පාපන්දු සහ සමරිසි ලිංගිකත්වය ගැන දෙසොහොයුරන්ගේ අදහස්

227

ඔවුන් දෙදෙනා එංගලන්තයේ ස්ටීවනාජ් නුවර උපන්නා. ඒ ස්ටීවනාජ් පාපන්දු සමාජයේ ගෝල රකින්නා වූ Richard Wilmot (රිචඩ් විල්මට්) සහ ඔහුගේ බිරිඳගේ පුතුන් දෙදෙනා වශයෙන්.

Joe Wilmot (ජෝ විල්මොට්) සහ Ben Wilmot (බෙන් විල්මොට්) පිළිවෙළින් වැඩිමහල් සහ බාල සහෝදරයායි. බෙන්, 17 හැවිරිදි වියෙහිදීම ස්ටීවනාජ් පාපන්දු සමාජය වෙනුවෙන් වෘත්තීය පාපන්දු ක්‍රීඩා කළ අතර ඉන්පසුව වොට්ෆර්ඩ්, ස්වෝන්සී සහ ඉතාලියේ යුඩිනීස් පාපන්දු සමාජ නියෝජනය කළා. ඔහු එංගලන්ත 21න් පහළ කණ්ඩායමත් නියෝජනය කළ ක්‍රීඩකයෙක්.

වැඩිමහල් සොයුරු ජෝ, සමරිසියෙක්.

– බෙන් (වමේ) සහ ජෝ (දකුණේ). ජෝ සමරිසි සොහොයුරායි.

ඔවුන් දෙදෙනා විසින් පාපන්දු ක්‍රීඩාව ආශ්‍රිත ලිංගිකත්වය ගැන BBC ඉදිරියේ සාකච්ඡා කළා. ප්‍රේක්ෂකාගාර තුළ, ක්‍රීඩාගාර තුළ සහ මාධ්‍ය තුළ ලිංගිකත්වයට අදාළ දෑ සිදුවෙන්නේ කොහොමද කියන කතාවට ඔවුන් ආරම්භයක් ගත්තේ මෙහෙමයි.

ජෝ විසින් බෙන්ට:

මම හිතන්නෙ නෑ පවුලේ කෙනෙක් පාපන්දු ක්‍රීඩාව එක්ක එකතු වෙලා නොහිටි දවසක් තියෙනවා කියලා. අපේ තාත්තා අපි හැදෙන වැඩෙන කාලෙත් ක්‍රීඩා කරමින් හිටියා. තාත්තා සාන්ත ඇල්බන්ස් එක්ක ක්‍රීඩා කරනකොට අපි දෙන්නා ජර්සි දෙකකුත් ඇඳගෙන එකට ගවුන්ඩ් එකේ ඉන්නකොට ගත්තු ෆොටෝ එකක් අම්මා ගෙදර තියලා තියෙනවා. (ප්‍රධාන ඡායාරූපය)

තාත්තා ඔයගොල්ලන්ගේ 14න් පහළ කණ්ඩායම මැනේජ් කරද්දී අම්මයි මමයි තේ බාර් එක කරගෙන ගියා. ඉරිදට මිදෙන සීතලේ ඔයාගේ පිටිපස්සෙනුත් එන ගමන්.

මට මතකයි එක අවුරුද්දක අපි බට්ලින්ස් වල ෆුට්බෝල් ටූනමන්ට් එකක් බලන්න ගියහම Matt Le Tissier (මැට් ලේ ටිසියර්) ඔයාට රත්තරන් පාට බෝලයක් දෙනවා. ඒක මතක හිටින එකක්. ඒ කාලේ හරිම ෆන් කාලයක්.”

බෙන් විසින් ජෝට:

මාත් ඒකම තමයි කියන්නේ. ඒක තමයි මම ගෙදරින් පිට ජීවත් වුණු පළවෙනි වතාව. ඔයගොල්ලෝ හැමෝම ඒ තරගය බලන්න ආපු එක විශේෂයි. මම හිතන්නෙ නෑ ඔයගොල්ලෝ කවුරුත් පිටරටක තරගයක් බලලා තිබුණා කියලා. එහෙම අවශ්‍යතාවයක් තිබුනෙ නෑ.”

