Home Sinhala විශේෂ ජර්සියකින් සැරසී ආ වනිඳු ගාල්ල ආක්‍රමණය කරයි!

විශේෂ ජර්සියකින් සැරසී ආ වනිඳු ගාල්ල ආක්‍රමණය කරයි!

LPL 2023

4830
LPL 2023

2023 LPL තරගාවලියේ 12 වැනි තරගය ලෙස B-Love Kandy සහ Galle Titans කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයෙන් ලකුණු 89ක පහසු ජයග්‍රහණයක් අත් කර ගැනීමට B-Love Kandy කණ්ඩායම අද (08) සමත් වුනා.

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද සවස ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගාල්ල නායක දසුන් ශානක විසින් පළමුව පන්දුවට පහර දීමේ අභියෝගය B-Love Kandy කණ්ඩායමට ලබා දුන්නා.

B-Love Kandy ආරම්භයේ වෙනසක්

පාකිස්තාන නවක පිතිකරු Mohommad Haris විසින් මෙම තරගයේ දී LPL වරම් දිනා ගනිමින් Fakhar Zaman සමඟින් B-Love Kandy ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසුණා.

නමුත් Haris හට බලාපොරොත්තු වූ තරම් යමක් පිතිකරණයෙන් සිදු කිරීමට හැකියාව ලැබුණේ නැහැ. ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 26ක් වන විට Harisව ලකුණු 17ක් ලබා සිටිය දී දවා ගැනීමට Richard Ngarava විසින් සමත් වුනා.

කෙසේ වෙතත් එතැන් පටන් Zamanගේ සහයට පිටියේ එක් වූ දිනේශ් චන්දිමාල් Kandy ඉනිමට වේගවත් ආරම්භයක් ලබා ගැනීමට සහය ලබා දුන්නා.

මෙහි දී චන්දිමාල් විසින් පන්දු 17කින් ලකුණු 25ක් ලබා ගැනීමට සමත් වූ අතර, අනෙක් පසින් Fakhar Zaman විසින් පන්දු 35කින් ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වුනා. නමුත් ඉනිමේ 13 වැනි පන්දුවාරයේ පළමු පන්දුව වන විට ඔවුන් දෙදෙනා ම පිටියෙන් ඉවත් කර ගැනීමට Titans පන්දු යවන්නන් සමත් වූ අතර ඉන්පසුව Kandy වෙනුවෙන් පිටියේ එක් වුනේ ඇන්ජලෝ මැතිව්ස් සහ වනිඳු හසරංග යුගලයයි.

නව අංකයක් සමඟ පැමිණි වනිඳුගෙන් ගිනිකෙලි

B-Love Kandy විසින් ක්‍රීඩා කළ පසුගිය තරගයේ දී (Jaffna Kings සමඟ) සිය විස්සයි විස්ස කඩුලු 200 සීමාව පසු කර යෑමට හැකි වීම සැමරීම වෙනුවෙන් Kandy නායක වනිඳු හසරංග අද දිනයේ අංක 200 ඉලක්කමෙන් සැරසුණු ජර්සියක් ඇඟලා ගෙන පිටියට පිවිසුණා.

එසේ පිටියට අවතීර්ණ වූ වනිඳු මැතිව්ස් සමඟින් එක්ව B-Love Kandy ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38කින් ලකුණු 87ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනේ මෙවර තරගාවලියේ කණ්ඩායමක් විසින් ලකුණු 200 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව සනිටුහන් කිරීමේ ඉඩ ප්‍රස්ථාව B-Love Kandy වෙත විවර කර දෙමිනුයි.

මෙහි දී මැතිව්ස් විසින් පන්දු 23කින් ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වූ අතර අනෙක් පසින් වනිඳු හසරංග මෙවර තරගාවලියේ සිය දෙවැනි අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 27කින් ලකුණු 67ක් ලබා ගැනීමට සමත් වුනා.

හතරේ පහර 9කින් සහ හයේ පහර දෙකකින් වර්ණවත් වූ වනිඳුගේ මෙම ඉනිමේ ප්‍රහාරාත්මක වේගය සටහන් වී තිබුණේ 237.03ක් ලෙසටයි.

