“උපරිමයෙන් ක්‍රීඩා කරන්න ශ්‍රී ලංකාව සූදානම්” – පුහුණුකරු

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2023

346

ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම උපරිමයෙන් කැප වී ක්‍රීඩා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු Chris Silverwood ප්‍රකාශ කර සිටිනවා.

තරග දෙකකින් යුත් නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ දී දස්කම් දක්වමින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට සැමරීමට දෙයක් ලබා දීමට කැප වෙන බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණා.

ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ ඕස්ට්‍රේලියාවට සහ ඉන්දියාවට පමණක් දෙවැනි වෙමින් තෙවැනි ස්ථානයේ පසු වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම් නවසීලන්ත තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සිදු වෙනවා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුදුසුකම් ලබා ගැනීම ඉන්දීය කණ්ඩායම මත පවතින අතර ඔවුන් ඕස්ට්‍රේලියාවට එරෙහි අවසන් ටෙස්ට් තරගය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වෙනවා.

නවසීලන්ත තරගාවලියේ අද (04) ආරම්භ වූ පුහුණු තරගයට පෙර අදහස් දක්වමින් Silverwood ප්‍රකාශ කළේ,

“ශ්‍රී ලංකාව ඉතාමත් අමාරු කාලයක් පසු කරමින් ඉන්නේ. ඒත් අපි දන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරනකොට ඔවුන් ඉතා උද්යෝගයෙන් ඒක සමරනවා කියලා. කණ්ඩායම ඒක හොඳටම දන්නවා වගේම ඒක ගොඩක් බැරෑරුම් ව අරගෙන තියෙන්නේ. ඒ නිසා ඔවුන්ට සිනහවක් දෙන්න ඔවුන් පුළුවන් හැමදේම කරයි.

ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන එක විශ්වාස කරන්න බැරි දෙයක්. ඒ වගේම ඉතාමත් හොඳ නවසීලන්ත කණ්ඩායමක් එක්කයි අපි තරග කරන්නේ. ඒ නිසා අපිට කැපවීමෙන් වැඩ කරලා ඒ දේ ලබාගන්න වෙනවා.”

ශ්‍රී ලංකාව 1948 වසරින් පසු මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටින අතර විදෙස් සංචිත අවම වීම සහ වෙනත් බොහෝ ගැටලු නිසා ජනතාව දැඩි පීඩාවට පත්වයි සිටින්නේ.

නවසීලන්තයේ සංචාරය කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම සති අන්තයේ පුහුණු තරගයකට සහභාගී වන අතර නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගය මාර්තු 09 (බ්‍රහස්පතින්දා) වැනිදා ආරම්භ වීමට නියමිතයි.

“අපි පළමු ටෙස්ට් තරගයට ඉතාමත් හොඳින් සූදානම් වෙන්න උත්සහ කරනවා. අපිට තරගයට පෙර පිතිකරුවන් හොඳ රිද්මයකට ගෙන ඒමට සහ පන්දු යවන්නන් මේ තණතීරුවලට හුරු කර ගන්න අවශ්‍යයි,” යැයි Silverwood ප්‍රකාශ කළා.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<