බෝම්බ බියක් නිසා Babar, Afridi ඇතුළු ක්‍රීඩකයින් ආරක්ෂිත ස්ථානයකට

1404

Nawab Akbar Bugti ක්‍රීඩාංගණයේ පැවති පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ප්‍රදර්ශනාත්මක තරගයක් අතරතුර අවට සිදු වූ බෝම්බ පිපිරීමක් නිසා පාකිස්තාන නායක Babar Azam, හිටපු නායක Shahid Afridi ඇතුළු ක්‍රීඩකයින් ආරක්ෂිත ස්ථානයකට ගෙන යාමට කටයුතු කර තිබෙනවා.

මෙම බෝම්බ ප්‍රහාරයෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවත් සහ ඔවුන්ව ඉක්මනින් රෝහල් ගත කිරීමට කටයුතු කළ බව පාකිස්තාන පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම මෙම ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය විසින් ලබා ගෙන ඇති බව ද පාකිස්තාන මාධ්‍ය වාර්තා කළා.

Quetta ක්‍රීඩාංගණයට පාකිස්තාන සුපර් ලීග් සත්කාරකත්වය හිමි වීමෙන් අනතුරුව ප්‍රේක්ෂකයින්ගෙන් එල්ල වූ දැඩි පීඩනය නිසා Quetta Gladiators සහ Peshawar Zalmi කණ්ඩායම් අතර ප්‍රදර්ශනාත්මක තරගයක් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට සංවිධානය කළ අතර ඒ සඳහා විශාල ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් සහභාගී ව තිබුණා.

Babar Azam විසින් Quetta Gladiators කණ්ඩායමේ නායකත්වය දැරූ අතර Peshawar Zalmi කණ්ඩායමේ නායකත්වය දැරුවේ හිටපු පාකිස්තාන නායක Sarfaraz Ahmed විසිනුයි.

“පිපිරීම සිදු වූ වහාම සාමාන්‍ය ක්‍රියාවලියට අනුව තරගය නවත්වා ක්‍රීඩකයින් විවේකාගාරයට ගෙන ගියා. තත්වය යහපත් බවට තොරතුරු ලැබීමෙන් අනතුරුව නැවත තරගය ආරම්භ කළා,” යැයි පාකිස්තාන පොලිස් මාධ්‍ය වාර්තා කළා.

Nawab Akbar Bugti ක්‍රීඩාංගණය පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ සත්කාරක ක්‍රීඩාංගණයක් ලෙස නම් කළ අතර ඒ අනුව 1996 වසරෙන් පසු එම ක්‍රීඩාංගණයේ ඉහළ මට්ටමේ තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

අවසන් වරට සිම්බාබ්වේ සහ පාකිස්තානය අතර තරගයක් මෙම ක්‍රීඩාංගණයේ දී පවත්වා තිබූ අතර එහි පැවැත්වූ පළමු සහ එකම ජාත්‍යන්තර තරගය එය වීම ද විශේෂත්වයක්.

තරගය පැවති ප්‍රදේශය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නිසාවෙන් අවදානම් කලාපයක් වන අතර අවසන් සතිය තුළ පමණක් එම ප්‍රදේශයේ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර නිසා පුද්ගලයින් 80කට අධික පිරිසක් තුවාල ලබා සහ මරණයට පත්ව තිබෙනවා.

Hindustan times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<