්ණාධික කාලගුණයේ ඉන්දියානු සුපිරි දඟපන්දු යවන්නන් හමුවේ ජෝන්ස් නොසැලී සිටි අකාරය සැබවින්ම පුරාවෘත්තයකි.

යුහුසුළුව කඩුලු අතර දිව යමින් ද විටෙක ඉන්දියානු දඟපන්දු යවන්නන්ට නිර්භයව පහර දුන් ජෝන්ස්ගේ සියලු ශක්තිය ශතක සීමාවට කිට්ටු වෙද්දී මදුරාසියේ අව් රශ්මිය විසින් උරාගෙන තිබුණි.

ඩීන් ජෝන්ස් ඉන්දියාවට එරෙහිව සිය ද්විත්ව ශතකය අතරතුර පන්දුවට පහර දෙමින්

කිහිප වතාවක් පිටිය මැදම වමනය කළ ජෝන්ස්ට ද්විත්ව ශතකයට ළඟා වන විට තමන්ගේ ශරීරය තම පාලනයෙන් ගිලිහෙන බව තේරුම් ගියේය. පාලනයකින් තොරව, නොදැනුවත්වම තම කලිසමේම මුත්‍රා පිටවන බව වටහා ගත් ජෝන්ස් තමාට තවදුරටත් පන්දුවට පහර දිය නොහැකි බවට අනෙක් අන්තයේ පිතිහරඹයේ යෙදී සිටි නායක ඇලන් බෝඩර්ට ආයාචනා කළේය.

ජෝන්ස් සිටින අසීරු තත්වය ගැන මදකටවත් තැකීමක් නොකළ බෝඩර් මෙසේ ප්‍රකාශ කළේය.

එහෙනම් පලයන්. හයිය තියන දැඩි ඕස්ට්‍රේලියානුවෙක් අපි ගෙන්වා ගන්නම්.”

බෝඩර්ගේ ප්‍රතිචාරය අනුකම්පා විරහිත විය.

බෝඩර්ගේ වාග් ප්‍රහාරයෙන් සලිතව ගිය ජෝන්ස් තවත් වේලාවක් පන්දුවට පහර දුන්නේය. ජෝන්ස් ද්විත්ව ශතකයෙන් මොහොතකට අනතුරුව දැවී යද්දී පැය හතකට අධික කාලයක් දැඩි අව් රශ්මියේ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සටන් වැදී තිබුණි.

දැවී යාමෙන් අනතුරුව වහා රෝහල් ගත කෙරුණු ජෝන්ස්ට ලකුණු 170න් එහා සිදු වූ කිසිවක් මතක නැති බවත් තවමත් අධික උෂ්ණත්වයක දී තමන් වෙව්ලීමට ලක්වන බවත් පසු කලෙක ප්‍රකාශ කළේය.

එවකට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ බොබ් සිම්ප්සන් පවසන ආකාරයට  ඉනිම අතරතුර ක්‍රීඩාගාරයට පැමිණෙන ජෝන්ස්ගේ හිස්වැසුම ගැලවීමේ සිට සියලු ආවතේව කිරීමට වෙන වෙනම ක්‍රීඩකයින් පත් කිරීමට සිදු වූ බවක් පසුව පැවසුවේය.

අහම්බයකින් ටෙස්ට් වරම්.

1961 වසරේ මාර්තු 24 වැනිදා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ උපන් ඩීන් මර්වින් ජෝන්ස් 1981/82 ෂෙෆිල්ඩ් පලිහ තරග මලාවේ දී පළමු පෙළ තරග වරම් දිනා ගත්තේය.

1984 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගාවලියට ජෝන්ස් පළමු වරට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තෝරා ගැනෙන්නේය. ඒ ග්‍රැහැම් යෙලොප් ආබාධයකට ලක්වීම නිසාවෙනි.

සංචිතයේ සිටි නමුත් තරගයට ක්‍රීඩා කරන පළමු එකොළොස් දෙනාට අතරට එක්වන්නට ජෝන්ස්ට හැකියාව ලැබුණේ නැත.

පෝර්ට් ඔෆ් ස්පේන්’හී පැවති දෙවැනි ටෙස්ට් තරගයට පෙරාතුව ස්ටීව් ස්මිත් අසනීප වූ බැවින් ඕස්ට්‍රේලියාව නියෝජනය කළ 324 වැනි ක්‍රීඩකයා ලෙස ටෙස්ට් වරම් දිනා ගැනීමට ජෝන්ස් සමත් විය.

