දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සහ T20 සංචිතය නම් කරයි

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

9421

එළඹෙන සැප්තැම්බර් 2 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය අද (30) මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් මේ එක්දින සහ විස්සයි විස්ස සංචිතය සඳහා ක්‍රීඩකයින් 22 දෙනෙකු ඇතුළත් වනවා.

උරහිස ආශ්‍රිතව ආබාධයකට ලක්ව සිටි කඩුලු රකින ප්‍රහාරාත්මක පිතිකරු කුසල් පෙරේරා මේ සංචිතය සඳහා නම් කර තිබෙනවා. කෙසේ නමුත් කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඔහු තවමත් සම්පූර්ණ ලෙස සුවය ලබා නොමැති අතර ඔහුට බොහෝ දුරට එක්දින තරගාවලිය ක්‍රීඩා කිරීමට අවස්ථාව මඟ හැරී යනු ඇත.

වළලුකර ආශ්‍රිතව ආබාධයකට ලක්ව සිටි වමතින් වේගපන්දු යවන බිනුර ප්‍රනාන්දු මේ වන විට සම්පූර්ණ සුවය ලබා නැවතත් ශ්‍රී ලංකා සංචිතයට එකතු වී තිබෙන අතර ඔහුගේ එම ආබාධය නිසා ඔහුට නිමා වූ ඉන්දීය තරගාවලිය සම්පූර්ණයෙන්ම මඟ හැරී ගියා. 

Dialog-SLC ආරාධිත විස්සයි විස්ස තරගාවලිය තුල කැපී පෙනෙන දස්කම් දැක්වූ දිනේෂ් චන්දිමාල්, නුවන් ප්‍රදීප්, කමිඳු මෙන්ඩිස් සහ ලහිරු මධුසංක හට නැවතත් ශ්‍රී ලංකා සංචිතයට පැමිණීමට අවස්ථාව උදා වී තිබෙනවා.

එසේම තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනාගෙන නොමැති මහීෂ් තීක්ෂණ සහ පුලින තරංග පළමු වරට ශ්‍රී ලංකා ජාතික සංචිතයක් සඳහා කැඳවුම් ලබාගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා ද පසුගිය දා නිමාවුණු Dialog-SLC ආරාධිත විස්සයි විස්ස තරගාවලිය තුල කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුනා. 

ඒ අනුව ඉන්දියාව සමඟ පැවති ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා සංචිතය නියෝජන කළ අශේන් බණ්ඩාර, ධනංජය ලක්ෂාන් සහ ලක්ෂාන් සඳකැන් හට දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා සංචිතය සඳහා ඇතුළත් වීමට අවස්ථාවක් ලැබී නැහැ.

තරගාවලිය සඳහා ඇතුළත් එක්දින තරග තුන ICC ලෝක කුසලාන සුපර් ලීගය සඳහා ඇතුළත් තරග තුනක් වෙනවා. එසේම මේ තරගාවලියට ඇතුළත් විස්සයි විස්ස තරගාවලිය, එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිළිබඳ යම් තක්සේරුවක් ලබා ගැනීම සඳහා තිබෙන හොඳම අවස්ථාවක් වනු නිසැකය.

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස සංචිතය, 

දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උප නායක), කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, පැතුම් නිස්සංක, චරිත් අසලංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, මිනෝද් භානුක, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, අකිල දනංජය, ප්‍රවීන් ජයවික්‍රම, ලහිරු මදුසංක, ලහිරු කුමාර, පුලින තරංග, මහීෂ් තීක්ෂණ.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය එළඹෙන සැප්තැම්බර් 2 වැනිදා ආරම්භ වීමට නියමිතයි. එක්දින තරගාවලියේ තරග 3 සැප්තැම්බර් 2, 4 හා 7 දිනවල දී පැවැත්වීමට නියමිත අතර විස්සයි විස්ස තරගාවලිය සැප්තැම්බර් 10, 12 හා 14 දිනවල කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<