එමෙන්ම මීට පෙර Jaffna Kings සමඟ පැවැත්වුණු තරගයේ දී පන්දු 22කින් මෙවර LPL තරගාවලියේ වේගවත් ම අර්ධ ශතකය වාර්තා කළ වනිඳු මෙම තරගයේ දී එම වාර්තාව බිඳ හෙළීමට සමත් වුනේ පන්දු 18ක් පමණක් වැය කරමින් සිය අර්ධ ශතකය ලබා ගැනීමට සමත් වෙමිනුයි.

Kandy ඉනිම නිමා වීමට මොහොතකට පෙර වනිඳු සහ මැතිව්ස් දෙදෙනා ම නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට Titans පන්දු යවන්නන් සමත් වුනත් ඒ වන විටත් ඔවුන් දෙදෙනා ම සිය පිත්තෙන් ලබා දිය හැකි උපරිම දායකත්වය Kandy ඉනිම වෙත ලබා දී තිබුණා.

මේ අනුව නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 203ක් ලබා ගැනීමට B-Love Kandy සමත් වුනා.

මෙහි දී Galle Titans වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ ලහිරු සමරකෝන් විසින් සිය පන්දුවාර 4 තුළ ලකුණු 31කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වූ අතර, Richard Ngarava විසින් ද තම පන්දුවාර හතර තුළ ලකුණු 31කට එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුනා.

Galle Titans ඉනිමෙන් දුර්වල ආරම්භයක්

Kandy පිතිකරුවන් විසින් ලබා දුන් දැවැන්ත ඉලක්කය හඹා යාම වෙනුවෙන් Galle Titans ඉනිම ආරම්භ කිරීමට ඔවුන්ගේ සුපුරුදු ආරම්භක පිතිකරු යුගලය වන ශෙවෝන් ඩැනියෙල් සහ ලසිත් කෲස්පුල්ලේ පිටියට පිවිසි අතර කෲස්පුල්ලේ විසින් ඉනිමේ පළමු පන්දු 8 තුළ දී ලකුණු 20ක් ලබා ගනිමින් ඉනිමට වේගවත් ආරම්භයක් ලබා ගැනීමට වටිනා උත්සාහයක් දැරුවත් එතැන් පටන් Titans ඉනිමේ බිඳ වැටීම ආරම්භ වුනා.

පෙර තරගයේ Titans වෙනුවෙන් වේගවත් ඉනිමක් දියත් කළ ශෙවෝන් ඩැනියෙල්ගේ කඩුල්ල Mujeeb Ur Rahman විසින් දවා ගැනීමෙන් Titans පළමු කඩුල්ල බිඳ වැටුණු අතර ඉනිමේ 8 වැනි පන්දුවාරයේ පළමු පන්දුවට වන විට Titans කඩුලු 6ක් ලකුණු 47ක් තුළ බිඳ හෙළීමට B-Love Kandy පන්දු යවන්නන් විසින් සමත් වුනා.

සමරකෝන් ගාල්ලේ ගෞරවය රකී

වනිඳු හසරංග විසින් Titans ඉනිමේ හය වැනි කඩුල්ල ලෙස Shakib Al Hassanව දවා ගැනීමෙන් පසුව පිටියේ එක් වූ අශාන් ප්‍රියන්ජන් සහ ලහිරු සමරකෝන් විසින් දරුණු පරාජයක් කරා ඇදී ගිය ගාලු ඉනිමේ ගෞරවය බේරා දීමට සමත් වුනා.

ඔවුන් දෙදෙනා විසින් ඉනිමේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62ක වටිනා සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර මෙහි දී සමරකෝන් විසින් පන්දු 25ක් පමණක් වැය කරමින් ලකුණු 36ක් ලබා ගැනීමට සමත් වුනේ දැවැන්ත හයේ පහර හතරක් ද සිය ඉනිමට එක් කර ගනිමිනුයි.

කෙසේ වෙතත් නුවන් ප්‍රදීප් විසින් Titans ඉනිමේ හත් වැනි කඩුල්ල ලෙස සමරකෝන්ව දවා ගැනීමට සමත් වූ අතර එතැන් සිට නැවතත් ගාල්ල ඉනිමේ අවසන් කඩුලු ඉක්මනින් දැවී යාම ආරම්භ වුනා.

