Home Sinhala ශම්සි කුණාටුව Colombo Strikers තරගාවලියෙන් ඉවතට විසි කරයි!

ශම්සි කුණාටුව Colombo Strikers තරගාවලියෙන් ඉවතට විසි කරයි!

804

සති දෙකක් මුළුල්ලේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි අදියරේ පළමු වටය ඊයේ (15) රාත්‍රියෙන් අවසන් වුනා. එහි දී Galle Titans හමුවේ ලද කඩුලු 8ක දරුණු පරාජය හමුවේ තරගාවලියෙන් සමුගෙන යාමට සිදු වුනේ Colombo Strikers කණ්ඩායමටයි.

තරගය නැරඹීමට ඊයේ රාත්‍රියේ සාපේක්ෂව වැඩි ප්‍රේක්ෂක පිරිසක් ආර්. ප්‍රේමදාස පිටියට පැමිණ සිටියේ Colombo Strikers ජයක් අපේක්ෂාවෙනුයි. නමුත් Titans ජය පතා පැමිණි රසිකයින්ගේ ඔල්වරසන් මැද කාසියේ වාසිය දිනා ගත් නායක දසුන් ශානක මුලින් පන්දු යැවීමට තීරණය කළා.

තමා ගැන කල් ගතවී තැබූ විශ්වාසය අවසන් තරග කිහිපයේ දී ම රැක දුන් ලහිරු කුමාර අදත් Strikers ඉනිම බිඳ හෙලීමට මූලිකත්වය ගත්තා. ඒ මුලින්ම පැතුම් නිස්සංකගේ මැද ඉන්නටම තම වේගපන්දුවක් ගැටෙන්නට සලස්වමින්. නැවතත් තම මීළඟ පන්දුවාරයේ දී ක්‍රියාත්මක වූ ඔහු සුපිරි පිතිකරු Babar Azamගේ කඩුල්ල බිඳ දැම්මේ Strikers ඉනිම ලකුණු 19ට කඩුලු 2ක් බවට පත් කරමින්.

මේ නිසාම ඊයේ Strikers කණ්ඩායමට පවර්ප්ලේ පන්දුවාර 6න් නිසි ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වූ අතර ඔවුන් එහි දී කඩුලු 2ක් දැවී ලබා ගත්තේ ලකුණු 33ක් පමණයි. ඉන්පසු ප්‍රතිවාදීන්ගේ මැදපෙළ බිඳ දැමීමේ වගකීම කලක් ලොව හොඳම පන්දු යවන්නා ලෙස වැජඹුනු Tabraiz Shamsi භාර ගත්තා.

ඔහු ඊට ආරම්භය ලබා ගත්තේ පසුගිය තරගයේ හොඳ ඉනිමක් ක්‍රීඩා කළ යොවුන් පිතිකරුවෙකු වන නිපුන් ධනංජයව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින්. ඉන් නොනැවතුනු ඔහු තවත් නැගී එන දකුණත් පිතිකරුවෙකු වන නුවනිඳු ප්‍රනාන්දු සහ ලහිරු උදාර යන ක්‍රීඩකයින් දෙදෙනාගේම කඩුලු 2ම බිඳ හෙලන්නේ Colombo Strikers ඉනිම වනසා දමමිනුයි.

නැවතත් ක්‍රියාත්මක වෙමින් Mohommad Nawazව පිටියෙන් ඉවත් කරන Shamsi ලකුණු 20කට කඩුලු 4ක් ලෙස තම විශිෂ්ට පන්දු යැවීම අවසන් කළා. ඛෙත්තාරාම තණතීරුව මත දී කවදත් පන්දුව දඟ කවන සීක්කුගේ ප්‍රසන්න Colombo Strikers ඉනිම ලකුණු 74කට නිමා කළේ ලකුණු 14කට කඩුලු 3ක් දවා ගනිමින්.

