තවත් ICC තරගාවලි දෙකක් අත්හිටුවා දමයි; පිලිපීනය ඉදිරියට

නැගෙනහිර ආසියා පැසිෆික් සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය

868

ජපානයේ දී සහ සැමෝවා හිදී පැවැත්වීමට නියමිතව තිබූ 2021 පිරිමි සහ කාන්තා නැගෙනහිර ආසියා පැසිෆික් සුදුසුකම් ලබාගැනීමේ තරගාවලි (2021 ICC Men’s/Women’s T20 World Cup EAP Qualifier) දෙක අත්හිටුවා දැමීමට තීරණය කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (01) නිල වශයෙන් නිවේදනය කළා. ඒ ගෝලීය ලෙස පවතින කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගෙනයි. 

මේ සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය හරහා ඉදිරියට පැමිණෙන කණ්ඩායම් සඳහා 2022 වසරේ දී පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන පිරිමි ක්‍රිකට් තරගාවලිය සහ 2023 වසරේ පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට නියෝජනය කිරීමට වරම් හිමි කරගැනීමට අවස්ථාව තිබෙනවා. 

නැගෙනහිර ආසියා පැසිෆික් සුදුසුකම් ලබාගැනීමේ පිරිමි තරගාවලිය සඳහා සත්කාරකත්වය දැරීමට සිටි ජපානයට අමතරව, Cook Islands, ෆීජි, ඉන්දුනීසියාව, පිලිපීනය, සැමෝවා, දකුණු කොරියාව සහ වනාටු යන රටවල් එහි දී තරග වැදීමට නියමිතව සිටියා. එසේම එහි කාන්තා තරගාවලිය සඳහා සත්කාරක සැමෝවා රාජ්‍යට අමතරව ජපානය, Cook Islands, ෆීජි, ඉන්දුනීසියාව, පිලිපීනය, පැපුවා නිව් ගිනියා සහ වනාටු යන කණ්ඩායම් තරග කිරීමට නියමිතව සිටියා. 

පිරිමි තරගාවලිය සැප්තැම්බර් මස 03-08 කාලවකවානුව තුළ පැවැත්වීමට නියමිතව තිබූ අතර මෙහි කාන්තා තරගාවලිය ඔක්තෝම්බර් මස 11-16 කාලය තුළ පැවැත්වීමට නියමිතව තිබුනා. කෙසේ වෙතත් මේ තරගාවලි දෙකම අත්හිටුවීම නිසා පිලිපීන පිරිමි ක්‍රිකට් කණ්ඩායම, 2022 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසකම් ලබාගැනීම සඳහා පැවැත්වෙන Global Qualifiers තරග වටය සඳහා නැගෙනහිර ආසියා පැසිෆික් කලාපය නියෝජනය කරමින් නිතරගයෙන්ම තේරී පත්වුනා. ඒ ශ්‍රේණිගත කිරීම් වල දී ඔවුන් ලබාගෙන සිටි ප්‍රගතිය නිසයි.

කෙසේ නමුත්, කාන්තා අංශයෙන් ඉදිරියට යන කණ්ඩායම තෝරාගැනීම සඳහා 2021 වසරේ නොවැම්බර් 30 දක්වා කල් තිබෙන අතර ඒ දිනය අවසානයේ දී නැගෙනහිර ආසියා පැසිෆික් සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් 8 අතුරින් ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන්ම සිටින කාන්තා ක්‍රිකට් කණ්ඩායමට, එහි මීළඟ  සුදුසකම් ලබාගැනීමේ තරග වටය (Global Qualifiers) නියෝජනය කිරීමේ අවස්ථාව උදාවනු ඇත. 

එසේම මේ පවතින කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය නිසා තවත් ICC සුදුසුකම් ලබාගැනීමේ තරගාවලි කිහිපයකම දින වෙනස් කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සැලසුම් කරමින් සිටින බවද වාර්තා වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<