ජෝ විසින් බෙන්ට:

මම හිතන්නෙ නෑ ඒ දවස්වල මගේ දේ (සමරිසිභාවය) එළියට දාන එක ගැන අපි කවදාවත් කතා කළා කියලා. මගේ කතාව සම්පූර්ණයෙන්ම අමුතු එකක්. මම අම්මට ඒ ගැන කිව්වේ පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එකකින්. මම එයාගෙන් ඇහුවා ඔයාට කරදරයක් නැත්නම් තාත්තට කියන්න පුළුවන් ද කියලා. මම දන්නෙ නෑ ඔයා කොහොමද දැනගත්තේ කියලා. අම්මා ඔයාට කිව්වද?”

බෙන් විසින් ජෝට:

ඔව්, ඒක කටින් කියවුණේ නෑ. ඒත් ඒක එච්චර ලොකු දෙයක් වුනෙත් නෑ. අම්මා මට කිව්වා. මම කිව්වා “හා” කියලා. එච්චරයි. මම දන්නේ නෑ ඒක ඔයාට මොකක් විදියට දැනුණ ද කියලා, ඒත් මට නම් අපේ පවුල ඇතුළේ ඒක ලොකු දෙයක් කියලා දැනුණේ නෑ”

ජෝ විසින් බෙන්ට:

ඔව්, මට ඒක තමයි ඕන වුනේ. මට ඒ ගැන සින්දු කියලා නටන්න ඕන වුනේ නෑ. මට ඕන වුනේ මිනිස්සු ඒ ගැන දැනගන්නයි. එතකොට ඒක අමුතු දෙයක් වුනේ නෑ.

අපි ගියේ එකම ඉස්කෝලෙට. ඔයා මට වඩා අවුරුදු කිහිපයක් බාලයි. මිනිස්සු මං ගැන කතා කරපු බවට විවාදයක් නෑ. මොකද ඒ කාලේ ඒක එච්චර සුලබ දෙයක් නෙමෙයි.

ඒත් මම හිතුවේ නෑ මම ඒක ඔයාට කෙළින්ම කියන්න ඕන කියලා. මට දැනුණා ඒක හරි කියලා, ඉන්පස්සේ අපි ඉස්සරහට ගියා.

මම ඕක කලින් කිහිපදෙනෙකුට කිව්වහම එයාලා ඇහුවා පවුලේ අයට ගානක් නැද්ද කියලා. ඒත් ඒක එහෙම නෙමෙයි. ඔයගොල්ලන්ට ගානක් තිබුණා, ඒත් අපට ඒක අසාමාන්‍ය දෙයක් වගේ දැනෙන්න අවශ්‍ය වුනේ නෑ.”

බෙන් විසින් ජෝට:

සමලිංගික ෆුට්බෝල් ප්‍රේක්ෂකයෙක් හැටියට ඔයාට තියෙන විශේෂ අත්දැකීම් මොනවද?”

ජෝ විසින් බෙන්ට:

මම ෆුට්බෝල් මැච් වලදී වෙනස්ම පුද්ගලයෙක් වෙන එක ගැන තාත්තත් එක්ක කරන ඉවරවෙන්නැති විහිළුවක් මට තියෙනවා. මට ඒ වෙනස් පුද්ගලයාව තේරෙන්නේ නෑ. මම කුණුහරුප කියනවා, කෑගහනවා, මගේ කටහඬ මොකක් හරි හේතුවක් නිසා ගොඩාක් ගැඹුරු වෙනවා.”

ඒක හිතලා කරන දෙයක් හරි, මම කරන්න ඕන කියන හැඟීමෙන් කරන දෙයක් හරි නෙමෙයි. ඒක, ඔයා සෙල්ලම් කරනවා බලනකොට මට ඇඟටම එන එකක්.

