සගයින් ගැන සිතා තමිම් ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් වෙයි

520

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වීමට නියමිත බංග්ලාදේශ සංචිතයෙන් ඉවත් වෙන්නට 32 හැවිරිදි වමත් බංග්ලාදේශ පිතිකරු Tamim Iqbal තීරණය කර තිබෙනවා. 

ඔහු ඊට හේතු ලෙස දක්වා තිබුණේ පසුගිය කාලයේ තමා සංචිතයේ නොසිටි අවස්ථාවල දී කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන් සහ අඛණ්ඩව කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ගැන සිතා මෙම තීරණය ගත් බවයි. 

සිය නිල Facebook ගිණුමේ වීඩියෝ සටහනක් තබමින් ඔහු මේ තීරණය පිළිබඳව ක්‍රිකට්ලෝලීන්ට පවසා සිටි අතර ඊට පෙර බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති Nazmul Hassan සහ තේරීම් කමිටු ප්‍රධානි Minhajul Abedin වෙත ඔහු සිය තීරණය දැනුම් දී තිබුණා. 

කෙසේ නමුත් ඔහු විස්සයි විස්ස ආකෘතියෙන් විශ්‍රාම නොගන්නා බව ද පවසා තිබුණා. 

මට පැහැදිලිව කියන්න අවශ්‍යයි මම විශ්‍රාම ගන්නේ නැහැ කියලා, නමුත් මම ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරන එකක් නැහැ. මම හිතනවා ඒක සාධාරණ තීරණයක් කියලා. ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන තරුණ ක්‍රීඩකයින් සඳහා මේ අවස්ථාව ලබා දිය යුතුයි. ඔවුන්ගේ සූදානම මගේ සූදානමට වඩා ගොඩක් හොඳයි. ඔවුන් කණ්ඩායම වෙනුවෙන් තම උපරිමය ලබා දේවි, යැයි ඉක්බාල් පවසා තිබුණා.

කෙසේ නමුත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ තමන්ට වඩා විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතයේ ස්ථානයක් හිමි විය යුතු ක්‍රීඩකයින් සංචිතය තුල සිටින බවත්, පසුගිය කාලය පුරාවට ඔහු සංචිතයෙන් ඉවත්ව සිටි අවස්ථාවල දී කණ්ඩායම වෙනුවෙන් වෙහෙස මහන්සි වී ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ට තමන් ලෝක කුසලානය සඳහා සහභාගී වීම අසාධාරණයක් විය හැකි යැයි තමන්ට සිතෙන බවයි.

ඉක්බාල් සංචිතයේ නොසිටි අවස්ථාවල දී Soumya Sarkar සහ Mohammad Naim ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියා. ඊට අමතරව Liton Das සහ Mahedi Hasan ද ආරම්භක පිතිකරණ භූමිකාවට සාර්ථකත්වයක් එකතු කර හැකි ක්‍රීඩකයින් වනවා. 

කෙසේ නමුත් බංග්ලාදේශය තවමත් විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන සංචිතය නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති අතර මේ ක්‍රීඩකයින් 4 දෙනා එම සංචිතයට ඇතුළත් වීමට විශාල ඉඩකඩක් පවතිනවා.

බංග්ලාදේශ විස්සයි විස්ස සංචිතයේ නිත්‍ය සාමාජිකයෙකු වූ ඉක්බාල් මේ වසරේ මාර්තු මාසයේ දී පැවති නවසීලන්ත විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වූයේ නැහැ. ඒ සමඟින් ඔහු විස්සයි විස්ස ආකෘතියෙන් විශ්‍රාම ගන්නට සූදානම් වන බවට රාවයක් පැතිර ගියත්, ඉක්බාල් පවසා සිටියේ තමන් එලෙස විශ්‍රාම නොයන බවයි. 

ඔහුට නවසීලන්ත විස්සයි විස්ස තරගාවලිය මෙන්ම ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරගාවලිය ද මග හැරී ගියේ දනහිස ආශ්‍රිතව ඇති වූ ආබාධ තත්වයක් නිසාවෙනි. 

ඉක්බාල් බංග්ලාදේශ වෙනුවෙන් අන්තර්ජාතික විස්සයි විස්ස තරග 74ක් සඳහා සිය දායකත්වය ලබා දී තිබෙනවා. එහි දී ඔහු විසින් ශතකයක් සහ අර්ධ ශතක 8ක් රැස්කරගෙන තිබෙනවා. 

Cricinfo ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<