A කාණ්ඩය ඉලක්ක කරගත් ලුම්බිණි විද්‍යාලය

472

B කාණ්ඩයේ පාසල් රග්බි පිටියේ තරගකාරීත්වය පසුගිය වසර තුල අන් කවරදාකටත් වඩා වැඩියෙන් දක්නට ලැබීම සුබවාදී කරුණක් විය. එම වසරට සාපේක්ෂව මේ වසරේ තරගාවලිය තරමක් උණුසුම් මුහුණුවරක් ගනු ඇත. පාසල් ක්‍රීඩකයන්, තම දක්ෂතාවයන් ක්‍රීඩාශීලිත්වය සහ තුරුණු ජවය සමඟ මුසුකරමින් ප්‍රතිවාදීන් සමඟ උරෙනුර ගැටෙමින් පාසල් රග්බි පිටිය අතික්‍රමණය කිරීමට සූදානමෙන් සිටි. 

පසුගිය වසරේ දී දැක්වූ දස්කම් නිසාවෙන් කොළඹ ලුම්බිණි විද්‍යාලය මෙරට රග්බි සමාජය තුල දැඩි කතාබහට ලක්වූ කණ්ඩායමකි. ThePapare.com ගෙන එන මේ සටහන ලුම්බිණි විද්‍යාලයේ රග්බි සූදානම පිළිබඳවයි. 

කොළඹ ලුම්බිණි විදුහල මෙරට රග්බි ක්‍රීඩාව වෙනුවෙන් මහඟු සේවයක් කළ පාසලක් ලෙස හැඳින්විය හැක.  ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට නිශාන්ත චානක, නලින්ද චතුරංග, නිසල් මීපගේ යන ක්‍රීඩකයන් දායාද කළ ලුම්බිණි විද්‍යාලය දිනේෂ් සුරංග, සමීර බුලත්සිංහල, තිලිණ සම්පත් හා කෞෂාන් රනුප්‍රිය වැනි දක්ෂයින් ක්‍රීඩකයින් ක්‍රීඩා සමාජ පිටියත් දායාද කළේය. 

ලුම්බිණි විදුහලේ රග්බි ඉතිහාසය තුල සුවිශේෂී වසර කීපයක් දක්නට ලැබේ. පළමු කාණ්ඩයේ  ඔවුන් දක්වා ඇති දක්ෂතා ලෙස වර්ෂ 1990 දී සාන්ත තෝමස් විදුහලට පමණක් දෙවැනි වෙමින් මයිලෝ කුසලානයේ අනුශූරතාවය දිනා ගැනීම, 1996 සහ 1997 වසරවල පාසල් සත් සාමාජික පිටියේ අනුශූරතාවය දිනා ගැනීම සහ 1998 වසරේ ජාතික පාසල් ලීග් අනුශූරතාවය දිනා ගැනීම විශේෂයෙන් සඳහන් කළ හැක.

2018 වසරේ දී බී කාණ්ඩයේ පළමු අදියරේ ශූරතාව දිනා ගැනීමට ලුම්බිණි ක්‍රීඩකයින් සමත් වුවද, ඒ කාණ්ඩය පෙනී පෙනී ඔවුන්ට එය මඟ හැරී ගියේ ප්‍රසාද ලකුණු මදි වීම නිසාවෙනි.

2019 වසරේ තරගාවලිය තුල යම් කැපී පෙනෙන දස්කම් කීපයක් දැක්වීමට ලුම්බිණි කණ්ඩායම සමත් විය. කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හමුවේ ලකුණු 38-10ක් ලෙස පරාජය වූ ඔවුන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය පරාජය කළේ ලකුණු 22-14ක් ලෙසිනි. සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ලකුණු 58-05ක් ලෙස දරුණු පරාජයකට ලක් කිරීමට ඔවුන් සමත් විය. 

කොළඹ ආනන්ද විද්‍යාලය ලකුණු 20-05ක් ලෙස පරාජය කිරීමට ද ඔවුන් සමත් විය. මහනුවර සුමංගල විද්‍යාලය හමුවේ ලකුණු 14-19ක් ලෙස පරාජය වීමට ලුම්බිණි විද්‍යාලයට සිදු විය. 

B කාණ්ඩයේ IIB කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානය දිනා ගැනීමට ලුම්බිණි විද්‍යාලය සමත්වූයේ ඔවුන් ක්‍රීඩා කල තරග 5න් 3ක් ජයග්‍රහණය කරමිනි. 

2020 පාසල් රග්බි තරගාවලිය සඳහා සහභාගි වන ලුම්බිණි විද්‍යාල රග්බි කණ්ඩායම 

ඒ. ඩී. වීරසිංහ, ඩබ්ලියු. එච්. ධනංජය, ටී. පී. රන්මල්, කේ. එච්. එස්. නිර්මාණ, ඒ. එම්. අසීම්, ආර්. රංජිත් කුමාර, ඩී. ඩිල්හාර, කේ. ඩබ්ලියු. ජී. ලක්ශිත, කේ. සී. රාජපක්ෂ, එස්. ඩී. චමුපති, ඩබ්ලියු. කේ. අයි. උශාන්, ඒ. එස්. එරංග, ආර්. අයි. එන්. රූපසිංහ, එම්. සියාන්, එච්. එම්. සිල්වා, එම්. ඩබ්ලියු. ඒ. දිදුලංග, ඩී. කේ. දේශාන්, එස්. කේ. හේවගේ, වී. එන්. එස්. රොද්‍රිගෝ, එස්. ඩී. කුමාර්, එස්. අයි. හෙට්ටිආරච්චි, එම්. එච්. තීරණගම, එල්. ශාරංග

මෙවර තරගාවලිය සඳහා ලුම්බිණි කණ්ඩායම IB කාණ්ඩයෙන් ක්‍රීඩා කිරීමට නියමිතය. එම කාණ්ඩයට සහිරා විද්‍යාලය, මලියදේව විද්‍යාලය, වේල්ස් කුමර විද්‍යාලය, සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා මහානාම විද්‍යාලය ඇතුලත් වේ. 

ලුම්බිණි විද්‍යාලයේ මෙවර තරගවාරයේ තරග කාල සටහන

  • පළමු සතිය – සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 
  • දෙවැනි සතිය – කුරුණෑගල මලියදේව විද්‍යාලය 
  • තුන්වැනි සතිය – සාන්ත ඇලෝසියස් විද්‍යාලය 
  • සිව්වැනි සතිය – සහිරා විද්‍යාලය 
  • පස්වැනි සතිය – මහානාම විද්‍යාලය

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<