ෆුට්බෝල් මැච් එකක් බලද්දී මම සමලිංගිකයෙක් කියන දේ මගේ හිතට කවදාවත් ඇවිත් නෑ. ඒක මට හිතෙන විදියට මට පහසුවක් හැටියට තියෙනවා.

ඒත් මම කරුණු එක්කම දන්නවා, සමහර අය තමන්ගේ ප්‍රතිචාර, ක්‍රියාකාරකම්, නැත්නම් පේන විදිහ කොහොම තියෙන්න ඕන ද කියන එක ගැන සැලකිල්ලෙන් ඉන්නවා.

මම ඒ පැත්තෙන් ඇත්තටම වාසනාවන්තයි.”

බෙන් විසින් ජෝට:

මාව බලලා හැමදාම ඔයාට පහසුවක් දැනෙනවා කියන එක අහන්න ලැබුණු එක හොඳයි. මොකද ඔයා කෝපරේට් බොක්ස් එකක ඉඳන් නෙමෙයි තරගය බලන්නේ. අනෙක් ටීම් එකේ ස්ටෑන්ඩ් වලත්, අනෙක් තැන්වලත් ඔයා ඉඳලා තියෙනවා”

ජෝ විසින් බෙන්ට:

මට සමලිංගිකයෙක් වෙන එක සම්පූර්ණයෙන්ම ප්‍රශ්නයක් නෑ. මම 100%ක්ම ඒ ගැන පහසුවෙන් ඉන්නේ. ඒත් ඔයා සෙල්ලම් කරනවා බලන එක හරි අමාරුයි. අම්මයි තාත්තයි ඒ ගැන සාක්ෂි වෙයි. අපි මුළු මැච් එක පුරාම පීඩනයෙන් ඉන්නේ. ඒත් ඒකෙ සමලිංගික කොටස සම්පූර්ණයෙන්ම ප්‍රශ්නයක් නෑ.

ඒක ඇතුළේ ෆුට්බෝල් කියන එක අන්තිම අවුරුදු 10 දී කොහොම ඉස්සරහට ආවා කියල ද ඔයා හිතන්නේ?

බෙන් විසින් ජෝට:

මම අවුරුදු 10ක් ප්‍රොෆෙෂනල් ෆුට්බෝල් ගහලා නෑ. ඒත් මගේ අත්දැකීම් වලින් කිව්වොත්, ඒ කරුණු ගැන අවධානයක් යොමු වෙලා තියෙනවා. ගොඩක් මිනිස්සු ඒ ගැන දැනුවත් වෙලා තියෙනවා.

හරියටම කිව්වොත්, 2023දී සමලිංගිකත්වය කියන එක අපි තාමත් කතා කරන්න අවශ්‍ය දෙයක් නෙමෙයි.

ඒක අපට පිළි අරගෙන ඉස්සරහට යන්න පුළුවන් දෙයක් වෙන්න ඕන. ඒක අදාළ පුද්ගලයාට මිසක් අනිත් අයට බලපාන්නේ නෑ. ෆුට්බෝල් කියන එක ආරක්‍ෂිත ඉඩක් වෙන්න ඕන, එතකොට ක්‍රීඩකයන්ට පුළුවන් ක්‍රීඩා කරන කාලෙදිම එළියට ඇවිත් කියන්න. ඒත් මට දැනෙනවා, දවසින් දවස ඔන්ලයින් ක්‍රමයට ලැබෙන අපහාස හින්දා, නැත්නම් මැච් එකක් දවසේ එන අපහාස හින්දා, ප්‍රේක්ෂකයන්ගෙන් බැනුම් අහන්න වෙන තව දෙයක් ප්‍රේක්ෂකයන්ට දෙන්න ඒගොල්ලන්ට ඕන නෑ”

ජෝ විසින් බෙන්ට:

සම්පූර්ණයෙන්ම එකඟයි. මම ඒ සාකච්ඡාව කරන්නවත් කැමති නෑ. ඒක නිකං දඩයම් කරනවා වගේ එකක් වෙයි.

