ඇෆ්ගනිස්ථානය තලේබාන් අවසරය මත ඕස්ට්‍රේලියාවට

220

ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගයකට සහභාගී වීම සඳහා තලේබාන් පාලකයන් විසින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමට අවසර ලබා දී ඇති බව වාර්තා වෙනවා. 

තලේබාන්වරුන් විසින් ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමෙන් පසුව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන පළමු ටෙස්ට් තරගාවලිය ද වන්නේ මෙයයි.

තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරි Hamid Shinwari ප්‍රකාශ කර සිටියේ ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා කණ්ඩායම පිටත් කිරීමට ඔවුන්ට අවසර හිමි වූ බවයි.

2001 වසරේ තලේබාන්වරුන්ගේ පළමු නැගී සිටීමෙන් පසු ඔවුන් ක්‍රීඩා ඇතුළු විනෝදාත්මක අංග රැසක් තහනම් කිරීමට කටයුතු කළ අතර ක්‍රීඩාංගණ පොදු කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කරන ලදි.

නමුත් මෙවර මෙම කණ්ඩායම තුළින් ක්‍රිකට් ක්‍රීඩාවට එතරම් විරෝධයක් පැන නොනැගැණු අතර ඔවුන්ගේ බොහෝ සාමාජිකයන් ක්‍රිකට් ක්‍රීඩාවට මහත් ඇල්මක් දක්වන බව අවස්ථා ගණනක දී ප්‍රකාශ කර තිබුණා.

තවද එරට පාලනය ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් විසින් මින් පෙර පැනවූ නීතිරීති එලෙසම ක්‍රියාත්මක නොකර ඒවා ලිහිල් කරමින් පාලන කටයුතු කරගෙන යෑමට ඔවුන් කටයුතු කරන බව ද තලේබාන් පාලකයන් ප්‍රකාශ කළා.

මෙම ටෙස්ට් තරගාවලිය ඇෆ්ගනිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගාවලිය වන අතර එය නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් පළමු වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

කෙසේ නමුත් මෙම ටෙස්ට් තරගාවලියට පෙර ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ද සහභාගී වනු ඇත.

මීට අමතරව ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ඔක්තෝබර් මාසය අවසානයේ දී බංග්ලාදේශයේ තරග සංචාරයක නිරත වීමට නියමිත බව ද Hamid Shinwari තහවුරු කර තිබුණා.

ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීමෙන් පසු තලේබාන්වරුන් එරට බලය අල්ලා ගැනීමට කටයුතු කළ අතර ඉන්පසු එරට ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා පිළිබඳව ප්‍රශ්නාර්තයක් මතු වුනා.

නමුත් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා තලේබාන්වරුන්ගේ සහයෝගය නිසැකව හිමි වන බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පසුව ප්‍රකාශ කළ අතර ඇෆ්ගනිස්තාන හිටපු ක්‍රීඩකයන් හා තලේබාන් නායකයන් අතර හමුවක් ද පසුව පැවැත්වුනා.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය අතර එක්දින තරගාවලියක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් ප්‍රවාහන ගැටලු සහ කොරෝනා තර්ජනය නිසා එය ලබන වසර තෙක් කල් දැමීමට කටයුතු කළා.

Times of India ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<