වොලිබෝල් කනිෂ්ඨයෝ මියන්මාරයට

759
Sri Lanka Volleyball Team

මියන්මාරයේ දී ආරම්භ වීමට නියමිත ‘තුන්වැනි ආසියානු 23න් පහළ වොලිබෝල් තරගාවලිය’ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා 23න් පහළ වොලිබෝල් කණ්ඩායම මේ මස  31 වැනිදා (බදාදා) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

හොංකොං ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකාව පසුබසී

2019 ආසියානු කාන්තා වයස අවුරුදු 23න් පහළ …..

මෙවර පැවැත්වෙන්නේ ඉතිහාසයේ තුන්වැනි 23න් පහළ තරගාවලියයි. මෙම තරගාවලිය හඳුන්වා දීමට ප්‍රථම පැවතියේ 18න් පහළ සහ 20න් පහළ ආසියානු තරගාවලි ද්විත්වයක් පමණි. 23න් පහළ තරගාවලිය හඳුන්වා දීමත් සමඟ වයස 20 සීමාවේ සහ ඉන් ඉහළ වයස් සීමාවල ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටමේ දී ක්‍රියාකාරී වීමට ඉඩ ලැබී ඇත. එය ශ්‍රී ලංකාවට විශේෂයෙන් බලපාන හේතු කිහිපයක් පවතී. 

මීට පෙර 2015 සහ 2017 වසරවල දී මෙම තරගාවලි දෙකක් පවත්වා ඇති අතර ඉන් ශ්‍රී ලංකාව සහභාගී වී ඇත්තේ 2017 ආසියානු 23න් පහළ වොලිබෝල් තරගාවලියට පමණි. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම රටවල් 11ක් අතරින් 10 වැනි ස්ථානයට පත්විය. මෙවර කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන තරගාවලියේ දී “A” කාණ්ඩයෙන් තරග වැදීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත. එහි දී සත්කාරක මියන්මාරය ඇතුළු ඔස්ට්‍රේලියාව සහ හොංකොං කණ්ඩායම් “A” කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සමඟ තරග වදිනු ඇත. 

කණ්ඩායම සහ පුහුණුකරුවන්

ශ්‍රී ලංකා කනිෂ්ඨ පිරිමි කණ්ඩායමේ ෂෙහාන් ලක්ෂිත බණ්ඩාර නායකත්වය දරණු ලබයි. කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්න ජයසේකර, සහාය පුහුණුකරු ලෙස චමින්ද කුමාර ජයරත්න සහ අභ්‍යාසක ලෙස නිශාන් ඉන්දික කටයුතු කරනු ලබයි. 

මෙවර සංචිතයේ කෙටිපන්දු ප්‍රහාරකයන් සිව්දෙනෙකුට ඉඩ ලැබී ඇති අතර උසපන්දු ප්‍රහාරකයන් පස්දෙනෙකු ක්‍රීඩා කරනු ලබයි. තවද පන්දු සකසන්නන් දෙදෙනෙකු සහ එක ලිබරෝ ක්‍රීඩකයෙකු ඇතුළත් වේ.

මෙවර සංචිතයේ සිටින ක්‍රීඩකයන් අතර ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනෙකු සිටින අතර එම ක්‍රීඩකයන් වන්නේ කණ්ඩායම් නායක ශෙහාන් ලක්ෂිත සහ සංක දිල්ෂාන් ය. 

MAS ලෙශලයින් කණ්ඩායම නියෝජනය කරමින් විනෝද් මදුරංග, රෙහාන් මදුශංක, නුවන් තාරක සහ ගයාන් මදුශංක තරගාවලියට සහභාගී වෙයි. ටීජේ ලංකා කණ්ඩායම නියෝජනය කරමින් කවිඳු පබසර මෙම සංචිතයට ඇතුලත්ව ඇත.

නාත්තන්ඩිය එක්සත් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරගකරුවන් තිදෙනෙකු සහභාගී වන අතර එම ක්‍රීඩකයන් වන්නේ අවිශ්ක කෞෂාල්, අශේන් දනුෂ්ක, අචිර සේනානායක ය. 

තවද පාසල් මට්ටමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු ද මෙම සංචිතයට ඇතුලත්ව ඇති අතර ඔවුන් දෙදෙනාම වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය නියෝජනය කරනු ලබයි. එම ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ තරුෂ චමත් සහ ෂෙහාන් මදුශංක ය.

මෙම තරගාවලිය අගෝස්තු මස 03 වැනිදා සිට අගෝස්තු 11 වැනිදා දක්වා මියන්මාරයේ නයිපෙතෝ නගරයේ දී පැවැත්වෙන අතර තරගාවලියේ  සියලු තරග තොරතුරු, ඡායාරූප, තරග විස්තර ThePapare.com වෙතින් ඔබ වෙත ගෙන ඒමට සූදානම්.

ශ්‍රී ලංකා සංචිතය 

ශෙහාන් ලක්ෂිත (ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය), සංක දිල්ෂාන් (ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය), විනෝද් මදුරංග (MAS ලෙශලයින්), රෙහාන් මදුශංක (MAS ලෙශලයින්), නුවන් තාරක (MAS ලෙශලයින්), ගයාන් මදුශංක (MAS ලෙශලයින්), කවිඳු පබසර (ටීජේ ලංකා), අවිශ්ක කෞෂාල් (නාත්තන්ඩිය එක්සත් ක්‍රීඩා සමාජය), අශේන් දනුෂ්ක (නාත්තන්ඩිය එක්සත් ක්‍රීඩා සමාජය), අචිර සේනානායක (නාත්තන්ඩිය එක්සත් ක්‍රීඩා සමාජය), තරුෂ චමත් (සාන්ත ජෝසප් වාස්  විද්‍යාලය), ෂෙහාන් මදුශංක (සාන්ත ජෝසප් වාස් විද්‍යාලය)

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තරග  කාලසටහන

  • 2019 අගෝස්තු 03 – ඕස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව – ප.ව. 5.30
  • 2019 අගෝස්තු 04 – මියන්මාරය – ශ්‍රී ලංකාව – ප.ව. 12.30
  • 2019 අගෝස්තු 05 – හොංකොං – ශ්‍රී ලංකාව – පෙ.ව. 10.00

*තරග පැවැත්වෙන කාලය ශ්‍රී ලංකාවේ වේලාවෙන් දක්වා ඇත.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<