සුපිරි පන්දුවාරය පරාජයෙන් කෙළවර වූ පාකිස්තානු තරගාවලි ජය

සිම්බාබ්වේ කණ්ඩායමේ පාකිස්තානු සංචාරය 2020

1344
Image Credits - ICC

සිම්බාබ්වේ සහ පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් අතර අද (3) රාවල්පින්ඩි හිදී පැවැත්වූ තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය සුපිරි පන්දුවාරයක් දක්වා ඇදී ගිය අතර අවසානයේ එම තරගයෙන් ජයග්‍රහණය වාර්තා කරන්නට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

ICC Men’s Cricket World Cup සුපර් ලීගයේ තරගාවලියක් වන මෙම තරගාවලියේ පළමු තරග දෙක පාකිස්තානය ජයග්‍රහණය කර තිබීම නිසා 2-1ක් ලෙස තරගාවලියේ ජය හිමි වූයේ පාකිස්තානු කණ්ඩායමටයි.

කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ පළමුව පන්දුවට පහර දීම සඳහා තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 278ක් ලබා ගන්නා ලදි. Sean Williams ඔවුන්ගේ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ශතකයක් ලබා ගන්නා විට තරගාවලිය පුරාවට සාර්ථක වූ Brendan Taylor අද තරගයේ දී ද ලකුණු 56ක් ලබා ගත්තේය. ඔහුගේ එම ඉනිම සඳහා 4 පහර 8ක් අන්තර්ගත විය.

සිම්බාබ්වේ කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල දක්ෂ මැදපෙළ පිතිකරුවෙක් වන Williams සිය එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් සිව්වැනි ශතකය සඳහා නිසි වටිනාකමක් එකතු කිරීමට සිම්බාබ්වේ කණ්ඩායමට අවස්ථාව ලැබුණි. පන්දු 135ක දී ගොඩනැංවුණු එම ඉනිම සඳහා 4 පහර 13ක් සහ එක් 6 පහරක් ඇතුළත් විය. සිම්බාබ්වේ මුල් පෙළ සුන් කර දැමූ 20 හැවිරිදි Mohammad Hasnain එක්දින දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කරගත්තේ ලකුණු 26කට කඩුලු 5ක් දවා ගනිමිනි.

ලකුණු 279ක තරගකාරී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි පාකිස්තානය වෙනුවෙන් නායක බාබර් අසාම් 4 පහර 13ක් සහ එක් 6 පහරක් සමඟ ශතකයක් ලබා ගත් අතර එය ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් 13 වැනි ශතකයයි.

Blessing Muzarabani දියත් කළ දක්ෂ පන්දුකරණය නිසා පාකිස්තාන පළමු කඩුලු 5 ලකුණු 88ක් තුල බිඳ වැටි ගිය අතර අද දිනයේ දී පාකිස්තානය වෙනුවෙන් එක්දින වරම් දිනා ගත් 25 හැවිරිදි Khushdil Shah සහ අසාම් එක්ව ඔවුන්ට තරගය සම කරගැනීම සඳහා හෝ අවශ්‍ය අඩිතාලම සකස් කර දෙන ලදී. 

පසුව පිටියට පැමිණි Wahab Riaz සිය එක්දින ක්‍රිකට් දිවියේ තෙවැනි අර්ධ ශතකය වාර්තා කරගත්තේ පන්දු 56ක් තුල ලකුණු 52ක් ලබා ගනිමිනි. එම ඉනිම සඳහා 4 පහර සහ 6 පහර තුනක් ඇතුළත් විය.

එතෙක් වෙලාවක් කඩුල්ලේ රැඳී සිටි දකුණතින් පන්දුවට පහර දෙන අසාම් 48 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී දැවී ගිය නිසාවෙන් නැවතත් තරගයේ පීඩනය පාකිස්තානය දෙසට පතිත විය. 

පාකිස්තානු ඉනිමේ 49 වැනි පන්දුවාරය වන විට 266/9ක් ලෙස සටහන්ව තිබූ ඔවුන්ගේ ලකුණු සටහන අවසන් පන්දුවාරය තුල ලකුණු 12ක් ලබා ගනිමින් තරගය සම කිරීම දක්වා රැගෙන ඒමට ඔවුන්ගේ අවසන් පිතිකරුවන් දෙදෙනා වූ Muhammad Musa සහ Mohammad Hasnain සමත් වීම කැපී පෙනුනි.

කණ්ඩායම් දෙකම ලබා ගත් ලකුණු සම වීම නිසාවෙන් ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අඩුවෙන් දැකගන්නට ලැබෙන එක්දින තරගයක සුපිරි පන්දුවාරයක් සඳහා යාමට සිදු වූ අතර එහි දී Blessing Muzarabani පාකිස්තානු කණ්ඩායම ලකුණු 2කට සීමා කළේ ඔවුන්ගේ කඩුලු 2ම දවාලමිනි.

පාකිස්තානය වෙනුවෙන් පළමු එක්දින තරගයේ දී කඩුලු 5ක් දවා ගත් ශහීන් ශා අෆ්රිඩි සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක කිරීමේ වගකීම ලබා ගත් නමුත් එම වෑයම සාර්ථක වූයේ නැත.

මෙය ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රියාත්මක වූ දෙවැනි සුපිරි පන්දුවාර අවස්ථාව වන අතර මීට පෙර එක්දින ජාත්‍යන්තර තරගයක සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක වූයේ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සහ එංගලන්තය අතර පැවති  අවසන් මහා තරගයේ දීයි.

සිම්බාබ්වේ වෙනුවෙන් දක්ෂ ලෙස සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක කළ Muzarabani තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත් අතර සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරගනිමින් පළමු කඩුලු 5 අවස්ථාව සටහන් කර ගැනීමට දකුණතින් වේගපන්දු යවන Muzarabaniට හැකි විය.

සිම්බාබ්වේ – 278/6 (50): Sean Williams 118, Brendan Taylor 56, Sikandar Raza 45, Mohammad Hasnain 5/26.

පාකිස්තානය – 278/9 (50): Babar Azam 125, Wahab Riaz 52, Khushdil Shah 33, Blessing Muzarabani 5/49.

තරගයේ වීරයා – Blessing Muzarabani (සිම්බාබ්වේ)

ICC Men’s Cricket World Cup සුපර් ලීගයේ තරග තුනක් සඳහා මුහුණ දී සිටින පාකිස්තානය ප්‍රසාද ලකුණු 20ක් දිනා ගන්නට සමත්ව සිටින්නේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දිනා ගනිමිනි. එසේම ICC Men’s Cricket World Cup සුපර් ලීගයේ මංගල ජයග්‍රහණය ලබා ගත් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 10ක් දිනා ගනිමින් එහි පස්වැනි තැන රැඳී සිටියි.

දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 7 වැනිදා සිට ආරම්භ වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<