Kohli නැවතත් IPL නායකත්වයට එන බවට අනුමානයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

1380
Team India star explains why he believes Kohli can return as RCB

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දින කීපයක් පමණයි. තරගාවලිය ආරම්භ වීමට පෙර තරගාවලියේ වැඩිම අවධානයට යොමු වුනේ එක් එක් කණ්ඩායම්වල නායකයන් කවුරුන් ද යන්න පිළිබඳවයි.

ඒ අතරින් Virat Kohli නායකත්වය දැරූ Royal Challengers Bangalore කණ්ඩායමේ නායකත්වය දකුණු අප්‍රිකානු ක්‍රීඩක Faf du Plessis හට හිමි වීම බොහෝ දෙනාගේ අවධානයට යොමු වුනා.

2022 ඉන්දීය ප්‍රිමියර් ලීගය මේ සති අන්තයේ ආරම්භ වන්නේ පෙර වසරේ අවසන් තරගයේ තරගකරුවන් වූ Chennai Super Kings (CSK) සහ Kolkata Knight Riders (KKR) අතර තරගයෙන්.

මෙම තරගය මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලියට පෙර පැවති වෙන්දේසියේ දී කණ්ඩායම් සංයුතියේ දැවැන්ත වෙනස්කම් සිදු වී තිබෙනවා. Chennai Super Kings ඔවුන්ගේ පැරණි ක්‍රීඩකයින් ගණනාවක් නැවත කණ්ඩායමට ගෙන තිබූ නමුත් පසුගිය වසරේ වැඩිම දස්කම් දැක්වූ Faf du Plessis Royal Challengers Bangalore විසින් මිල දී ගෙන තිබුණා. ඔවුන් du Plessis ඉන්දීය රුපියල් කෝටි 7කට මිල දී ගත් අතර ඉන් නොනැවතී 2022 තරගාවලිය සඳහා ඔවුන්ගේ නව නායකයා ලෙස ද මේ දකුණු අප්‍රිකානු ජාතිකයා නම් කර තිබුණා.

Royal Challengers Bangalore මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ කරන්නේ එළඹෙන මාර්තු 27 වැනිදා Punjab Kings කණ්ඩායමට එරෙහි තරගයෙන්. තරගාවලිය ආරම්භයට පෙර Royal Challengers Bangalore කණ්ඩායමේ නායකත්වය වෙනස් වීම සහ කණ්ඩායමේ අනාගතය පිළිබඳව ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක Ravichandran Ashwin විසින් අදහස් දක්වා තිබුණා.

එහි දී ඔහු පවසා සිටියේ එළඹෙන වසරේ තරග වාරයේ දී Virat Kohli Royal Challengers Bangalore නායකත්වයට නැවතත් පත්වෙනු ඇති බවයි. මෙවර තරගාවලියේ දී Rajasthan Royals නියෝජනය කරන Ravichandran Ashwin මේ බව පවසා සිටියේ YouTube නාලිකාවක් සමඟින් සාකච්ඡාවකට එක්වෙමින්.

“Faf ඔහුගේ IPL ක්‍රිකට් දිවියේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. සමහර විට, ඔහු තවත් වසර දෙක තුනක් ක්‍රීඩා කරාවි. ඒත් Royal Challengers Bangalore ඔහුව නායකයා කරලා තියනවා. ඒක ඉතා හොඳ තීරණයක්. ඔහු බොහෝ අත්දැකීම් සහිත ක්‍රීඩකයෙක්. ඒ වගේම කණ්ඩායමට බොහෝ දේ අරන් එන ක්‍රීඩකයෙක්. ඇත්ත වශයෙන්ම, ඔහුගේ නායකත්ව කුසලතා තුළ MS Dhoniට සමාන ගති ලක්ෂණ අපට දැක ගන්න පුළුවන්. ඒ බව වරක් ඔහුම කියලා තියනවා”, දකුණු අප්‍රිකානු දත්ත විශ්ලේෂකයෙකු වන Prasanna Agoram සමඟින් YouTube සාකච්ඡාවකට එක්වෙමින් Ravichandran Ashwin පවසා සිටියා.

“පසුගිය වසර කිහිපය තුළ නායකයෙකු ලෙස Virat Kohli දැඩි මානසික පීඩනයකට ලක්ව සිටියා. ඒ නිසා මේ වසර ඔහුට විවේකයක් වේවි කියලා මට හැඟෙනවා. ඒත් ලබන වසරේ කණ්ඩායම ඔහුව නායකයෙකු ලෙස පත් කරාවි කියලා මම අනුමාන කරනවා”, Ashwin වැඩිදුරටත් පවසා සිටියා.

කෙසේ වෙතත් du Plessis ඔහුගේ ක්‍රිකට් දිවියේ අවසන් අවධියේ නොසිටින බව Prasanna පවසා සිටියා. එයට ප්‍රතිචාර දක්වමින් Ravichandran Ashwin පවසා සිටියේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා ඔහුගේ ක්‍රීඩා දිවියේ “පසුපස” සිටින බවයි.

Ravichandran Ashwin නියෝජනය කරන Rajasthan Royals කණ්ඩායම මාර්තු 29 වැනිදා Sunrisers Hyderabad කණ්ඩායම සමගින් තරග වැදීමට නියමිතයි.

Hindustan Times ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<