ප්‍රීමියර් ලීග් එකේ ක්‍රීඩකයන් තමන්ව සමලිංගිකයන් හැටියට පිළිගන්න එක හෝ සමලිංගිකයන් එක්ක ජීවත් වෙන එක ගැන ඔයාට ප්‍රවෘත්ති ලැබෙයි. ඒත් ඇයි එතෙන්ට අවධානය දෙන්නේ?

මිනිස්සුන්ට ඒගොල්ලන්ගේ ජීවිත ගෙනියන්න දෙන්න.”

බෙන් විසින් ජෝට:

“LGBT (Lesbian, Gay, Bisexual, Transgender) ක්‍රීඩකයෙක් හැම ක්‍රීඩා සමාජයකම ඉන්න ඕන කියලත් අදහසක් තියෙනවා සහ ඒ කවුද කියලා මිනිස්සු අනුමාන කරන්න පටන් අරන් තියෙනවා.”

ජෝ විසින් බෙන්ට:

හරියටම හරි. මිනිස්සු ටීවී බලනවා, එක්කෝ ස්කොඩ් එක ඔන්ලයින් බලලා අහනවා, ‘ඔයා හිතන්නේ ඒ එයා කියල ද?’ කියලා.

ඒගොල්ලෝ ඒක තීරණය කරන්නේ යම් ක්‍රීඩකයෙක් වැඩිපුර කැපී පේන්න අඳින හින්දා හෝ විලාසිතා කරන නිසා වෙන්න පුළුවන්. ඒකෙන් ක්‍රීඩකයෙක් සමලිංගික වෙන්නේ නෑ. ඒකෙන් කියන්නේ එයාලා විලාසිතා වලට කැමතියි කියන එක විතරයි.

එයාලට ඕනතරම් සල්ලි තියෙනවා. ඇත්තටම එයාලා ඒවයින් ලස්සන ඇඳුම් ගොඩක් ගන්නවා තමයි.

මේ වෙනකොට, ප්‍රීමියර් ලීග් එකේ මුලින්ම තමන්ව සමලිංගිකයෙක් කියලා පිළිගන්න කෙනා දන්නවා එයාට කැම්පේන් එකක හෙඩ් වෙන්න වෙනවා කියලා.

එයාලට ඒක ඕන නැත්නම් මොකද කරන්නේ?

ඒක ලොකු පීඩනයක්. වැරදි විදියට බලපාන්න පුළුවන්. මං හිතන්නේ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රීතිඝෝෂා අඩුවෙන් තියාගත්තොත් සහ ඒක ලොකු දෙයක් හැටියට හිතන්නේ නැති එක තමයි කාට වුනත් හොඳම දේ.

අපේ පවුලේ වුනා වගේ, සද්ද නැතුව කතා කරලා අපි ඉස්සරහට ගියා”

බෙන් විසින් ජෝට:

මම මේ වෙලාවේ ඉන්න ක්‍රීඩාගාරය පැත්තෙන් කතා කළොත්, කාට හරි එළියට ඇවිත් කියන්න ඕන නම් (තමන් සමරිසි බව) අපේ ගෲප් එකේ ඒක කරන්න ඕනවටත් වඩා පහසුවක් තියෙනවා.

අපට ඒවගේ හොඳ ගෲප් එකක් ඉන්නවා. කවුරුත් කරදර වෙන්නේ නෑ. ඒක ලොකු දෙයක් වෙන්නේ නෑ. සමස්තයක් හැටියට මට දැනෙනවා ෆුට්බෝල් ඒ පැත්තට යනවා කියලා.

කලින් ක්‍රීඩාගාරය කියන එක මීට වඩා අමාරුයි සහ විශේෂයෙන්ම තරුණ ක්‍රීඩකයන්ට හොඳට සැලකුවේ නෑ. ඒවා ගොඩක් වෙනස් වෙලා. සහතිකවම කවුරුත් වේවැලෙන් ගහන්න හරි අපහාස කරන්න හරි යන්නේ නෑ.”

