කොළඹ Kings අඩුපාඩු මකන්න පාකිස්තානයෙන් සුපිරි ක්‍රීඩකයෙක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

337
Mohammad Hafeez

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG ආයතනය එක්ව සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL) තරග වදිනු ලබන කොළඹ Kings කණ්ඩායම විසින් පාකිස්තානු දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම හිටපු නායකයෙක් වන මොහොමඩ් හෆීස් සිය කණ්ඩායම වෙනුවෙන් තෝරාගෙන ඇත.

වයස අවුරුදු 40ක් වන දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන හෆීස් මේ වසර ආරම්භයේ දී සියලුම ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා සමුදෙන ලදි. මීට පෙර ශ්‍රී ලංකාවේ පැවති SLPL තරගාවලිය සඳහා ද සහභාගී වූ ක්‍රීඩකයෙක් වන ඔහු ලොව පුරා පැවැත්වෙන විවිධ වූ විස්සයි විස්ස තරගාවලි සඳහා සහභාගී වෙමින් වැඩි අත්දැකීම් ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ ජාත්‍යන්තර අත්දැකීම්වලට අමතරවයි.

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග 94කට සහභාගී වෙමින් ලකුණු 2147ක් සහ කඩුලු 54ක් දවාගෙන ඇති හෆීස් මේ වසරේ ඔක්තෝබර් මාසය අවසානයේ දී පාකිස්තානයේ පැවති National T20 Cup තරගාවලිය අවසන් වරට ක්‍රීඩා කළ ක්‍රිකට් තරගාවලිය වේ. එහි දී Khyber Pakhtunkhwa කණ්ඩායම ශූරතාව දක්වා රැගෙන යාම සඳහා හෆීස්ගේ තුන් ඉරියව් දස්කම් ඉතාමත් වටිනා සාධකයක් බවට පත්වූ අතර ඔහු එම තරගාවලියේ දී තරග 9ක් තුල ලකුණු 278ක් ලබා ගත්තේ අර්ධ ශතක දෙකක් ලබා ගනිමිනි.

තවත් ක්‍රිකට් පුවත්

මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදින Andre Russell ආබාධයකට ලක්ව සිටින නිසාවෙන් LPL තරගාවලියට සහභාගී නොවන බව දන්වා ඇති අතර Manvinder Bisla තරගාවලිය සඳහා සහභාගී නොවන්නේ කුමන හේතුවක් මත ද යන්න නිල වශයෙන් තහවුරු කර නොමැත. පසුගිය (19) දින අන්තර්ජාල වීඩියෝ දුරකථන සංවාදයක් හරහා පැවති ක්‍රීඩකයින් කණ්ඩායම් ගත කිරීමේ දී ඔවුන් දෙදෙනාවම මිල දී ගත්තේ කොළඹ Kings කණ්ඩායම විසිනි.

මෙම ක්‍රීඩකයින් දෙදෙනාට අමතරව Faf du Plessis, David Miller සහ Dawid Malan යන ක්‍රීඩකයින් LPL තරගාවලිය සඳහා සහභාගී නොවේ. ඒ දකුණු අප්‍රිකානු දේශීය ක්‍රිකට් තරගාවලිය සහ ලබන මස අවසානයේ දී ආරම්භ වන දකුණු අප්‍රිකා – එංගලන්ත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලි නිසාවෙනි.

නොවැම්බර් මස 14 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ ‘ලංකන් ප්‍රිමියර් ලීග්’ තරගාවලිය (LPL) නොවැම්බර් මස 21 වැනිදා දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදු වූයේ රජය විසින් පනවා ඇති නිරෝධායන රෙගුලාසි සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

නව තරග කාලසටහනට අනුව තරගාවලිය නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර තරග පල්ලෙකැලේ දී සහ හම්බන්තොට දී පැවැත්වෙනු ඇත. කෙසේ නමුත් මේ තරගාවලිය සඳහා තවමත් ශ්‍රී ලංකා රජයේ හෝ ශ්‍රී ලංකා සෞඛ්‍ය අංශවල අවසරය ලැබී නොමැති අතර එහි අවසන් වටයේ සාකච්ඡාව හෙට (4) වැනිදා පැවැත්වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <