හිටපු ඉන්දීය ක්‍රීඩකයෙකුගෙන් Delhi Capitalsට අනතුරු ඇඟවීමක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

8843
Ex-IND opener issues big warning for DC ahead of IPL

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ දින කීපයක් පමණයි. තරගාවලිය ආරම්භ වීමට පෙර හිටපු ඉන්දීය ආරම්භක පිතිකරුවෙකු වන Aakash Chopra විසින් Delhi Capitals කණ්ඩායමට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ එම කණ්ඩායමේ දුර්වලතා කිහිපයක් පෙන්වා දෙමින්.

Delhi Capitals ඔවුන්ගේ තරග වාරය මාර්තු 27 වැනිදා ආරම්භ කරනවා. ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාවය පස් වතාවක් දිනා ගත් Mumbai Indians සමඟින්. එම තරගය Brabourne ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

Delhi Capitals පසුගිය වසරේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාවය ආසන්නයටම පැමිණියත්, ඔවුන්ට ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වුනේ නැහැ. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගි වූ කණ්ඩායම් 8න් එක්වරක් හෝ ශූරතාවය දිනා නොගත් කණ්ඩායම් තුන අතර Delhi Capitals ද සිටිනවා. එලෙස ශූරතාවය දිනා නොගත් කණ්ඩායම් ලෙස Punjab Kings සහ Royal Challengers Bangalore පසුවනවා.

2022 IPL තරගාවලියට පෙර පැවති සුපිරි වෙන්දේසියේ දී ඔවුන්ගේ ක්‍රීඩකයන් වූ Shreyas Iyer සහ Shikhar Dhawan වැනි සුපිරි පිතිකරුවන් මිල දී ගැනීමට Delhi Capitals සමත් වුනේ නැහැ. Shreyas Iyer ඉන්දීය රුපියල් කෝටි 12.25ක මුදලකට Kolkata Knight Riders විසින් මිල දී ගත් අතර Shikhar Dhawan ඉන්දීය රුපියල් කෝටි 8.25කට Punjab Kings විසින් මිල දී ගෙන තිබුණා.

Delhi Capitals ද මෙවර වෙන්දේසියේ දී කැපී පෙනෙන මිල දී ගැනීම් කීපයක් සිදු කර තිබුණා. ඔවුන් David Warner නැවත සංචිතයට ගෙන තිබූ අතර විදෙස් ක්‍රීඩකයන් වන Mitchell Marsh සහ Rovman Powell වැනි ක්‍රීඩකයන් ද මිල දී ගෙන තිබුණා. මීට අමතරව දේශීය ක්‍රීඩකයන් වන KS Bharat, Yash Dhull සහ Mandeep Singh ද මිල දී ගෙන තිබුණා.

කෙසේ වෙතත් පාකිස්තානයට එරෙහි සීමිත ඕවර තරගාවලිය සඳහා සහභාගී වීම හේතුවෙන් Mitchell Marsh ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුල් තරග සඳහා සහභාගී වන්නේ නැහැ. මේ අතර Rovman Powell මේ වන විට ආබාධයකට ලක්ව සිටිනවා. මේ නිසා ඔහුට ද මුල් තරග කීපය අහිමි වනවා. Delhi Capitals කණ්ඩායමේ මෙම අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් Aakash Chopra පවසා සිටියේ ප්‍රබල ක්‍රීඩකයන් අහිමි වීම Delhi Capitals කණ්ඩායමට විශාල බලපෑමක් එල්ල කරන බවයි.

“Mitchell Marsh ක්‍රීඩා නොකිරීම එක්ක ඔවුන්ට සිදු වෙනවා Yash Dhull, Kona Bharat, Mandeep Singh වගේ ක්‍රීඩකයන්ට යොමුවෙන්න. මේවා ඇත්තටම සමාන ආදේශන නෙමෙයි”, Aakash Chopra පසුගිය දා Star Sports නාලිකාවේ ‘Game Plan’ වැඩසටහන වෙත එක්වෙමින් පවසා සිටියා.

ඒ වගේම ඔවුන්ට Shikhar Dhawan නැහැ. ඒ වගේම Shreyas Iyer නැහැ. ඉතින් පිතිකරණ ලැයිස්තුව සහ විදෙස් ක්‍රීඩකයන් දිහා බැලුවම මට හිතෙනවා දිල්ලිය අමාරුවේ වැටිලා කියලා. තරගාවලියේ ආරම්භයට ඔවුන්ට ලොකු අභියෝගයක් තියනවා. ඔවුන් තරගාවලිය ශක්තිමත් ලෙස ආරම්භ කරන්නේ නැහැ”, Aakash Chopra වැඩිදුරටත් පවසනවා.

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී Delhi Capitals අවසන් පූර්ව වටයට පිවිසි අතර 2022 වාරයට පෙර කණ්ඩායමේ නායකයා ලෙස සිටි Rishabh Pant කණ්ඩායමේ රඳවා ගෙන තිබුණා.

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<