Colombo Strikers නායක චාමික කරුණාරත්නට සහ ඉෆ්තිකාර් අහමඩ්ට ලකුණු 5 සීමාව හෝ පසුකර යෑමට නොහැකි වීම විශේෂත්වයක්. ඉදිරි වටයට යෑමට නම් කණ්ඩායම් දෙකටම අතිශයින්ම වැදගත් වූ මෙම තරගයේ දී ඉතා උණුසුම් සටනක් අපේක්ෂාවෙන් පැමිණි ප්‍රේක්ෂකයින්ට මෙය සුබ දසුනක් වුනේ නැහැ. Strikers ඉනිම නිමා වනවිට ඔවුන්ගේ නොඉඳුල් පන්දුවාර 4ක්ම ඉතිරිව පැවතියා.

මෙවර තරගාවලියේ ඉදිරි වටයට පිවිසෙන කණ්ඩායම් 4න් මුල් දෙකට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථා 2ක් හිමිවන නිසා Titans එම වරම දිනා ගැනීමට නම් මෙම ඉලක්කය පන්දුවාර 11.1ක් තුල හඹා යාමට අවශ්‍ය වුනා. එම අභියෝගය වෙනුවෙන් පිටියට පිවිසියේ භානුක රාජපක්ෂ සමඟින් ලසිත් කෲස්පුල්ලේයි.

ඔවුන් අතරින් මේ දිනවල තරමක නිහඬතාවයක් පෙන්නුම් කරන භානුක රාජපක්ෂ ඊයේත් දෙවැනි පන්දුවාරයේ දී දැවී ගියා. ඒ පාකිස්තානු තුන් ඉරියව් ක්‍රීඩක Ifthikar Ahmed ගුවනේ පා කර යැවූ පන්දුවක් හමුවේ හමුවේ ස්ටම්ප් කිරීමකට ලක් වෙමින්.

සිව්වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ ජෙෆ්රි වැන්ඩර්සේ බංග්ලාදේශ ක්‍රීඩක Litton Dasව දවා ගත්තේ නුවනිඳු ප්‍රනාන්දු රැකගත් සුපිරි උඩපන්දුවක සහාය ඇතිවයි. මීලඟ පන්දුවේ දී ම සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan කඩුල්ල මුවා කළ බවට පිටියේ විනිසුරු අනුමත කිරීමත් සමඟින් ප්‍රේක්ෂකයින් සමබර තරගයක් වෙනුවෙන් බලාපොරොත්තු තබා ගත්ත ද, පසුව පුනරූපන මගින් පැහැදිලි වුනේ එය Shakibගේ පිත්තේ ගැටෙන බවයි.

එතැන් පටන් වාසනාව නැවතත් Galle Titans සතු වූ අතර තරගය අවසන් වන තෙක්ම ඔවුන් තවත් කඩුලු බිඳ වැටීමකින් තොරවම ජය කණුව පසුකර ගියා. ඒ ලසිත් කෲස්පුල්ලේ සහ Shakib Al Hasan අතරේ ගොඩ නැගුනු ලකුණු 56ක නොබිඳුනු සබඳතාවයේ සහයෙන්.

තම කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට ළඟා වීමට අවශ්‍ය සුදුසුකම් සපුරාලමින් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ලසිත් කෲස්පුල්ලේ ඊයේ පන්දු 25කින් ලකුණු 42ක් රැස්කළා. ඒ හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් එල්ල කරමින්. අවස්ථාවේ හැටියට සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ Shakib Al Hasan පන්දු 15කින් ලකුණු 17ක් නොදැවී ලබා ගත්තේ Colombo Strikers තරගාවලියෙන් ඉවතට ඇද දමමින්.