ඒ අනුව පන්දුවාර 16 පන්දු 4ක් තුළ Galle Titans ඉනිම ලකුණු 114කට සීමා කිරීමට B-Love Kandy පන්දු යවන්නන් විසින් සමත් වූ අතර මෙහි දී සිය පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද නැවතත් සාර්ථක වෙමින් ලකුණු 17කට කඩුලු 4ක් බිඳ හෙළීමට වනිඳු සමත් වුනා. මීට අමතරව නුවන් ප්‍රදීප් විසින් කඩුලු 3ක් සහ Mujeeb Ur Rahman විසින් කඩුලු 2ක් බැගින් දවා ගත්තා.

එමෙන්ම මෙම තරගයේ පන්දුවෙන් දැක්වූ දක්ෂතා සමඟ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා (කඩුලු 8) බවට පත් වීමට ද වනිඳු හසරංග විසින් සමත් වුනා.

තරගයේ වීරයා සම්මානය B-Love Kandy නායක වනිඳු හසරංග හට හිමි වුනා.

Result


B-Love Kandy
203/5 (20)

Galle Titans
114/10 (16.4)

Batsmen R B 4s 6s SR
Mohammad Haris c Tabraiz Shamsi b Richard Ngarava 17 14 3 0 121.43
Fakhar Zaman c Lahiru Samarakoon b Richard Ngarava 45 35 3 2 128.57
Dinesh Chandimal c Richard Ngarava b Tabraiz Shamsi 25 17 3 1 147.06
Angelo Mathews c Kasun Rajitha b Lahiru Samarakoon 40 23 3 2 173.91
Wanindu Hasaranga c Shevon Daniel b Kasun Rajitha 64 27 9 2 237.04
Asif Ali not out 2 3 0 0 66.67
Isuru Udana not out 3 2 0 0 150.00


Extras 7 (b 1 , lb 1 , nb 1, w 4, pen 0)
Total 203/5 (20 Overs, RR: 10.15)
Bowling O M R W Econ
Kasun Rajitha 4 0 42 1 10.50
Lahiru Samarakoon 4 0 31 2 7.75
Richard Ngarava 4 0 31 1 7.75
Tabraiz Shamsi 4 0 46 1 11.50
Dasun Shanaka 1 0 20 0 20.00
Shakib Al Hasan 3 0 31 0 10.33


Batsmen R B 4s 6s SR
Lasith Croospulle b Wanindu Hasaranga 27 17 3 1 158.82
Shevon Daniel lbw b Mujeeb ur Rahman 0 2 0 0 0.00
Bhanuka Rajapaksa c Angelo Mathews b Mujeeb ur Rahman 5 8 0 0 62.50
Tim Seifert c Isuru Udana b Dushmantha Chameera 1 5 0 0 20.00
Shakib Al Hasan c Fakhar Zaman b Wanindu Hasaranga 11 12 1 0 91.67
Dasun Shanaka lbw b Nuwan Pradeep  1 3 0 0 33.33
Ashan Priyanjan c Sahan Arachchige b Nuwan Pradeep  25 23 2 0 108.70
Lahiru Samarakoon b Nuwan Pradeep  36 25 1 4 144.00
Kasun Rajitha not out 2 2 0 0 100.00
Tabraiz Shamsi b Wanindu Hasaranga 0 2 0 0 0.00
Richard Ngarava c Dushmantha Chameera b Wanindu Hasaranga 0 1 0 0 0.00


Extras 6 (b 0 , lb 4 , nb 0, w 2, pen 0)
Total 114/10 (16.4 Overs, RR: 6.84)
Bowling O M R W Econ
Angelo Mathews 1 0 11 0 11.00
Mujeeb ur Rahman 4 0 26 2 6.50
Dushmantha Chameera 3 0 17 1 5.67
Wanindu Hasaranga 3.4 0 17 4 5.00
Nuwan Pradeep  3 0 21 3 7.00
Isuru Udana 2 0 18 0 9.00



මෙම තරගය ජයග්‍රහණය කිරීමට සමත් වූ B-Love Kandy කණ්ඩායම මෙවර LPL ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණීමට සමත් වූ අතර, මෙතෙක් කල් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ වැජඹෙමින් සිටි Galle Titans ලකුණු සටහනේ අවසන් ස්ථානය තෙක් ඇද වැටුණා.

එමෙන්ම මේ වන විට තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් Jaffna Kings සහ Colombo Strikers කණ්ඩායම් අතර පැවැත්වෙනවා.

එම තරගය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ද ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<