‘HNB’ සහ ගුවන් හමුදා කණ්ඩායම්වලට ජයග්‍රහණ

173

බණ්ඩාරගම ක්‍රීඩා අමාත්‍යංශ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 2018 ‘Dialog’ ජාතික දැල්පන්දු ශූරතාවලිය තරගාවලියේ පළමු දිනයේ දෙවන වටයේ තරගවල ජයග්‍රහණ වාර්තා කරගන්නට හැටන් නැෂනල් බැංකු (HNB) කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.

ජාතික දැල්පන්දු ශූරතා තරගාවලියට ඩයලොග් වෙතින් අනුග්‍රහය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සපයන්නා වන ඩයලොග් ආසිආටා …

හැටන් නැෂනල් බැංකුව – ශ්‍රී ලංකා යුද හමුදාව

දිනයේ පැවැත්වූ පළමු තරගයේ දී ප්‍රබල යුද හමුදා කණ්ඩායම පරාජයට පත්කරමින් ලකුණු 41-55ක ජයග්‍රහණයක් වාර්තා කරගන්නට ‘HNB’ කණ්ඩායම සමත් විය.

තරගාවලිය ආරම්භයේ ලකුණු 2-4ක් ලෙස ඉදිරියට පැමිණි ‘HNB’ ක්‍රීඩිකාවන් තරගයේ පළමු වටය අවසානයේ ලකුණු 9-13ක් ලෙස තරගයේ පෙරමුණ ගන්නට සමත් විය. කෙසේ නමුත් දෙවන වටයේ දී තරගයට අවතීර්ණ වූ යුද හමුදා ක්‍රීඩිකාවන් දෙවන අර්ධයේ මැද භාගය පමණ වන විට ලකුණු තත්වය සම කරගනිමින් එම වටයේ දී ලකුණු 15-12ක් ලෙස ‘HNB’ක්‍රීඩිකාවන් අභිබවා යන්නට සමත් වුවත් තරග වට දෙක අවසානයේ ලකුණු 24-25ක් ලෙස එක් ලකුණකින් ඉදිරියෙන් පසු වූයේ ‘HNB’ කණ්ඩායම යි.

කෙසේ නමුත් තරගයේ තෙවන වටයේ දී ‘HNB’ ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ගයනි දිසානායක හරහා සිය ආරක්‍ෂක ක්‍රීඩා විලාශය දැඩි කරන්නට වූ අතර ඒ හරහා ඔවුන් ඇය සමඟ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දී මෙන්ම පාසල් කණ්ඩායමේ ද ක්‍රීඩා කළ තිෂලා අල්ගමගේ අභියෝගය මැඩලන්නට සමත් විය. ඒ අනුව එම වටයේ දී ඉදිරියට පැමිණි ඔවුන් ලකුණු 01-10ක් ලෙස එය ජයග්‍රහණය කරන්නට සමත් විය. ඒ අනුව තරග වට 3ක් අවසානයේ තරගයේ ලකුණු තත්වය දැක්වුණේ ලකුණු 33-43ක් ලෙසයි.

අනතුරුව පැවති සිව්වැනි වටය අවසානයේ ද ලකුණු 08-12ක් ලෙස පෙරමුණ ගත් ඔවුන් ලකුණු 41-55ක් ලෙස තරගයේ ජයග්‍රහණය තහවුරු කරගන්නට සමත් විය. ‘HNB’ කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපනායිකා දර්ශිකා අබේවික්‍රම උත්සාහයන් 50කින් ලකුණු 47ක් වාර්තා කරගන්නට සමත් වූ අතර අනෙක් පසින් යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් තිෂලා අල්ගම ලකුණු 40ක් වාර්තා කරගන්නට සමත් විය.   

Photos: Hatton National Bank v Army SC | Round 2 | Dialog National Netball Championship 2018

ගුවන් හමුදාව – සෙලාන් බැංකුව

දිනයේ දෙවන තරගයේ දී සෙලාන් බැංකු කණ්ඩායම ලකුණු 40-64ක් ලෙස පහසුවෙන් පරාජයට පත්කරමින් ජයග්‍රහණය වාර්තා කරගන්නට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමු වටයේ දී ලකුණු 6-12ක් ලෙස ඉදිරියෙන් පසුවීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් වුවත් එහි අවසන් භාගයේ දී දක්‍ෂතා අතරට පැමිණි සෙලාන් බැංකු ක්‍රීඩිකාවන් තරිජිනී සිවලිංගම්ගේ ආධාරයෙන් ලකුණු 15-16ක් ලෙස එක් ලකුණක් පමණක් පසුපසින් සිටිමින් පළමු වටය අවසන් කරගන්නට සමත් විය.

කෙසේ නමුත් තරගයේ දෙවන වටයේ දී සෙලාන් බැංකු කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩිකාවන් අතින් සිදු වූ අත්වැරදීම් නිසා තර්ජිනී සිවලිංගම් හට පන්දු පිරිනැමීම ඉතා සීමිත වූ අතර ඒ හරහා ලකුණු 6-16ක් ලෙස එම වටයේ පෙරමුණ ගන්නට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග වට දෙකක් අවසානයේ තරගයේ සමස්ත ලකුණු තත්වය දැක්වුණේ ලකුණු 21-32ක් ලෙසයි.

Photos: Seylan Bank v Air Force SC | Round 2 | Dialog National Netball Championship 2018

අනතුරුව පැවති තෙවන හා සිව්වැනි වටවල දී ද දක්‍ෂතා අතරට පැමිණීමට සෙලාන් බැංකු ක්‍රීඩිකාවන් අසමත් වූ අතර ඒ අනුව එම වට පිළිවෙළින් ලකුණු 09-17ක් සහ 10-15ක් ලෙස ජයග්‍රහණය කළ ගුවන් හමුදා ක්‍රීඩිකාවන් ලකුණු 40-64ක් ලෙස තරගයේ ජයග්‍රහණය තහවුරු කරගන්නට සමත් විය.

ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් උත්සාහයන් 54කින් ලකුණු 50ක් වාර්තා කරගන්නට දුලංගා ධනංජි සමත් වූ අතර උත්සාහයන් 16කින් ලකුණු 14ක් වාර්තා කරගන්නට රශ්මි දිව්‍යාංජලී සමත් විය. අනෙක් පසින් සෙලාන් බැංකු කණ්ඩායමේ සමස්ත ලකුණු සංඛ්‍යාවම උත්සාහයන් 41කින් වාර්තා කර ගනු ලැබුවේ තර්ජිනී සිවලිංගම් විසිනි.  

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <