පරිස්සම් නොවුනොත් රෝහිත් ලොකු අමාරුවක

ඉන්දියානු කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයට 2020-21

9261

රෝහිත් ශර්මා නැවත වතාවක ආබාධයකට ලක් වීමේ අවදානමක් ඇති බව ඔහුගේ වෛද්‍ය වාර්තාවල සටහන් වූ බව ඉන්දීය ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු රවී ශාස්ත්‍රී පවසා සිටිනවා.

මේ වන විට කලව ප්‍රදේශයේ ආබාධයකින් සුවය ලබන රෝහිත් ඕස්ට්‍රේලියාවේ සංචාරයට කරන ඉන්දීය සංචිතයට ඇතුළත් කර තිබුණේ නැහැ. කෙසේ වෙතත් එම සංචිතය නිවේදනය කරන දින ඔහු Mumbai Indians වෙනුවෙන් පුහුණු සැසියකට සහභාගී වන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංචරණය වීම කාගේත් අවධානයට යොමු වුනා. 

ශාස්ත්‍රී පවසා සිටියේ ඔහුව කණ්ඩායමට ඇතුළත් කර නොගන්නට තේරීම් කමිටුව තීරණය කළේ ඔහුගේ වෛද්‍ය වාර්තා විමසා බැලීමෙන් පසුව බවයි.

“වෛද්‍යවරුන් තමා ඒ වාර්තාව විමසා බැලුවේ. අපි එකට සම්බන්ධ වුනේ නැහැ. ඔවුන් ලබා දුන් වාර්තාව අනුව තමා තේරීම් කමිටුව තීරණ ගත්තේ.”

“මට ඒ පිළිබඳව කිසිම වගකීමක් නැහැ. මම තේරීම් කමිටුවේ නැහැ. මම දන්න එකම දෙය තමා වෛද්‍ය වාර්තාවල තිබුණා කියලා ඔහු පරිස්සම් වුනේ නැත්නම් යළිත් ආබාධයකට ලක් වෙන්න පුළුවන් කියලා” ශාස්ත්‍රී පවසා සිටියා.

ඉන්දියානු කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයට විස්සයි විස්ස තරග තුනක්, එක්දින තරග තුනක් හා ටෙස්ට් තරග හතරක් ඇතුළත්. තරගාවලිය නොවැම්බර් 27 වැනිදා ආරම්භ වීමට නියමිතයි. ශාස්ත්‍රී තවදුරටත් පවසා සිටියේ ඔහු කළ වැරැද්දම රෝහිත් කරනවා දැකීමට තමන් අකමැති බවයි.

තවත් ක්‍රිකට් පුවත්:

“ආබාධයන්ට ලක්වෙනවා තරම් ක්‍රීඩකයෙක්ගේ බලාපොරොත්තු කඩ වෙන දෙයක් තවත් නැහැ. සමහර වෙලාවට ඔබට හිතෙනවා කාමරෙන් එළියට ගිහිල්ලා සෙල්ලම් කරලා බලන්න ඔබට කෙතරම් ඉක්මනින් යලි ආපසු එන්න පුළුවන් කියලා.”

“ක්‍රීඩකයෙක් විදියට මමත් මේ දෙයට මුහුණ දීලා තිබෙනවා. මම මගේ ක්‍රීඩා දිවිය 1991 දී හමාර කළා මොකද ඕස්ට්‍රේලියානු සංචාරය නොයා ඉන්න තිබූ වෙලාවක එහි ගිය නිසා. මම මාස තුන හතරක් විවේකයක් ගත්තා නම් මට තවත් අවුරුදු පහක් විතර ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන්නට තිබුණා.”

“මම කතා කරන්නේ අත්දැකීම් එක්කයි. මේකත් ඒ වගේම අවස්ථාවක්. මට යන්නට අවශ්‍ය වුනා. නමුත් වෛද්‍යවරු මට යන්න එපා කිව්වේ නැහැ. මම හොඳින් ලකුණු රැස් කරමින් සිටියේ. මට යන්නම ඕනේ වුනා. මම හිතනවා රෝහිත්ගේ වගේම ඉශාන්ත් ශර්මාගේ ආබාධයත් එතරම් ලොකු ආබාධයන් නෙවෙයි කියලා.”

Delhi Capitals වෙනුවෙන් ක්‍රීඩා කරනා ඉශාන්ත් ශර්මා IPL තරගාවලිය අතර මැද ආබාධයකට ලක් වුනා. ශාස්ත්‍රී පවසා සිටියේ රෝහිත් හා ඉශාන්ත් නොමැති වීම ඉන්දීය කණ්ඩායමට ලොකු පාඩුවක් වනු ඇති බවයි.

“රෝහිත් හා ඉශාන්ත් දෙදෙනාම නැති අඩුව ඕස්ට්‍රේලියාවේ දී දැනෙයි. ඔවුන් දෙදෙනා නැති පාඩුව නවසීලන්තයේ දී ද දැනුණා. අවසන් වතාවට ඕස්ට්‍රේලියාවේ දී ජයග්‍රහණයක් වාර්තා කරද්දී ඉශාන්ත් ලොකු සේවයක් ලබා දුන්නා වගේම දකුණු අප්‍රිකාවට එරෙහිව පසුගිය වසරේ දී රෝහිත් හොඳින් ලකුණු රැස් කළා.”

Hindustan Times ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <