අසංග සෙනෙවිරත්න පාසල් රග්බි ගැන අසතුටෙන්

808
Asanga Seneviratne re-appointed SLRFU president uncontested

ශ්‍රී ලංකා රග්බි මහා සභා රැස්වීම ඊයේ (02) කොළඹ ඔලිම්පික් නිවහනේ දී පැවැත්විය.

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව සම්බන්ධ වගකිව යුත්තන් ඊයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී එක්වෙමින් රග්බි ක්‍රීඩාවේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කටයුතු කළේය. මෙම රැස්වීම පවත්වනු ලැබුවේ ශ්‍රී ලංකා රග්බි විධායක කමිටුවේ සභාපති අසංග සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වය යටතේ ය.

පාසල් කණ්ඩායම් 8ක් අපරාජිතයි

වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය ඊයේ (01) කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී සහ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී ආරම්භ…

2016 වසරේ නොවැම්බර් මස 01 වන දින පැවති වාර්ෂික මහා සභා රැස්වීමේ වාර්තාව කියවීමත් සමඟ මෙම වසර සඳහා වන වාර්ෂික මහා සභා රැස්වීමේ කටයුතු කමිටුවේ ලේකම්වරයා විසින් ආරම්භ කරන ලදි. න්‍යාය පත්‍රයට අනුව ඉන් අනතුරුව සිදු කෙරුණේ පසුගිය වසරේ මුදල් පිළිබඳ වාර්තාව සභාවට ඉදිරිපත් කිරීමයි. එය භාණ්ඩාගාරික රේ අබේවර්ධන මහතා විසින් සිදු කරන ලදි.  

පසුගිය වසර ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ඉහළට රැගෙන ගිය වසරක් ලෙස සඳහන් කළ හැක. ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම පසුගිය වසරේ දී ආසියානු තලය තුළ සිය නාමය ස්ථාපිත කරන්නට සමත් වූවා මෙන්ම මුදල් කටයුතු අතින් ද ගිය වසර ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට සාර්ථක වසරක් විය.

මුදල් කටයුතුවලින් 2015 වසර ශ්‍රී ලංකා රග්බි සංගමය පාඩු ලැබූ වසරක් වුවත් එම තත්වය 2016 වසරේ දී සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නට සෙනෙවිරත්න මහතා ප්‍රමුඛ කමිටුව සමත් විය. භාණ්ඩාගාරිකවරයා එහි දී කියවූ වාර්තාවට අනුව 2016 වසරේ දී ඔවුන් රුපියල් මිලියන 05කට අධික ලාභයක් උපයා ගන්නට සමත්ව ඇත.

2016 වසරේ දී ඔවුන් ලබාගත් ජයග්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර සිටියේ;

“පසුගිය වසර ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩා ඉතිහාසයේ සාර්ථකම වසරවලින් එකක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ක්‍රීඩකයින් එහි දී ඉහළ දස්කම් දක්වන්නට සමත් වුනා. ඔබ හැමෝම දන්නා පරිදි අපේ වයස අවුරුදු 18න් පහළ සහ 20න් පහළ කණ්ඩායම් ආසියානු ශූරයින් බවට පත්වුණා. ඒ වගේම සත්සාමාජික තරගවලදීත් ඉතාමත් හොඳින් ක්‍රීඩා කරමින් අපිට ආසියාවේ 2 වන ස්ථානයට එන්න හැකිවුණා.”

එමෙන්ම රග්බි ක්‍රීඩාව සමාජ වෙබ් අඩවි සමඟ ඉදිරියට රැගෙන යමින් එය ව්‍යාපාරයක් බවට පත්වීමේ වැදගත්කම පිළිබඳව ද අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ;

“අද රග්බි කියන්නේ ක්‍රීඩාවක් පමණක් නෙමෙයි. ඒක විනෝදාත්මක ව්‍යාපාරයක්. අන්තර්ජාලය මුළුමනින්ම ක්‍රීඩාව වෙනස් කරලා තිබෙනවා. නමුත් ඒ අතින් බැලුවොත් ශ්‍රී ලංකාව තරමක් පසුපසින් සිටින්නේ. අනුග්‍රාහකයෙක් වෙත ගියාම ඔවුන් බලන්නෙත් අපිට ‘views’ කොච්චර තියෙනවද? ‘likes’ කොච්චර තියෙනවද? ‘followers’ කොච්චර ඉන්නවද කියන එක.”

එමෙන්ම ඔහු මෙම වසරේ දී සිදු කිරීමට බලාපොරොත්තු වන තවත් වැදගත් වෙනස්කම් කිහිපයක් පිළිබඳව ද සඳහන් කළේය.