අසනීප තත්වයකින් පසුවුව ද සිය මංගල ටෙස්ට් ඉනිමේ දී අධිෂ්ඨානශීලීව ලකුණු 48ක් රැස් ගත්තේය. ජෝන්ස්ට අනුව එය ඔහු ක්‍රීඩා කළ අනගිතම ටෙස්ට් ඉනිම විය.

ඩීන් ජෝන්ස් නම් එක්දින තරග පුරාවෘත්තය.

එක්දින තරග පිටියේ ඩීන් ජෝන්ස් යනු සැබැවින්ම පෙරළිකාරයෙකි. කඩුලු අතර වේගයෙන් දිවයෑම, වේගපන්දු යවන්නන්ට තණතීරුව මැදට ඇවිද එමින් පහර දීම, ආක්‍රමණශීලී පන්දු රැකීම හේතුවෙන් ජෝන්ස් නම් එක්දින ක්‍රීඩකයා ප්‍රේක්ෂකයින් අතර අතිශයින්ම ජනප්‍රිය විය.

ජොන්ස්ගේ එක්දින තරගවල ලකුණු සාමාන්‍ය සහ ප්‍රහාරක වේගය ඒ දිනවල සාර්ථක එක්දින පිතිකරවෙකු මනින මිනුම් දණ්ඩක් විය.

1987 ඉන්දියාවේ සහ පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවති රිලයන්ස් ලෝක කුසලානය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරන අවස්ථාවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ඩේවිඩ් බූන් සහ ජෙෆ් මාෂ්ට අමතරව නොම්මර තුන පිතිකරුවා වූ ඩීන් ජෝන්ස්ගේ පිත්තෙන් ද අගනා දායකත්වයක් ලැබී තිබුණි.

ජෝන්ස් 1990 වසරේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව බ්‍රිස්බේන් නුවර, ගැබා ක්‍රීඩාංගණයේ දී රැස් කළ ලකුණු 145ක ඉනිම එක්දින තරගවල දී ජෝන්ස් රැස් කළ ඉහළතම ලකුණු සංඛ්‍යාවයි.

ගැබා ක්‍රීඩාංගණයේ දී එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 145 ඉනිම අතරතුර පන්දුවට පහර දෙමින්

1998/99 කාල්ටන් සහ යුනයිටඩ් තරගාවලියේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේ පැවති තරගයක දී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඇඩම් ගිල්ක්‍රිස්ට් ලකුණු 154ක් රැස් කරන තෙක් ඕස්ට්‍රේලියානුවෙකු එක්දින තරගයක වාර්තා කළ ඉහළතම තනි ඉනිම වූයේත් ජෝන්ස් ලබා ගත් මෙම ලකුණු 145යි.

අසීරු ආරම්භයක්.

ඩීන් ජෝන්ස් කණ්ඩායමට එක් වූ සමයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් නවකයින්ට ගෙන දුන් පීඩනය ඉතා දැඩි බව ඔහු පසුකාලීනව ප්‍රකාශ කළේය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පැමිණි මුල් කාලයේ තරගයක දී පන්දුවට පහර දීමට පිටියට පිවිසෙන ජෝන්ස්ගේ කොලරයෙක් අල්ලා බිත්තියකට හේත්තු කළ එවකට ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුවේ සාමාජිකයෙක් වූ රොඩ්නි මාෂ් මෙසේ පැවසූ බව කියවේ.

තමුසේ මේ මැච් එක ඉවර කරල මිසක් ආයේ මේ පැත්ත පලාතේ එන්න හිතන්නවත් එපා”.

මේ තර්ජනයෙන් ජෝන්ස් කොයි තරම් බියට පත්වූවේ ද යත්, තරගය නිමා වන තෙක් පිතිහරඹයේ යෙදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරාගෙන ගිය බව කියවේ.

ජෝන්ස් නම් ආන්දෝලනාත්මක ක්‍රීඩකයා.

ක්‍රිකට් පිටිය තුළ අව් කණ්ණාඩි පැළඳගෙන ක්‍රීඩා කළ මුල්ම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වන්නේත් ඩීන් ජෝන්ස්ය.

අව් කණ්නාඩි පැලඳීම හේතුවෙන් මෙල්බර්න් ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරගයක් අතරතුර ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වන්නට ද ඩීන් ජෝන්ස්ට සිදු වූ බව කියවේ.

තමුසේ ඕක දාගෙන එක කැච් එකක් හරි මිස් කරනවා. ඒ වෙලාවට තමුසේව මෙල්බර්න් ක්‍රවුඩ් එක බලා ගනී. ඊට පස්සේ මම තමුසේ ගැන බලාගන්නම්”.

