දඟපන්දුවේ ආධිපත්‍ය පැතිරුණු උණුසුම් පළමු දිනය අවසන්

72 වැනි මොරටු මහා රන් සංග්‍රාමය

282

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ වේල්ස් කුමාර විද්‍යාලය අතර පැවැත්වෙන 72 වැනි මොරටු මහා රන් සංග්‍රාමය අද (27) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

උදෑසන පැවති තෙතබර තණතිල්ල හේතුවෙන් තරගය ආරම්භ වන්නට තරමක් ප්‍රමාද වීමත් සමඟ කාසියේ වාසිය උරගා බලන්නට යෙදුණේ පෙරවරු 9.55ටයි. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත සෙබස්තියානු නායක බිහඟ මෙන්ඩිස් පළමුව පන්දුවට පහර දෙන්නට ප්‍රතිවාදී වේල්ස් කුමාර විද්‍යාලයීය කණ්ඩායමට ආරාධනා කළා.

තරගය ආරම්භ කරන විට තරමක් වළාකුළු සහිත අඳුරු කාලගුණ තත්වයක් පැවතියත්, මද වේලාවකින් ක්‍රීඩාංගණයට දැඩි හිරු රශ්මියක් පතිත වන්නට වූයේ ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා උචිත කාලගුණ  තත්වයක් නිර්මාණය කරමින්.

වේල්ස් කුමර ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි නායක තරිඳු අමරසිංහ සහ රිවිත් ජයසූරිය සිය කණ්ඩායම වෙනුවෙන් ඉතා සාර්ථක ආරම්භයක් ලබා ගන්නට සමත් වුනා. ඒ අනුව පළමු කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා එක් කළ ලකුණු සංඛ්‍යාව 64ක්.

කෙසේ නමුත් ලකුණු 28ක් ලබාගෙන සිටි රිවිත් 16 වැනි පන්දුවාරයේ දී දැවී යාමත් සමඟ මෙම සබඳතාවයේ අවසානය සනිටුහන් වන්නට වුනා. ඒ දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක සංදීෂ් ප්‍රනාන්දු යොමු කළ පන්දුවකට රිවිත් එල්ල කළ පහරක්, ‘long-on’ කලාපයේ ස්ථානගතව සිටි යෂාන් අවිශ්ක විසින් ඉතා විශිෂ්ට අන්දමින් රැකගැනීමත් සමඟයි.

Photos – Prince of Wales College vs St. Sebastian’s College | 72nd Battle of the Golds – Day 1

මෙහි දී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ඉතා කැපී පෙනෙන පිතිහරඹයක නිරත වූ තරිඳු අගනා අර්ධ ශතකයක් වාර්තා කර ගත්තේ ප්‍රතිවාදී පන්දු යවන්නන් හට ප්‍රබල පීඩනයක් එල්ල කරමින්.

කෙසේ නමුත් පළමු කඩුල්ල බිඳවැටීමෙන් පසුව පිටියට පැමිණි ඔමේෂ් මෙන්ඩිස් ලකුණු 6ක් පමණක් ලබා සිටිය දී නැවතත් ක්‍රීඩාගාරය බලා හරවා යවන්නට දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක නදීෂ් ප්‍රනාන්දු සමත් වුනේ සාන්ත සෙබස්තියානුවන් තරගයට අවතීර්ණ කරමින්.

අනතුරුව දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට වේල්ස් කුමර ලකුණු පුවරුව දැක්වුණේ පන්දුවාර 26ක් අවසානයේ කඩුලු 2ට ලකුණු 100ක් ලෙසයි.

තරගය ආරම්භ කිරීමෙන් පසුව නැවතත් ක්‍රියාත්මක වූ නදීෂ් විසින් වේල්ස් කුමර ඉනිමේ තුන්වැනි කඩුල්ල ලෙස ඒ වන විට ඉතා හොඳින් පන්දුවට පහර දෙමින් සිටි නායක තරිඳු ලකුණු 68කට දවා ගන්නට සමත් වුනා. තරිඳුගේ ඉනිම් හතරේ පහර 6කින් සහ එක් 6 පහරකින් වර්ණවත් වුනා.

එම කඩුල්ලත් සමඟ වේල්ස් කුමර ඉනිමේ බිඳවැටීම ආරම්භ වන්නට වූයේ සුවහස් ප්‍රනාන්දු, අශේන් ශානක සහ උපනායක විදත් දිනේන්ද්‍ර ඉතා අඩු ලකුණු සංඛ්‍යාවලට දැවී යාමත් සමඟයි. ඔවුන්ගේ කඩුලු දැවී යාමෙන් පසුව වේල්ස් කුමර ලකුණු පුවරුව කඩුලු 6කට ලකුණු 129ක් ලෙස දිස්වුනා.

අනතුරුව සුමල්ක ප්‍රනාන්දු සහ චෙනුල ප්‍රනාන්දු පිටියේ එක්වෙමින් නැවතත් වේල්ස් කුමර ඉනිම ගොඩනඟන්නට උත්සාහ දැරුවත්, ඔවුන්ගේ සබඳතාවය ලකුණු 18කට සීමා වුනා. ඒ වමත් දඟපන්දු යවන ක්‍රීඩක මනුජ චන්තුක විසින් සුමල්ක ලකුණු 22කට දවා ගැනීමත් සමඟයි.