තරගයේ වීරයා ලෙස සුපිරි පන්දු යැවීමක යෙදුණු Tabraiz Shamsi සම්මාන හිමිකර ගත්තා. කෙසේ වෙතත් LPL සිව්වැනි අදියරේ උණුසුම රැක ගැනීම වෙනුවෙන් Colombo Strikers ලබා දුන් සටන අගය කළ යුතු අතර ඔවුන් Jaffna Kings සමඟ ප්‍රසාද ලකුණු 6 බැගින් ලබා ගනිමින් තරගාවලියෙන් සමු ගත්තේ දල ලකුණු වේගය අඩු අගයක පැවතීම නිසයි.

මේ අනුව හෙට (17) සන්ධ්‍යා කාලයේ පැවැත්වෙන Dambulla Aura සහ Galle Titans අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් තරගයේ අසුන් හිමිකර ගනිද්දී, B Love Kandy සහ Jaffna Kings කණ්ඩායම් අතර රාත්‍රියේ පැවැත්වෙන තරගයෙන් පරාජය වන කණ්ඩායම තරගාවලියෙන් ඉවත්ව යනු ඇති.

Result


Colombo Strikers
74/10 (15.4)

Galle Titans
75/2 (8.3)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka b Lahiru Kumara 2 4 0 0 50.00
Babar Azam b Lahiru Kumara 6 12 1 0 50.00
Lahiru Udara b Tabraiz Shamsi 14 16 2 0 87.50
Nipun Dhananjaya lbw b Tabraiz Shamsi 13 9 2 0 144.44
Nuwanidu Fernando b Tabraiz Shamsi 14 11 1 0 127.27
Mohammad Nawaz c Liton Das b Tabraiz Shamsi 11 15 1 0 73.33
Iftikhar Ahmed b Shakib Al Hasan 5 16 0 0 31.25
Chamika Karunaratne b Seekkuge Prasanna 2 7 0 0 28.57
Shoriful Islam b Seekkuge Prasanna 0 1 0 0 0.00
Jeffrey Vandersay  lbw b Seekkuge Prasanna 0 1 0 0 0.00
Matheesha Pathirana not out 0 2 0 0 0.00


Extras 7 (b 0 , lb 2 , nb 0, w 5, pen 0)
Total 74/10 (15.4 Overs, RR: 4.72)
Bowling O M R W Econ
Kasun Rajitha 2 0 10 0 5.00
Lahiru Kumara 2 1 9 2 4.50
Lahiru Samarakoon 1 0 11 0 11.00
Shakib Al Hasan 3.4 0 8 1 2.35
Tabraiz Shamsi 4 0 20 4 5.00
Seekkuge Prasanna 3 0 14 3 4.67


Batsmen R B 4s 6s SR
Bhanuka Rajapaksa st Lahiru Udara b Iftikhar Ahmed 6 7 1 0 85.71
Lasith Croospulle not out 42 25 4 3 168.00
Liton Das c Nuwanidu Fernando b Jeffrey Vandersay  1 4 0 0 25.00
Shakib Al Hasan not out 17 15 2 0 113.33


Extras 9 (b 0 , lb 0 , nb 0, w 9, pen 0)
Total 75/2 (8.3 Overs, RR: 8.82)
Bowling O M R W Econ
Shoriful Islam 1 0 7 0 7.00
Iftikhar Ahmed 3 0 26 1 8.67
Mohammad Nawaz 1 0 6 0 6.00
Jeffrey Vandersay  3 1 18 1 6.00
Matheesha Pathirana 0.3 0 18 0 60.00



කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා ඇත්තේ ප්‍රේමදාස පිටියේ තණතිලි ගැන කණගාටු වන බවත්, ඉදිරි තරගවල දී හෝ ප්‍රේක්ෂකයින් සතුටු වන ආකාරයේ තරගයක් දැක බලාගත හැකි තණතිලි අපේක්ෂා කරන බවයි. සුළු අතපසුවීමකින් පවා ජය පරාජය තීරණය විය හැකි LPL ඉදිරි වටයේ තරග තොරතුරු සහ ඡායාරූප එසැණින් ලබා ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<