ජෝ විසින් බෙන්ට:

අපේ ෆුට්බෝල් පරම්පරාව ගත්තොත්, එයාලගේ සාමාන්‍ය වයස කීය ද? 27ක් වගේ? ඒගොල්ලෝ දන්නවා සමාජය මොන වගේ ද කියලා. මට හිතාගන්න බෑ සමලිංගිකයන්ට බයේ කියන ඇනුම් පද තවදුරටත් ඩ්‍රෙසින් රූම් එක ඇතුළෙන් ඇහෙයි කියලා. මං හිතන්නේ අපි සම්පූර්ණයෙන්ම ඒකෙන් එහාට ගිහින් ඉවරයි.

බ්ලැක්පූල් කණ්ඩායමේ Jake Daniels (ජේක් ඩැනියෙල්ස්) තමන්ව හෙළිදරව් කරපු වෙලාවේ මම කියෙව්වා, එයා එයාගේ කණ්ඩායමට කියලා තිබුනත් ඒ ක්‍රීඩකයෝ  ඒක රහසක් හැටියට රැකලා තියෙන බව සහ එයාගේ පෞද්ගලිකත්වයට ගරු කරපු එක ගැන.

ක්‍රීඩකයාගේ පෞද්ගලිකත්වය රකිනවට වඩා වැදගත් වෙනත් හැසිරීමක් මම දන්නෙ නෑ.

ජේක් ඩැනියෙල්ස්

එයා ගොඩක් කලබලෙන් ඉන්න ඇති. ඒ වෙලාවේ ක්‍රීඩකයන් එහෙම කරපු එක දැවැන්ත වැඩක්.

කවුරුහරි ක්‍රීඩකයෙක් හිතනවා නම් කොහොමද සහයෝගය දෙන්නේ කියලා, ඒක රේන්බෝ ලේස් එකක් බඳින එකවත් ඉන්ස්ටග්‍රෑම් පෝස්ට් එකක් දාන එකවත් වෙන්න ඕන නෑ. ඒ ගැන කියවන්න ඕන නෑ. සමහර වෙලාවට තැනට සුදුසු, සද්ද නැති ප්‍රතිචාර තමයි ගොඩක් බලවත්ම.

ක්‍රීඩකයන්ට හෙළිදරව් කරන්න තියෙන බාධා මොනවා කියල ද ඔයා හිතන්නේ?”

බෙන් විසින් ජෝට:

මං හිතන්නේ ලොකුම දේ තමයි ප්‍රේක්ෂකයන් සහ සෝෂල් මීඩියා. මං හිතන්නෙ නෑ තමන් හැමදාම දකින කොල්ලන්ට ඒක කියන්න ක්‍රීඩකයෙකුට කිසිම ගැටලුවක් තියෙනවා කියලා.

ඒත් කීබෝඩ් එකක් පිටිපස්සේ හැංගිලා ඒක ලොකු දෙයක් කරගන්න ගොඩක් දෙනෙක් ඉන්නවා. එයාලට ඔයාගේ මූණට කියන්නෙ නෑ. ඒත් සෝෂල් මීඩියා වලින් ගොඩක් දොස් කියාගෙන ඒක කරන්න පුළුවන්.

මේ කාලේ මිනිස්සු කොච්චර වෙලාවක් ෆෝන් එකත් එක්ක ඉන්නවා ද කියන එකත් එක්ක, දේවල් සිද්ධ වෙන විදිහත් එක්ක, ක්‍රීඩකයෙකුට ඉබේම ඒක හිතෙනවා, නොහිතා ඉන්න හැදුවත්. ඒක තමයි මට හිතෙන හැටියට එයාලා ලොකුවටම කරදර වෙන දේ.”

ජෝ විසින් බෙන්ට:

ඇත්තටම. සම්පූර්ණයෙන්ම එකඟයි. ඒත් තව දෙයක් තමයි ඔන්ලයින් වලින් කොච්චර අපහාස ලැබුනත් ඒක 2%ක් 3%ක් විතරයි. අනිත් අය ධනාත්මක වෙයි. උදව් කරන්න එන මිනිස්සු ප්‍රමාණය අති විශාල වෙයි.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<