ඩීන් ජෝන්ස් කියූ සැණින් මතකයට එන සිදුවීමක් නම් 1993 වසරේ බෙන්සන් සහ හෙජස් ලෝක ශූරතා තරගාවලියේ දී ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කර්ට්ලි ඇම්බ්‍රෝස් සමඟ ඇති කර ගත් ගැටුමයි.

“මේ කියන තරගයට කලින් පාකිස්තානය සමඟ පැවති තරගයේ දී වසීම් අක්‍රම්ගේ පන්දුවක් වැදී මගේ මහපට ඇඟිල්ල බිඳී ගියා.

ඒ වෙද්දී ඩේමියන් මාටින් සිටියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එක්වෙන්න ඔන්න මෙන්න. මට ඒ තරගය කිසිසේත්ම අතාරින්න බැහැ. එහෙම කළා නම් කණ්ඩායමේ මගේ ස්ථානය අවිනිශ්චිත වෙන්න තිබුණා.

මම වේදනා නාශක භාවිතා කරමින් තරගයට එක්වෙන්න තීරණය කළා. නමුත් පිතිහරඹයට යන අවස්ථාවේ දී මට තේරුණා ඇඟිල්ලේ ආබාධය හිතුවාට වඩා දරුණුයි කියා.

එවෙලේ පන්දු යවමින් හිටියේ කර්ට්ලි ඇම්බ්‍රෝස්. අවසානයේ මම තීරණය කළා යමක් පවසා ඇම්බ්‍රෝස් ඇවිස්සීම තමයි මට ඒ අවස්ථාවේ කළ හැකි හොඳම දේ කියලා.

මා කළේ ඔහු අතේ පැලඳ ගෙන සිටි සුදු පැහැති දහඩිය පිහදැමීමට භාවිතා කරන බෑන්ඩ් එක ඉවත් කරන ඉල්ලා සිටීමයි. මම හිතූ ආකාරයෙන් මගේ වාසියට කැරකුණේ නැහැ. මම එදා කළේ හරිම මෝඩ වැඩක්”.

ජෝන්ස් විසින් එදා කර්ට්ලි ඇම්බ්‍රෝස් අවුස්සා ගැනීම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් ප්‍රසාදයට පත් කළේ නැත.

අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි මාක් ටේලර්, ජෝන්ස් වෙත ගොස් මෙසේ පැවසූ බව කියවේ.

මොකක්ද මිනිහෝ ඒ කරපු වැඩේ. මට ගෑණියෙකුයි,  ළමයි දෙන්නෙකුයි ඉන්නවා.”

ඇම්බ්‍රෝස් කඩුලු පහක් දවාගෙන බටහිර ඉන්දීය කොදෙව්වන් ජයග්‍රහණය කරාගෙන ගිය අතර ඇඩිලේඩ් නුවර මීළඟට පැවති ටෙස්ට් තරගයේ දී කඩුලු දහයකුත්, පර්ත් නුවර පැවති ටෙස්ට් තරගයේ දී කඩුලු නමයකුත් දවා ගන්නට සමත් විය.

ඩීන් ජෝන්ස්ට අසීමිත ක්‍රිකට් දක්ෂතාවයක් පමණක් නොව මුඛරි කටක් ද පිහිටා තිබුණි. එය සමහර විට ජෝන්ස්ගේ ආවාසියට හිටි අවස්ථාවන් ද නැත්තේම නොවේ.

ක්‍රිකට් ලොව කම්පා කරමින් ඩීනෝ මෙලොව හැරයයි.

2020 වසරේ ඉන්දියානු ප්‍රිමියර් ලීගයේ විස්තර විචාරයෙකු ලෙස කටයුතු කරන්නට ඉන්දියාවට ගිය ජෝන්ස් මුම්බායි නුවර දී හෘදයාබාධයකින් හදිස්සියේම මෙලොව හැරගියේය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 59කි. ජෝන්ස්ගේ අභාවය මුළු ක්‍රිකට් ලෝකයම විශාල කම්පනයකට පත් කිරීමට සමත් විය.

එතෙක් මෙතෙක් ක්‍රිකට් ලෝකයේ බිහි වූ පුරාවෘත්තයන් අතර ඉදිරියෙන්ම කියවෙන්නේ නැති වුවද ඩීන් ජෝන්ස් යනු ක්‍රිකට් ක්‍රීඩාව, විශේෂයෙන්ම සීමිත පන්දුවාර ක්‍රීඩාව කෙරෙන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කළ අද්විතීය ක්‍රීඩකයෙකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<