ශ්‍රී ලංකාව සමඟ හැප්පෙන කොදෙව් සංචිතය නිකුත් වේ

2983
Windies recall Devon Smith

වමතින් පිත්ත හසුරුවන ඩෙවෝන් ස්මිත් වසර 3කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සඳහා කැඳවා ඇත.

ලබන මස 6 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් තරග සංචාරය සඳහා ටෙස්ට් තරග 3ක් ඇතුළත් අතර එම තරගාවලිය ඉලක්ක කරගෙන කොදෙව් ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ සංචිතය අද (25) නිකුත් කර ඇත.

ධනංජයගේ පියාට වෙඩි ප්‍රහාරයක්

මොරටුව ප්‍රදේශයේ දී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්..

ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් කොදෙව්වන් විසින් ඉදිරිපත් කර ඇති අතර එහි පළමු ටෙස්ට් තරගය ට්‍රිනිඩෑඩ් හි කුවින්ස් පාක් ඕවල් ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙනු ඇත.

කොදෙව් ක්‍රිකට් කණ්ඩායම තුළ සිටි දක්ෂ ප්‍රබල පිතිකරුවෙක් වන ඩෙවෝන් ස්මිත් එරට පැවති සිව්දින දේශීය ක්‍රිකට් තරගාවලියක දී ලකුණු 1095ක් ලබාගෙන ඇති අතර ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය ලකුණු 84.23ක් වැනි ඉහළ මට්ටමක පැවතුනි. ඒ අතරට ශතක 6ක් ඇතුලත්ය.

පසුගිය වසරේ නවසිලන්ත තරගාවලිය සඳහා සහභාගී වූ කොදෙව් සංචිතයේ සිදුකොට ඇති අනෙකුත් ප්‍රධානතම වෙනසක්ම වන්නේ 27 හැවිරිදි ජේමර් හැමිල්ටන් සංචිතයට එක්කර තිබීමයි. ජේමර් හැමිල්ටන් කොදෙව් A කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ දී (එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟ) දැක්වූ දස්කම නිසා පළමු වරට බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට ඇතුළත් කර ඇත.

>> මාලිංග කැනඩාව දෙවනත් කරන්නට සැරසේ

“නවසිලන්ත තරග සංචාරයට පසුව අපේ ටෙස්ට් කණ්ඩායමට නැවතත් දක්ෂයින්ව කැඳවලා තියෙනවා. ඩෙවෝන් ස්මිත් කියන්නෙත් ඒ වගේ දක්ෂ ක්‍රීඩකයෙක්. අපි නැවතත් අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක්ව කණ්ඩායමට ගෙනල්ලා තියෙනවා. කෙසේ නමුත් මුල්පෙළ පිතිකරුවන් දැන ගන්න ඕන ලකුණු අතරට එන්න.” යැයි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානී වන කවුන්ට්‍රි බ්‍රවුන් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන ලදි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ  ඒ මහතා මෙසේ පවසන ලදි. “ජේමර් හැමිල්ටන්  කියන්නේ දිගින් දිගටම දස්කම් අතරට පැමිණි ක්‍රීඩකයෙක්, නිමා වූ කොදෙව් A එංගලන්ත ලයන්ස් තරගාවලිය තුළ දී ඉතාමත් හොඳ දස්කම්වලට එන්න ජේමර්ට පුළුවන් වුනා. අපේ කණ්ඩායම වෙනුවෙන් ජේමර් ලොකු දෙයක් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

මෙම බටහිර ඉන්දීය කොදෙව් සංචිතය සඳහා කඩුලු රකින්නන් දෙදෙනෙක් ඇතුළත් වන අතර කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ජේසන් හෝල්ඩර් වෙත ලබා දී ඇති අතර කරෙයිග් බාර්ත්වෙයිට් හා කිරන් පවෙල් ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරනු ඇත. නවසිලන්ත තරග සංචාරයට එක්වූ අල්සාරි ජෝසප්, රේමන් රයිෆර්, සුනිල් අම්බ්‍රිස්, ජර්මෙයින් බ්ලැක්වුඩ් යන ක්‍රීඩකයින් හට සංචිතයේ සිය ස්ථානයන් අහිමිව ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග තුනක් සඳහා කැරිබියන් දූපත්වල සංචාරයක නිරත වීමට නියමිතව තිබුණ ද, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය මුහුණ පා සිටින මූල්‍යමය ගැටලු හේතුවෙන් එම සංචාරය අවිනිශ්චිත තත්ත්වයට පත්විය.

කෙසේ වෙතත් කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය එම ගැටලු නිරාකරණය කර ඇති බවත් සංචාරයේ නියමිත පරිදි පැවැත්වෙන බවත් පසුගිය දා (22)  නිල වශයෙන් නිවේදනය කරන ලදි.

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය – ජේසන් හෝල්ඩර් (නායක), දේවේන්ද්‍ර බිශෝ, ඩෙවෝන් ස්මිත්, කරෙයිග් බාර්ත්වෙයිට්, කිරන් පවෙල්, රොස්ටන් චේස්, මිගුවෙල් කමින්ස්, ෂේන් ඩොව්රිච් (කඩුලු රකින්නා) , ශැනොන් ගැබ්‍රිල්, ජේමර් හැමිල්ටන් (කඩුලු රකින්නා) , ශිම්රන් හේට්මයර්, ෂායි හොප්, කෙමාර් රොච්.

තරග සංචාරයේ කාලසටහන

  • පුහුණු තරගය: මැයි 30 – ජුනි 1, බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගණය ට්‍රිනිඩෑඩ්.
  • පළමු ටෙස්ට් තරගය: ජුනි 6-10, කුවින්ස් පාක් ඕවල්, ට්‍රිනිඩෑඩ්
  • දෙවන ටෙස්ට් තරගය: ජුනි 14-18, ඩැරන් සැමි ක්‍රිකට් ක්‍රීඩාංගණය, ශාන්ත ලුසියා කෙන්සින්ටන් ඕවල්, බාබඩෝස්
  • තෙවන ටෙස්ට් තරගය: ජුනි 23-27, කෙන්සින්ටන් ඕවල්, බාබඩෝස් (දිවා/රාත්‍රී තරගය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<