පැරා තරගාවලියේ වැඩි දස්කම් වෙල්ලස්සට

440

ජාතික පැරාලිම්පික් කමිටුව මගින් සංවිධානය කරන්නට යෙදුණු ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (21) සුගතදාස ධාවන පථයේ දී නිමා විය. තරගාවලියේ ද‍ෙවන දිනය වූ ඊයේ දිනයේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉහල දක්ෂතා අතරට ඒමට සමත් වූ අතර ද දිනය අවසානයේ දී විශේෂ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ද සංවිධායක මඩුල්ල කටයුතු යොදා තිබුණි.

දිනේෂ්ගේ සිහිනය බොඳ වෙමින් පළමු දිනය නිමා වෙයි

ජාතික පැරාලිම්පික් සංගමය විසින් සංවිධානය කරන ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (20) උදෑසන සුගතදාස ධාවන පථයේ දී ආරම්භ විය. ඉසව් 160කටත් අධික සංඛ්‍යාවක් වෙනුවෙන්…

දින දෙකක් පුරා පවත්වන්නට යෙදුණු ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලිය තරග සියල්ල අවසානයේ කනිෂ්ඨ අංශයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය වෙල්ලස්ස ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් T-20 කාණ්ඩයේ මීටර් 100 හා මීටර් 400 තරග වල නව තරග වාර්තා දෙකක් බිහි කළ නිරෝෂා හේමමාලි විසින් දිනා ගත් අතර  එම අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස වෙල්ලස්ස ක්‍රීඩා සමාජයේම ඉසුරු ලක්මාල් ශූරතාවය දිනා ගන්නා ලදි. තරගාවලිය තුල දී ඉසුරු විසින් මීටර් 100 හා යගුලිය දැමීම යන ඉසව් දෙකෙහිම තරග වාර්තා තම නමින් ලියා ගැනීමට සමත් විය.

විවෘත අංශයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි ශූරතාවයට හිමිකම් කීමට වෙල්ලස්ස ක්‍රීඩා සමාජය නියෝජනය කළ නිරෝෂා දිල්ෂානි සමත් වූයේ යගුලිය, කවපෙත්ත හා හෙල්ල යන ඉසව් 3 හිම නව තරග වාර්තා තම නමින් සටහන් කර ගැනීමට සමත් වෙමිනි.

එම අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස T49 කාණ්ඩයේ හෙල්ල විසි කිරීම ඉසව්වෙන් මීටර් 62.11 දක්ෂතාවක් දැක්වූ චමින්ද හෙට්ටිආරච්චි ශූරතාවය දිනා ගත් අතර ඔහු විජයබාහු ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මෙම දක්ෂතාවය දැක්වීමට සමත් විය. ඔහුගේ  මීටර් 62.11 දක්ෂතාවය නව තරග වාර්තාවක් සේ ම ලෝක අවදානම දිනා ගත් දක්ෂතාවයක් ලෙස ද දැක්විය හැක.

තරගාවලියේ කනිෂ්ඨ අංශයේ කාන්තා කාණ්ඩයේ සමස්ත අනුශූරතාවය දිනා ගැනීමට බස්නාහිර පළාත් විශේෂ අධ්‍යාපන ක්‍රීඩා සමාජය  සමත් වූ අතර එම අංශයේ සමස්ත ශූරතාවය වැඩි දක්ෂතා දැක්වූ වෙල්ලස්ස ක්‍රීඩා සමාජය සතු විය.

කනිෂ්ඨ අංශයේ පිරිමි කාණ්ඩයේ සමස්ත ශූරතාවය ද වෙල්ලස්ස ක්‍රීඩා සමාජය තමන් සතු කරගත්තේ සමස්ත අනුශූරතාවය නැවතත් බස්නාහිර පළාත් විශේෂ අධ්‍යාපන ක්‍රීඩා සමාජයට හිමි කර දෙමිනි.

විවෘත අංශය සඳහා කාන්තා සමස්ත ශූරතාවය පදක්කම් සටහනේ තියුණු සටනකින් අනතුරුව මෙවර දිනා ගැනීමට රිහැබ් ලංකා ක්‍රීඩා සමාජය සාමත් වූයේ වෙල්ලස්ස ක්‍රීඩා සමාජයට අනුශූරතාවය පමණක් ලබා දෙමිනි.

විවෘත අංශයේම පිරිමි කාණ්ඩයේ සමස්ත අනුශූරතාවය විජයබාහු ක්‍රීඩා සමාජය දිනා ගත්තේ, තරගාවලියේ විවෘත අංශයේ සමස්ත පිරිමි ශූරතාවය පාබල ක්‍රීඩා සමාජයට හිමිකර දෙමිනි.

තරගාවලියෙන් අනතුරුව ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති රජිත අම්බෙමොහොට්ටි මහතා මෙසේ අදහස් දැක්විය,

“අපිට මේ වගේ තරගාවලියක් ජාතික තරගාවලියක් බවට ලෝකයට ගෙනියන්න අපිට සීමා, බාධක විශාල ප්‍රමාණයකට මුහුණ දෙන්න වුනා, විශේෂයෙන් පිරිස් බලය වගේ දේවල්, අපි මේ වසරේ මාර්තු මාසය තුල සංචිතයක් තෝරා ගත්තා ඉදිරි තරගාවලි සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ බලාපොරොත්තුවෙන්, මේ ජාතික තරගාවලිය ඔවුන්ට හොඳ අවස්ථාවක්. මෙවර තරගාවලිය තුල අපි සංහිඳියාව සඳහා වැඩි ඉඩකඩක් ලබා දුන්නා. අපිට දැකගන්න ලැබුණා වව්නියාව, මඩකලපුව වැනි ප්‍රදේශවලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වෙනවා. අපි විශ්වාස කරනවා ආබාධ සහිත වුවන් ක්‍රීඩාමය වශයෙන් බලගැන්වීමක් අපි සිදු කළා කියලා”

මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත ආසියානු පැරා තරගාවලියට ක්‍රීඩකයින්ට ලංකාව තුල දී ලැබෙන්නා වූ අවසන් අවස්ථාව වූ මෙය පන්නරයක කරගනිමින් ආසියානු තරගාවලිය ජය ගැනීමට හැකි වේවි යැයි විශ්වාස කෙරේ. ශ්‍රී ලංකාව දැනටමත්  පැරාලිම්පික් පදක්කම් 2ක් දිනාගෙන ඇති අතර මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නැවතත් ලෝකය ජය ගන්නට කුසලතාවය හැකි බවට මෙවර ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලිය සාක්ෂි දරයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<