Tendulkarගෙන් ICCට යෝජනාවක්

1494
helmets mandatory for batsmen

පසුගිය දා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය හිටපු ශ්‍රේෂ්ඨ ක්‍රීඩක Sachin Tendulkar පවසා සිටියේ තරග අතරතුර පිතිකරුවන් හෙල්මට් පැලඳීම අනිවාර්ය කළ යුතු බවයි.

පසුගිය දා පැවති Sunrises Hyderabad සහ Kings XI Punjab අතර තරගයේ දී Sunrises Hyderabad කණ්ඩායමේ Vijay Shankar පන්දුවට පහර දෙමින් සිටි අවස්ථාවක සිදු වූ සිදුවීමක් පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.

එම තරගයේ දී පන්දු රකිමින් සිටි Kings XI Panjab කණ්ඩායමේ Nicholas Pooran එල්ල කළ පන්දුවක් කඩුලු අතර දිවයමින් සිටි Vijay Shankarගේ හිසේ වැදී තිබුණි.

එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් Sachin Tendulkar පවසා සිටියේ එය ඉතාමත් අනතුරුදායක සිදුවීමක් වීමට ඉඩ තිබූ බවයි.

එම නිසා ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින් මෙවන් වෘත්තීය මට්ටමේ තරගවල දී පිතිකරුවන් සෑම විටම හෙල්මට් පැලඳීම අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් නීති ගෙන එන ලෙස Sachin Tendulkar ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙන් ඉල්ලීමක් කර තිබේ.

Sunrises Hyderabad සහ Kings XI Panjab අතර පැවති තරගයේ ඉහත සිදුවීම දැක්වෙන වීඩියෝ පටයක් ද Tendulkar විසින් එහි දී ඉදිරිපත් කර තිබුණි. එහි දී Nicholas Pooran එල්ල කළ පන්දුව කෙළින්ම Vijay Shankarගේ හිසට එල්ල වන අතර ඔහු එම අවස්ථාවේ දී බිම ඇද වැටෙන ආකාරය දක්නට හැකි විය. 

එහි දී Sunrises Hyderabad කණ්ඩායමේ වෛද්‍ය කණ්ඩායම ඉක්මනින්ම ඔහු වෙත ළඟා විය. කෙසේ වෙතත් මෙම සිදුවීම සිදු වන විට Vijay Shankar සිය හෙල්මටය පැලඳ සිටීම නිසා තත්ත්වය එතරම් බරපතළ නොවීය.

” අපි දන්නවා මේ ක්‍රීඩාව දැන් පෙරටත් වඩා වේගවත් වෙලා තියෙන්නේ. ක්‍රීඩාවේ ආරක්ෂාව ඒත් එක්කම වැඩි වුනා ද? අපි බලන්න ඕනේ වේගය වැඩි වුනාට ක්‍රීඩාවේ ආරක්ෂාව වැඩි වෙලා ද තියෙන්නේ කියලා. එදා අපි දැක්ක ඒ සිදුවීම අවාසනාවන්ත සිදුවීමක් වෙන්න ඉඩ තිබුණා. වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවේ දී වේගපන්දු යවන්නෙක්ට වුනත්, දඟපන්දු යවන්නෙකුට වුනත් පිතිකරුවන් හෙල්මට් පැලඳීම අනිවාර්ය කරන්න ඕනේ. මම හිතනවා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මේ ගැන අවධානය යොමු කරාවි කියලා.” 

පසුගිය 2014 වසරේ නොවැම්බර් මාසයේ දී ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත තරගයක් අතරතුර දී Sean Abbott යැවූ පන්දුවක් හිසේ වැදීමෙන් ඕස්ට්‍රේලියානු පිතිකරු Phillip Huges අවාසනාවන්ත ලෙස මියයාම ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි කතාබහක් ගොඩනැගීමට සමත් විය.

එම පන්දුව 25 හැවිරිදි Philip Hugesගේ ගෙල ප්‍රදේශයේ වැදී තිබුණු අතර ඔහු හෙල්මටය පැලඳ සිටිය ද පන්දුව වැදී තිබුණේ එයට පහළිනි. කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව හෙල්මට් නිෂ්පාදනය කරන ආයතනය නව හෙල්මටයක් හඳුන්වා දුන් අතර එයට හිසට පහළින් විවෘත ප්‍රදේශය ආවරණය කරන ආවරණයක් එක් කර තිබුණි. ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සලකා බලමින් එම තීරණය ගෙන තිබුණි. 

තවත් ක්‍රිකට් පුවත්: 

Tendulkar සිය යෝජනාව සියලු ක්‍රිකට් ආයතනය වෙත යොමුකර තිබූ අතර එයට ඉන්දීය ක්‍රිකට් ආයතනය, එංගලන්ත ක්‍රිකට් ආයතනය මෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ද ඇතුළත් විය.

Tendulkar මෙහි දී තවත් Twitter පණිවිඩයක් පලකරමින් වසර ගණනාවකට පෙර සිදු වූ සිදුවීමක් පිළිබඳව ද ආවර්ජනය කර තිබුණි. 

එහි දී ප්‍රදර්ශන තරගයක් අතරතුර දී Sunil Gavaskar යැවූ Full toss පන්දුවක් වත්මන් ඉන්දීය පුහුණුකරු වන Ravi Shastriගේ හිසේ වැදී තිබුණි.

“මේ සිදුවීමත් එක්ක මට මතක් වුනේ Ravi Shastriට මුහුණ දෙන්න සිදු වුන සිදුවීම. Sunil Gavaskar යැවුව full toss පන්දුව ඔහුගේ හිසේ වැදුණා. ඒක බරපතළ පහරක් වෙන්න ඉඩ තිබුණා. වාසනාවට ඔහුට හානියක් වුනේ නැහැ.” 

කෙසේ වෙතත් Vijay Shankar සිදුවීමට සමාන සිදුවීමක් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය වූ Mumbai Indians සහ Sunrises Hyderabad අතර තරගයේ දී ද දක්නට ලැබුණි.

මුම්බායි ඉනිමේ අවසන් පන්දුව සඳහා ලකුණක් ලබා ගැනීමට යාමේ දී Sunrises Hyderabad පන්දු රකින්නෙකු එල්ල කළ පන්දුව Dhawal Kulkarniගේ හිසෙහි වැදී තිබුණි. එම පහර කෙතරම් බරපතළ දැයි කිවහොත් එම පන්දුව වැදීමෙන් ඔහුගේ හෙල්මටයේ කොටසක් කැඩී වෙන්වී තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<