වසර 15කට පසු යළිත් T20 කිරුළකට පෙරගමන් යන ඉන්දියානුවෝ

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022

1224
- Rediffmail

තවත් නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තරග වදින වඩාත් බලාපොරොත්තු සහගත කණ්ඩායම්වලින් එකක් ලෙස ඉන්දියානු කණ්ඩායමයි හැඳින්විය හැකි.

මේ දක්වා විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ඔවුන් එක් ශූරතාවයක් (2007) හා එක් අනුශූරතාවයක් (2014) ජයග්‍රහණය කිරීමට සමත්ව තිබෙනවා.

මෙවර ඔවුන් Group 2 යටතේ ක්‍රීඩා කිරීමට නියමිත අතර එම කාණ්ඩයට අයත් අනෙකුත් කණ්ඩායම් වන්නේ පාකිස්තානය, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය හා සුදුසුකම් ලැබීමේ වටයෙන් තේරීපත්වන කණ්ඩායම් දෙකයි.

India.com

ඉන්දියාව තරග බිමට පිවිසෙන්නේ Rohit Sharmaගේ නායකත්වය සමඟින් වන අතර උප නායකත්වය හිමිව ඇත්තේ KL Rahulටයි.

මෙම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන්නේ ද මෙම නායක – උප නායක සුසංයෝගයයි.

සුපිරි පිතිකරු Virat Kohli සුපුරුදු ලෙසින්ම අංක 3 භූමිකාවට පණ පොවනු ඇත. පසුගිය සමයේ දිගින් දිගටම අසාර්ථක වූ Kohli නැවතත් තම රිද්මය ලබා ගැනීම ඉන්දියාවට මහත් අස්වැසිල්ලක්.

සමස්තයක් වශයෙන් එදාමෙදාතුර T20I ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභීන් අතර පිළිවෙළින් අංක 1 හා අංක 2 ස්ථානවල පසුවන්නේ Rohit හා Kohli දෙදෙනායි.

CricketCountry

අංක 4 ස්ථානය හිමිව ඇත්තේ වර්තමානයේ ලොව සුපිරිතම විස්සයි විස්ස පිතිකරුවෙකු ලෙස නම් දරා සිටින Suryakumar Yadav. වත්මන් ICC විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි ලොව අංක 2 ස්ථානයේ පසුවන ඔහු පිටියේ ඕනෑම ස්ථානයක් සඳහා පහරවල් නිර්මාණය කර එල්ල කර හැකි අති ප්‍රවේගකාරී පිතිකරුවක්. මෙවර තරගාවලියේ ඔවුන්ගේ විශාලතම බලාපොරොත්තුව වන්නේ ද ඔහු ය.

කෙසේ වෙතත් කණ්ඩායමේ කඩුලු රකින්නාගේ ස්ථානය සඳහා මේ වන විට Rishabh Pant හා Dinesh Karthik දෙදෙනා අතර යම් තරගයක් නිර්මාණය වී ඇත. කණ්ඩායම් සංයුතිය අනුව ඔවුන් දෙදෙනා අතරි ක්‍රීඩා කළ හැක්කේ එක් අයෙකුට පමණි.

T20I තරග රටාවේ දී Pant කැපී පෙනෙන දක්ෂතා දක්වා නැතත් ඔහු මෙම සංයුතියේ සිටින එකම වමත් පිතිකරුවා වීම මෙහි දී ඔහුට යම් වාසියක් වනු ඇත.

අනෙක් අතට Karthik යනු තරග නිමා කරන්නෙකු වශයෙන් පසුගිය සමයේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ අත්දැකීම් බහුල පිතිකරුවෙක්.

ICC Cricket

තුන් ඉරියව් ක්‍රීඩක Hardik Pandya තම දායකත්වය ලබා දෙන්නේ අංක 5 හෝ 6 පිතිකරුවා ලෙස සහ 6 වැනි පන්දු යවන්නා වශයෙන්. ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස නම් දරා සිටින Pandyaට පිතිකරුවෙකු ලෙස ඉනිමේ අග භාගයේ දී ලකුණු වේගය වැඩි වැඩි කිරීමේ කාර්‍යභාරය සහ පන්දු යවන්නෙකු ලෙස ඉනිමේ මැද භාගයේ දී පන්දු යැවීමේ භූමිකාව පැවරෙනු ඇත.