“අපි මෙම වසරේ තරගාවලියට විදේශීය ක්‍රීඩකයෝ එක්කර ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යම්කිසි ක්‍රීඩා සමාජයක් මහන්සි වෙලා, මුදල් වියදම් කරලා ක්‍රීඩකයෙක් නිර්මාණය කළාම ඒ ක්‍රීඩකයාව එම ක්‍රීඩා සමාජය තුළ රඳවා ගන්න පුළුවන් වෙන විදිහට රෙගුලාසි ගේන්න කටයුතු කරනවා. දැනටත් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල තුළ අධ්‍යාපනය ලබන විදේශීය ක්‍රීඩකයින් රාශියක් සිටිනවා. ඒ නිසා අපි උත්සාහ කරනවා ඔවුන්ව අපගේ රග්බි පද්ධතිය තුළට ගෙනල්ලා ශ්‍රී ලංකාව නියෝජනය කරන්න පුළුවන් වෙන තත්වයක් ඔවුන්ට ඇති කරලා දෙන්න.”

එමෙන්ම ඔහු ශ්‍රී ලංකාවේ සත්සාමාජික රග්බි ක්‍රීඩාව පිළිබඳව ද අදහස් දැක්වීය.

“15 දෙනෙක් ක්‍රීඩා කරන රග්බි ක්‍රීඩාව අපිට අභියෝගයක්. ඔවුන්ගේ එක් සංචාරයකට රුපියල් මිලියන 5ක පමණ මුදලක් වැය වෙනවා. ඒ නිසා අපි කමිටුවක් වශයෙන් සත්සාමාජික කණ්ඩායම් සඳහා අවධානය යොමු කරනවා. අපේ මූලික අරමුණ සත්සාමාජික කණ්ඩායමේ සිටින ප්‍රධාන ක්‍රීඩකයින්ගේ කටයුතු ප්‍රමාණය අඩු කරන්න. ඒකට අපිට ක්‍රීඩා සමාජවල සහාය අවශ්‍ය යි. ඔව් අපිට පුළුවන් වෙයි ආසියානු සත්සාමාජික තරගාවලියක ජය සමරන්න. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. අපිට අවශ්‍ය ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකයේ හොඳම සත්සාමාජික කණ්ඩායම් 20 අතරට රැගෙන එන්න.”

කෙසේ වුවත් ඔහු සඳහන් කළ වැදගත්ම කරුණ පාසල් රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් විය. ඔහු පාසල් රග්බි ක්‍රීඩාවේ පරිපාලනය විවේචනයට ලක්කළ අතර පාසල් රග්බි තරගාවලි පැවැත්වෙන ආකාරය පිළිබඳව ද ඔහු සතුටට පත් නොවන බව ප්‍රකාශ කර සිටියේය.

“පාසල් මට්ටමේ තරගාවලි පැවැත්වෙන ආකාරය අනුව අපි පාසල් මට්ටමේ ක්‍රීඩකයින්ට සලකන ආකාරය ඇත්තටම කණගාටුදායක යි. අපි ගොඩක් උත්සාහ කළා පාසල් රග්බි සංගමය එකතු කර ගන්න. නමුත් ඒක සාර්ථක වුනේ නැහැ. ඔවුන්ට රුපියල් මිලියන 85ක අනුග්‍රාහකත්වයක් ලැබුණා. නමුත් ඔවුන්ට හම්බෙන ගාණවත් දන්නේ නැති අනුග්‍රාහකත්වයක් වෙනුවෙන් ඔවුන් ඒක ප්‍රතික්ෂේප කළා. මේ වගේ සිදුවීම් නිසා අපිට පාසල් රග්බි ක්‍රීඩාව අන්තර්ජාතික තලයට රැගෙන යන්න අපහසු වෙලා තිබෙනවා. පාසල් ක්‍රීඩකයින්ට නවසීලන්තය, එංගලන්තය හෝ අඩුම තරමේ මැලේසියාව වැනි රටවල ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබෙනකන් ඔවුන් ජාතික මට්ටමට ආවම ඔවුන්ගෙන් ඉහළ දස්කම් බලාපොරොත්තු වෙන්න බැහැ.”

ඔහු ඔහුගේ කතාව අවසන් කළේ වසරක කාලයක් තුළ කාන්තා රග්බි ක්‍රීඩාව මේ වන විට කෙතරම් දුරක් පැමිණ ඇත්දැයි යන්න පෙන්වා දෙමිනි. එමෙන්ම ඔවුන් ඉදිරි වසරවල දී ද කාන්තා රග්බි ක්‍රීඩාව දියුණු කිරීමට කටයුතු සම්පාදනය කරන බව තහවුරු කර සිටියේය.

මහා සභා රැස්වීමේ අවසානයට පෙර විධායක කමිටුව විසින් ශ්‍රී ලංකා රග්බි ඉතිහාසයේ දැවැන්තයින් කිහිප දෙනෙකුට යාවජීව සාමාජිකත්වය ප්‍රදානය කළ අතර සුපර් සෙවන්ස් රග්බි තරගාවලියේ දී මෙම දැවැන්තයින්ව ඇගයීමට ලක් කිරීම සඳහා උත්සවයක් ද පැවැත්වෙනු ඇත.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට