දිනේෂ්ගේ සිහිනය බොඳ වෙමින් පළමු දිනය නිමා වෙයි

431

ජාතික පැරාලිම්පික් සංගමය විසින් සංවිධානය කරන ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (20) උදෑසන  සුගතදාස ධාවන පථයේ දී ආරම්භ විය. ඉසව් 160කටත් අධික සංඛ්‍යාවක් වෙනුවෙන් දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි ක්‍රීඩා සමාජ 40කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 650 දෙනෙක් මේ සඳහා සහභාගී වීම විශේෂත්වයකි.

පැරා මලල ක්‍රීඩකයෝ සුගතදාසය දෙවනත් කරන්නට සැරසේ

2018 ශ්‍රී ලංකා ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලිය ජූලි මස 20 සහ 21 දිනවල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. තමාගේ දරුවා ගැන නොව රටේම…

පැරා තරගාවලිය A හා B ලෙස කාණ්ඩ දෙකක් යටතේ මෙවර සංවිධානය වී තිබීම කැපී පෙනිණ. වයස අවුරුදු 14-17 අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් A කාණ්ඩය ලෙසටත්, වයස අවුරුදු 17ට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් B කාණ්ඩය ලෙසත් වශයෙන් වෙන් වෙන්ව පිළිවෙළින්  200M හා 400M ධාවන පථවල දී ඉසව් ක්‍රියාත්මක විය.

ජීවිතයේ ඇති වටිනාකම සහ නොපසුබස්නා වීර්යය පිළිබඳව ඉගෙනීමට නම් මෙම තරගාවලිය කදිම නිදසුනකි.

උදෑසන පැවති තරග අතරින් කාගේත් අවධානය දිනා ගත්තේ පිරිමි  F- 46 හෙල්ල විසිකිරීමේ ඉසව්වයි. ඒ පසුගිය තරගාවලියේ දී වාර්තාවක් සමඟින් තම හොඳම දක්ෂතාවය වාර්තා කළ දිනේෂ් ප්‍රියන්ත හේරත් මෙම ඉසව්ව සඳහා සහභාගී වී සිටීමයි. සුපුරුදු පරිදි එම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනේෂ් විසින් දිනා ගත්තේ මීටර් 62.39 ක දක්ෂතාවයක් වාර්තා කරමිනි. ඉන්දියාවේ දෙවේන්දර් ජජාරියා විසින් තබා ඇති  මීටර් 63.97ක ලෝක වාර්තාව බිඳ හෙලීම දිනේෂ්ගේ බලාපොරොත්තු විය.

නමුත් ඔහුගේ ඇතිවී තිබූ පාදයේ ආබාධය හේතුවෙන් තම හොඳම දක්ෂතාවය වන මීටර් 63.70ක දක්ෂතාවය අභිබවා යෑමට දිනේෂ්ට නොහැකි විය. එම ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් ජී. ඒකනායක හා ඩී. රාජපක්ෂ විසින් දිනා ගත්තේ මීටර් 53.81ක හා මීටර් 36.18ක දක්ෂතාවයක් වාර්තා කරමිනි.

සෙසු තරග ඉසව් අතරින් T 54 (W/C 11) විවෘත කාන්තා මීටර් 200 ඉසව්ව නියෝජනය කළ නිරෝෂනි කුමාරි තත්පර 53.8ක කාලයක් වාර්තා කරමින් 2006 දී ඇය විසින්ම තබා තිබූ මිනිත්තු 1.01.00ක වාර්තාව අලුත් කරන්නට සමත් විය. එම ඉසව්වේ දෙවන හා තුන්වන ස්ථාන පිළිවෙළින් මිනිත්තු 1.20.00ක් හා 1.53.70ක කාලයක් වාර්තා කළ ආර්. සරෝජනී හා සුජානි ප්‍රියංගිකා විසින් දිනා ගත්හ.

F-42 ඛණ්ඩයේ විවෘත කවපෙත්ත විසිකිරීමේ පිරිමි ඉසව්ව නියෝජනය කළ එච්. ජී. පී. බණ්ඩාර ද මීටර් 35.54ක දක්ෂතාවයක් වාර්තා කරමින් ඉසව්වේ නව තරග වාර්තාවට හිමිකම් කීවේය. එහි පැරණි වාර්තාව ලෙස 2016 වසරේ දී  ප්‍රියන්ත හේරත් තැබූ මීටර් 30.93 වාර්තාව දැක්විය.

වාර්තා පොත් අතරට එක්වුණු තවත් ජවන ඉසව්වක් ලෙස T 12/13 මීටර් 1500 පිරිමි ඉසව්ව පෙන්වා දිය හැකිය. එම ඉසව්ව නියෝජනය කළ ජේ. සුමනසිරි මිනිත්තු 4.59.44ක කාලයක් වාර්තා කරමින්  එහි පැරණි වාර්තාව වන සුනිල් බණ්ඩාර විසින් 2016  දී තැබූ මිනිත්තු 5.14.07 ක වාර්තාව බිඳ හෙලීය.

තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ දිනයේ පැවැත්වුණු අතර අවසන් තරග රැසක්  අද (21) දිනයේ දී පැවැත්වීමට නියමිතයි. ආරක්ෂක සේවා හැරුණු කොට විශේෂ අවශ්‍යතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද විශාල පිරිසක්  එක්වී සිටීම තුලින් ඒ දරුවන් සතුව ඇති සැඟවුණු දක්ෂතා හඳුනා ගැනීමටත්, ක්‍රීඩාව සඳහා සීමා මායිම් නොමැතිව සියල්ලන්ටම පොදුවේ විඳිය හැකි බවත් පසක් කළේය. අද තරගයේ අවසන් දිනයයි.

අද දිනයේ දීත් සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානමින්. රැඳී සිටින්න අප සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<