ක්‍රීඩාවෙන් සමුගන්නා වේගපන්දුවේ දඩබ්බරයා

301

දකුණු අප්‍රිකානු ප්‍රබල වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන Dale Steyn ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව අද (31) නිවේදනය කළා.

Courtney Walsh, Curtly Ambroseගෙන් ආරම්භ වන වේගපන්දු ඉතිහාසය අලුත් කිරීමට පසුකාලීනව බිහි වූ Wasim Akram, Glenn McGrath වැනි ක්‍රීඩකයන් සමත් වුනා. ඉන් අනතුරුව නූතන ක්‍රිකට් ක්‍රීඩාව තුළ නම ඇසූ පමණින් පිතිකරුවන් සලිත වන වේගපන්දු යවන්නන් සිටින්නේ අතලොස්සක්. ඉන් ප්‍රධානතම තැනක් Dale Steynට හිමිවනවා. 

1983 වසරේ දී දකුණු අප්‍රිකාවේ උපත ලබන Dale Willem Steyn ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන්නේ 2004 වසරේ දීයි. ඉන් වසර 16කට පසු අද ඔහු සිය නිල Twitter ගිණුමේ සටහනක් තබමින් සිය සමුගැනීම නිල වශයෙන් නිවේදනය කළා.

“අද මම වැඩිපුරම ආදරය කරන ක්‍රීඩාවෙන් නිල වශයෙන් සමුගන්නවා. කටුකයි නමුත් ස්තූතියි”, ඔහු එහි සටහන් කර තිබුණා. 

“මෙය වසර විස්සක ගමනක්. පුහුණුවීම්, සංචාර, ජයග්‍රහණ, පරාජයන්, පැලැස්තර ඇලවූ කකුල්, විනෝදය සහ සහෝදරත්වය. කියන්න ගොඩක් මතකයන් තියනවා.”

“හැමෝටම ස්තූතියි. පවුලේ අයගේ ඉඳන් මගේ කණ්ඩායමේ ක්‍රීඩකයන් දක්වා, මාධ්‍යවේදීන්ගේ ඉඳන් ප්‍රේක්ෂකයන් දක්වා හැමෝටම ස්තුතියි. මේක ලොකු ගමනක්.”

Dale Steyn 2019 වසරේ දී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් අතර ඉන් අනතුරුව ඔහු එක්දින සහ විස්සයි විස්ස තරග සඳහා ක්‍රීඩා කළා. කෙසේ වෙතත් අවසන් කාලය තුළ ඇතිවූ ආබාධ නිසා ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ යම් යම් පසුබෑම් ඇතිව තිබුණා. 

Steyn අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් සඳහා ක්‍රීඩා කළේ 2020 වසරේ පෙබරවාරි මාසයේ දීයි. 2016 වසරේ නොවැම්බර් මාසයේ දී පැවති ඕස්ට්‍රේලියානු සංචාරයක් අතරතුර සිදු වූ උරහිසේ ආබාධයක් නිසා ඔහුගේ ක්‍රිකට් අනාගතය දැඩි බලපෑමකට ලක්වූ අතර මාස කීපයක් ක්‍රීඩාවෙන් ඈත්ව සිටිමට ද සිදු වුනා.

2019 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන දකුණු අප්‍රිකානු සංචිතය සඳහා Dale Steyn ඇතුළත්ව සිටි නමුත් ඔහුගේ උරහිසේ ආබාධය නැවත මතුවීම නිසා කිසිදු තරගයක් ක්‍රීඩා නොකර තරගාවලියෙන් ඉවත් වීමට ඔහුට සිදු වුනා. 

කෙසේ වෙතත් ඔහු 2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටිය ද තරගාවලිය අවලංගු වීම ඔහුගේ සියලු බලාපොරොත්තු බිඳ දැමීමට සමත්ව තිබුණා. 

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්වීමෙන් අනතුරුව Dale Steyn ලීග් තරගාවලි කීපයකට සහභාගී වුනා. පසුගිය මාර්තු මාසයේ දී පැවති පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය සඳහා ද ඔහු ක්‍රීඩා කළා. පසුගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සහභාගී නොවීමට ඔහු ගත් තීරණයෙන් අනතුරුව ඔහු විශ්‍රාම යනු ඇති බවට බොහෝ දෙනා මත පළකර තිබුණ ද, Steyn ඒවා ප්‍රතික්ෂේප කර තිබුණා. 2020 වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ද Dale Steyn කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වුනා. 

වසර 16ක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාව තුල නොමැකෙන නාමයක් සටහන් කළ Dale Steyn අද සිය ක්‍රිකට් දිවියට සමුදුන්නා. 

ඔහුගේ ක්‍රිකට් දිවියේ සාර්ථකම වසර ලෙස 2007-08 සටහන් වූ අතර එහි දී ඔහු 16.24ක සාමාන්‍යයක් රඳවා ගෙන කඩුලු 78ක් දවා ගැනීමට සමත් වුනා. එම වසර තුළ ඔහු දැක්වූ දක්ෂතා නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් පිරිනමන වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සම්මානය ද දිනා ගැනීමට ඔහු සමත් වුනා. 

2013 වසරේ දී Wisden Cricketer of the Year ලෙසින් සම්මානයට පාත්‍ර වූ ඔහු එම වසරේ දී ම Wisden Leading Cricketer of the Year ලෙස ද නම් කෙරුණා. ඉන් නොනැවතුනු ඔහු 2019 වසරේ දී Wisden විසින් නම් කළ දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ටද එක්වුනා. පසුගිය වසරේ දී නිවේදනය කළ ICC දශකයේ ටෙස්ට් කණ්ඩායමේ ද අසුනක් ඔහුට හිමිවුනේ ඔහුගේ ප්‍රබලත්වයට සාක්ෂි සපයමින්.

සිය ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් තරග 93ක්, එක්දින තරග 125ක් සහ විස්සයි විස්ස තරග 47ක් ක්‍රීඩා කළ Dale Steyn එහි දී ටෙස්ට් කඩුලු 439ක්, එක්දින කඩුලු 196ක් සහ විස්සයි විස්ස කඩුලු 64ක් සිය නම ඉදිරියේ සටහන් කර ගැනීමට සමත් වුනා. 

Counting Crows සංගීත කණ්ඩායමේ ජනප්‍රිය ගීතයක් වන A long December ගීතයේ කොටසක් ද Dale Steyn සිය සමුගැනීමේ සටහනට එක්කර තිබුණා.

“And it’s been a long December and there’s reason to believe

Maybe this year will be better than the last

I can’t remember all the times I tried to tell my myself

To hold on to these moments as they pass”

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ වෙබ් අඩවිය ඇසුරිනි 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<