සංචිතයේ සිටින අනෙකුත් එකම විශේෂඥ පිතිකරුවා වන්නේ Deepak Hooda ය. ඔහු බාග පන්දු යවන්නෙකු ලෙස පන්දුකරණයෙන් ද යම් දායකත්වයක් ලබා දිය හැකි ක්‍රීඩකයෙක්.

ඉන්දීය දඟපන්දු බලඇණිය සමන්විත වන්නේ නිමා වූ IPL තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූ Yuzvendra Chahal ය. දකුණත් පිට දඟපන්දු යවන්නෙකු වන ඔහු කණ්ඩායමේ ප්‍රධානතම දඟපන්දු යවන්නා ලෙස නිත්‍ය ස්ථානයක් දිනා ගනිමින් ක්‍රීඩා කරයි.

ඔවුන් සතු අනෙක් දඟපන්දු යවන්නන් වන්නේ වමත් Orthodox පන්දු යවන්නෙකු වන Axar Patel හා අත්දැකීම් බහුල දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක Ravichandran Ashwin දෙදෙනායි. වේගපන්දුවට හිතකර ඕස්ට්‍රේලියානු භූමියේ දී ඔවුන් දෙදෙනා අතරින් එක් අයෙකුට පමණක් ස්ථානයක් හිමි වන අතර ඉන් Axar Patelට එම ස්ථානය හිමිවීමට ඉඩ ඇත්තේ පසුගිය ඕස්ට්‍රේලියානු තරගාවලියේ දී ඔහු දැක්වූ කැපී පෙනෙන දස්කම් හේතුවෙන්. මොවුන් දෙදෙනා ම පන්දු යැවීම මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයන්.

ESPNCrricinfo

ඉන්දීය වේගපන්දු බලඇණිය සමන්විත වී ඇත්තේ අත්දැකීම් බහුල ක්‍රීඩක Bhuvneshwar Kumarගේ ප්‍රමුඛත්වයෙනි. ඔහුගේ සහයක ආරම්භක වේගපන්දු යවන්නා ලෙස Arshdeep Singh ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර තෙවැනි වේගපන්දු යවන්නා වශයෙන් කටයුතු කරන්නේ Harshal Patel ය.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඉන්දියාව මුහුණ දී ඇති අවාසිසහගතම තත්ත්වය වන්නේ ඔවුන්ගේ පමණක් නොව ලෝකයේම ප්‍රබල විස්සයි විස්ස වේගපන්දු යවන්නෙකු වශයෙන් නම් දරා සිටින Jasprit Bumrah හා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Ravindra Jadeja දෙදෙනා ම ආබාධවලට ලක්වීම හේතුවෙන් ඔවුන්ගේ සේවය කණ්ඩායමට අත්‍යාවශ්‍යම මොහොතේ අහිමි වී යාමයි.

එමෙන්ම පසුගිය ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරගයටවත් සුදුසුකම් නොලබා එම තරගාවලියෙන් ඉවත් වී යාම ඔවුන්ට මානසික වශයෙන් බලපෑ හැකි. කෙසේ නමුත් ඉන් අනතුරුව තම මව්බිමේ දී ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් සමඟ පැවති විස්සයි විස්ස තරගාවලි දෙකම 2-1 බැගින් ජය ගැනීමට හැකියාවක් ලැබීම ඔවුන්ගේ ජයග්‍රාහී රිද්මය නැවතත් ලබාගැනීමට මහත් අස්වැසිල්ලක් වනු ඇත.

කෙසේ නමුත් සමස්තයක් වශයෙන් ගත් කල 15 දෙනෙකුගෙන් සමන්විත මෙම ඉන්දීය සංචිතය මෙවර තරගාවලියේ ප්‍රබලතම ක්‍රීඩක සමූහයක් ලෙස අවිවාදයෙන් ම නම් කළ හැකි.

ඔවුන් මීට පෙර වේග තණතිලි මත දී හොඳින් ම දක්ෂතා දක්වා තිබීමත්, විවිධත්වයන් සහිත ක්‍රීඩක සමූහයක් සතුවීමත් සමඟින් ඔවුන් මෙවර තරගාවලියේ දී අනෙක් කණ්ඩායම්වලට විශාලතම තර්ජනයක් වනු බව නොඅනුමානයි.

ඉන්දීය සංචිතය: Rohit Sharma (c), KL Rahul, Virat Kohli, Suryakumar Yadav, Deepak Hooda, Rishabh Pant, Dinesh Karthik, Hardik Pandya, R Ashwin, Yuzvendra Chahal, Axar Patel, Bhuvneshwar Kumar, Harshal Patel, Arshdeep Singh.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<