72 වැනි මොරටු මහා රන් සංග්‍රාමයට ‘Dialog’ සවිබලය

294

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata පෞද්ගලික සමාගම මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රයට අතහිත දීම වෙනුවෙන් වූ සිය පොරොන්දුව ඉදිරියට ගෙන යමින් මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා වේල්ස් කුමර විද්‍යාලය අතර පැවැත්වෙන 72 වැනි මොරටු මහා රන් සංග්‍රාමය බලගැන්වීමට නැවත වරක් ඉදිරිපත් වී තිබේ.

2022 වසර සඳහා වන මොරටු මහා රන් සටන හෙට (27) සහ අනිද්දා (28) දෙදින මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පූර්ණ ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් යුතුව පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙම විද්‍යාල දෙක අතර පැවැත්වෙන 37 වැනි වාර්ෂික එක්දින තරගය එළඹෙන සෙනසුරාදා (29) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

දක්‍ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන තරිඳු අමරසිංහ විසින් වේල්ස් කුමර විදුහල් කණ්ඩායමේ නායකත්වය දරද්දී ප්‍රතිවාදී සාන්ත සෙබස්තියන් පිළ මෙහෙය වීමේ වගකීම පැවරී ඇත්තේ තවත් ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන බිහඟ මෙන්ඩිස් හටයි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය කණ්ඩායම

මෙම මහා ක්‍රිකට් තරගය පැවැත්වෙන 2022 වර්ෂයට අදාළ පසුගිය තරගවාරයේ දී සාන්ත සෙබස්තියන් කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් ඉහළම දස්කම් දැක්වීමට සමත් වූයේ යෂාන් අවිශ්ක විසිනි. ඒ අනුව ඔහු ඉනිම් 10ක දී වාර්තා කරගත් ලකුණු සංඛ්‍යාව 228ක්. තවද ඔහු කඩුලු 8කට ද හිමිකම් කියන්නට සමත් වුනා. ඔවුන්ගේ දෙවන වැඩිම ලකුණු ලාභියා වූ සවිඳු රොද්‍රිගු ඉනිම් 8ක දී වාර්තා කරගත් ලකුණු සංඛ්‍යාව 223ක්.

තරගවාරය පුරාවට තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ සංදේශ් ප්‍රනාන්දු ඉනිම් 9ක දී ලකුණු 75ක් වාර්තා කරගත්තේ කඩුලු 17කට ද හිමිකම් කියමින් සාන්ත සෙබස්තියානු කණ්ඩායමේ දෙවැනි වැඩිම කඩුලු ලාභියා බවට ද පත්වෙමිනි. ඔවුන්ගේ වැඩිම කඩුලු ලාභියා ලෙස සටහන් වූ දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක මහේන් සිල්වා ඉනිම් 6ක දී කඩුලු 17ක් වාර්තා කරගැනීමට සමත් වුනා.

වේල්ස් කුමර විද්‍යාලයීය කණ්ඩායම

වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් පසුගිය තරගවාරයේ දී පිත්තෙන් ඉහළම දක්ෂතා දැක්වූයේ ඔවුන්ගේ නායක තරිඳු අමරසිංහ යි. ඒ අනුව ඔහු ඉනිම් 12ක දී ලකුණු 552ක් වාර්තා කරගත්තේ 46ක හොඳ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් ද පවත්වා ගනිමිනි. තවදුරටත් ඔහු කඩුලු 7ක් ද දවා ගන්නට සමත් වුනා. වත්මන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ සොහොයුරු ඔමේෂ් මෙන්ඩිස් ඉනිම් 12ක දී ලකුණු 308ක් ද, සුමල්ක ප්‍රනාන්දු ඉනිම් 12ක දී ලකුණු 272ක් ද වාර්තා කරගනිමින් කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දක්ෂතා දැක්වීමට සමත් වුනා.

දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක චෙනුල මන්දිව් ඉනිම් 9ක දී කඩුලු 15ක් දවා ගනිමින් පසුගිය තරගවාරය තුළ වේල්ස් කුමර විද්‍යාලයීය කණ්ඩායමේ ඉහළම කඩුලු ලාභියා ලෙස සිය ස්ථානය හිමි කරගෙන තිබෙනවා. තවද උනෙත් පීරිස් ඉනිම් 8ක දී කඩුලු 12ක් සහ ප්‍රින්ස් ප්‍රනාන්දු ඉනිම් 9ක දී කඩුලු 10ක් දවා ගනිමින් පන්දු යැවීමෙන් දක්ෂතා අතරට පැමිණීමට සමත් වුනා.

ඉතිහාසයෙන් බිඳක්

මොරටු මහා රන් සටන ඉතිහාසය තුළ මේ දක්වා පවත්වා ඇති තරග 71න් වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තා කරගැනීමට සමත්ව සිටින්නේ වේල්ස් කුමර විද්‍යාලය යි. ඒ අනුව ඔවුන් ජයග්‍රහණය කර ඇති මහා ක්‍රිකට් තරග සංඛ්‍යාව 6ක්. අනෙක් පසින් ප්‍රතිවාදී සාන්ත සෙබස්තියන් විද්‍යාල කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ මහා ක්‍රිකට් තරග 3ක් පමණයි. කෙසේ නමුත් දෙදින මහා ක්‍රිකට් තරගය අවසන් වරට ප්‍රතිඵලයක් සහිතව අවසන් වූ 2011 වසරේ දී එහි ජයග්‍රහණය හිමි කරගැනීමට සමත් වූයේ සනිත ද මෙල්ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ සාන්ත සෙබස්තියන් කණ්ඩායම යි.

තවද පසුගිය වසරේ මහා ක්‍රිකට් තරගය ද ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූයේ සාන්ත සෙබස්තියන් පිළට පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමි කර දෙමින්.

සීමිත පන්දුවාර තරග ඉතිහාසයේ ජයග්‍රහණ 17ක් සමඟින් සාන්ත සෙබස්තියන් විද්‍යාලය මේ වන විට ඉදිරියෙන් පසුවේ. ප්‍රතිවාදී වේල්ස් කුමරුවන් ද තරග 16ක ජයග්‍රහණය තමන් සතු කරගනිමින් ඉතා ආසන්නයේ පසුවේ. එහි දී විද්‍යාල දෙක අතර එක් එක්දින තරගයක් ලකුණු සමව අවසන් වී ඇති අතර තවත් තරග දෙකක් විසඳුමකින් තොරව නිමාවට පත්වී ඇත.

විද්‍යාල දෙක අතර අවසන් වරට පැවති පසුගිය වසර සඳහා වූ එක්දින තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ලැබූ අතර එය අවසන් වූයේ වේල්ස් කුමර කණ්ඩායම ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කරගනිමිනි.

72 වැනි මොරටු මහා රන් සංග්‍රාමය මෙන්ම 37 වැනි එක්දින මහා තරගය සඳහා ද මෙවරත් සාඩම්බර අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සබඳතා සහකරු වන ‘Dialog Axiata’ පෞද්ගලික සමාගම කටයුතු කරනු ලබයි.

දෙදින මහා ක්‍රිකට් තරගය ඉතිහාසයේ පළමු වරට ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවව ඔබ වෙත රැගෙන ඒමට මේ වන විට අප සියලු කටයුතු සූදානම් කර ඇති අතර එක්දින තරගය ද සුපුරුදු පරිදි Dialog TV නාලිකා අංක 140, Dialog VIU සහ ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවව ඔබ වෙත සමීප කෙරෙනු ඇත.

මොරටු මහා රන් සංග්‍රාමයේ උණුසුම විඳගන්න, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<