වේල්ස් කුමර ඉනිමට තවත් ලකුණු 2ක් එක්වෙද්දී, ඔවුන්ගේ ඉතිරි කඩුලු 3ම දවා ගන්නට ප්‍රතිවාදී සාන්ත සෙබස්තියානු පන්දු යවන්නන් සමත් වුනා. ඒ අනුව වේල්ස් කුමර පළමු ඉනිම පන්දුවාර 45.3ක් තුළ ලකුණු 149කට සීමා වුනා.

එහි දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සාන්ත සෙබස්තියානු දඟපන්දු යැවීමේ බලඇණියේ සංදීෂ් කඩුලු 4කට හිමිකම් කියද්දී, නදීෂ් සහ මනුජ අතරේ කඩුලු 3 බැගින්  බෙදී ගියා.

පිළිතුරු ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි සවිඳු රොද්‍රිගු සහ රයන් දිසානායක ඉතා සූක්‍ෂමව පන්දුවට පහර දෙමින් සෙමෙන් ඔවුන්ගේ ඉනිම ගොඩනඟන්නට වුනා. ඒ අනුව සාන්ත සෙබස්තියානුවන් වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගත් ඔවුන් පළමු කඩුල්ල සඳහා ලකුණු 63ක සබඳතාවයක් එක්කරනු ලැබුවා.

ඒ වන විට ලකුණු 36ක් ලබාගෙන සිටි සවිඳුගේ කඩුල්ල දවා ගනිමින් එම සබඳතාවය බිඳහෙලනු ලැබුවේ දකුණත් පා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රින්ස් ප්‍රනාන්දු විසින්.

අනතුරුව පිටියට පැමිණි නායක බිහඟ මෙන්ඩිස් ලකුණක් පමණක් ලබා සිටිය දී යළිත් ක්‍රීඩාගාරය බලා හරවා යවන්නට නැවතත් ක්‍රියාත්මක වූ ප්‍රින්ස් සමත් වුනා.

ප්‍රතිවාදී නව පිතිකරුවන් හට පිටියේ ස්ථාවර වීමට කිසිදු අවකාශයක් ලබානොදුන් වේල්ස් කුමර දඟපන්දු යවන්නන් විසින් යෂාන් අවිශ්ක, සංදේශ් ප්‍රනාන්දු සහ නිලාෂ් පෙරේරාගේ කඩුලු ඉක්මනින් දවා ගැනීමට සමත් වුනේ සාන්ත සෙබස්තියානු ලකුණු පුවරුව ලකුණු 110ක් ලෙස සටහන් වන විට ඔවුන්ගේ කඩුලු 6ක් බිඳ දමමින්.

එක් අන්තයකින් එසේ කඩුලු දැවී යද්දී, අනෙක් අන්තයේ ඉතා අගනා ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු රයන් මෙහි දී අර්ධ ශතකයක් වාර්තා කර ගැනීමට සමත් වුනා. ඒ අනුව සාන්ත සෙබස්තියානුවන් තරගය තුළ රඳවා ගැනීමට ඔහුගේ ඉනිම අතිශය වැදගත් වුනා.

දිනය නිමා වන්නට පෙර ක්‍රියාත්මක වූ වේල්ස් කුමර නායක තරිඳු විසින් ප්‍රතිවාදී මහේන් සිල්වා ලකුණු 7කට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් ඔහුගේ කඩුල්ල දවා ගත්තේ සාන්ත සෙබස්තියානුවන් ව තරමක් අසීරු තත්වයකට ඇදදමමිනුයි.

එම කඩුල්ලත් සමඟ විනිසුරුවරුන් විසින් දිනයේ නිමාව සංඥා කරන විට සාන්ත සෙබස්තියන් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු සංඛ්‍යාව 120ක් වාර්තා කරගෙන සිටියා. ඒ අනුව ඔවුන් කඩුලු 3ක් අතැතිව වේල්ස් කුමර පළමු ඉනිමට වඩා තවමත් ලකුණු 29ක් පිටුපසින් සිටිනවා.

රයන් දිසානායක නොදැවී ලකුණු 55ක් වාර්තා කර ගනිමින් තවදුරටත් පිටියේ රැඳී සිටින අතර වේල්ස් කුමරුවන් වෙනුවෙන් දක්‍ෂ පන්දු යැවීමක නිරත වූ ප්‍රින්ස් කඩුලු 3ක් සහ කුංචන පෙරේරා කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

තරගයේ දෙවැනි සහ අවසන් දිනය හෙටයි.

වේල්ස් කුමාර විද්‍යාලය: 149 (පන්දුවාර 45.4) – තරිඳු අමරසිංහ 68, රිවිත් ජයසූරිය 28, සුමල්ක ප්‍රනාන්දු 22, සංදීෂ් ප්‍රනාන්දු 4/41, මනුජ චන්තුක 3/16, නදීෂ් ප්‍රනාන්දු 3/34

සාන්ත සෙබස්තියන් විද්‍යාලය: 120/6 (පන්දුවාර 45.2) – රයන් දිසානායක 55*, සවිඳු රොද්‍රිගු 36, ප්‍රින්ස් ප්‍රනාන්දු 3/30, කුංචන පෙරේරා 2/38

සංග්‍රාමයේ උණුසුම සජීව ලෙස විඳගන්න, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<