වැටුණු තැනින් යළි නැඟීසිටීමට බංගලියන්ට හැකි වේවි ද?

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

9151

8 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇරඹීමට ඇත්තේ තවත් දින කිහිපයක්. ඒ සඳහා තරග වදින කණ්ඩායම් අතරින් බංග්ලාදේශය මෙවර තරගාවලියට එක්වන්නේ නවක මුහුණු රැසක් ද සමඟින්.

මෙහි දී ඔවුන් Group A ඔස්සේ තරග වැදීමට නියමිත අතර එම කාණ්ඩයට අයත් අනෙකුත් කණ්ඩායම් වන්නේ ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව හා සුදුසුකම් ලැබීමේ වටයෙන් තේරීපත්වන කණ්ඩායම් දෙකකි.

නිමා වූ ආසියානු කුසලානයේ දී පළමු වටයෙන්ම ඉවතට විසිවීමත් සමඟින් ඇති වූ පරාජීය මානසිකත්වය මඟහරවා ගනිමින් නැවතත් ජයග්‍රාහී රිද්මයට පැමිණීම මෙහි දී ඔවුන්ගේ ඒකායන අරමුණ බවට පත් වනු ඇත.

ICC Cricket

කෙසේ වෙතත් එම පරාජයන් වල ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට නම් කළ 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ වෙනස්කම් රැසක්ම සිදු කිරීමට පියවර ගෙන ඇත්තේ නව සැලසුමක් ඔස්සේ තරගාවලියට අවතීර්ණ වීමටයි.

නිමා වූ ආසියානු කුසලාන සංචිතයේ සිටි ඔවුන්ගේ නිත්‍ය මැද පෙළ පිතිකරු Mahmadullahව එම සංචිතයෙන් ඉවත් කිරීම මෙහි වඩාත් ආන්දෝලනාත්මක තීරණයක් බවට පත් වන්නේ ඔහු බංග්ලාදේශ කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයෙකු මෙන්ම හිටපු නායකයෙකු ද වන බැවින්.

ඔහුට අමතරව Parvez Hossain Emon, Anamul Haque, Mahedi Hasan or Mohammad Naim යන සිව්දෙනාට ද මෙම සංචිතයේ තම ස්ථාන අහිමිව ගොස් ඇත. ඒ පසුගිය තරගාවලිවල දී කණ්ඩායම ඔවුන්ගෙන් අපේක්ෂා කළ සේවයට සාධාරණයක් ඉටු කිරීමට ඔවුන්ට නොහැකි වූ බැවින්.

මෙම ක්‍රීඩකයන් පස් දෙනා හැරුනු කොට ආසියානු කුසලාන තරගාවලියෙන් පසු විස්සයි විස්ස තරග රටාවට සමු දුන් Mushfiqur Rahim හා මාස කිහිපයකට ඉහත දී මෙම තරග රටාවට සමු දුන් තවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වන Tamim Iqbal වැන්නන්ගේ ද සේවය අහිමි වීමත් සමඟ ඔවුන් මෙවර තරගාවලියට එක්වන්නේ අත්දැකීම් අඩු තරුණ ක්‍රීඩකයන්ගේ එකතුවක් සමඟින්.

සංචිතයෙන් ඉවත් කළ ක්‍රීඩකයන් වෙනුවට ආදේශ වී ඇත්තේ Litton Das, Yasir Ali, Nurul Hasan, Hasan Mahmud සහ Najmul Hossain Shanto 5 දෙනායි.

15 දෙනෙකුගෙන් මෙම සමන්විත විස්සයි විස්ස සංචිතයේ විශේෂඥ පිතිකරුවන් ලෙස Sabbir Rahman, Afif Hossain, Mossadek Hossain Yasir Ali හා Najmul Hossain ද, කඩුලු රකින්නන් ලෙස Litton Das හා Nurul Hasan දෙදෙනා ද ඇතුළත්ව ඇත.

Times of India

දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස නායක Shakib Al Hasan හා Mehidy Hasan Miraz කටයුතු කරනු ලබයි. ඔවුන් දෙදෙනාට අමතරව සංචිතයේ සිටින අනෙක් දඟපන්දු යවන්නා වන්නේ වමත් Orthodox පන්දු යවන්නෙකු වන Nasum Ahmed ය.

Mustafizur Rahman ප්‍රමුඛ කර ගත් ඔවුන්ගේ වේගපන්දු බලඇණියට අයත් අනෙක් වේගපන්දු යවන්නන් වන්නේ Saifuddin, Taskin Ahmed, Ebadot Hossain හා Hasan Mahmud සිව් දෙනා ය. මේ අතරින් එකම වමත් වේගපන්දු යවන්නා වන්නේ Mustafizur පමණි.

බොහෝ දුරට මේ අතරින් ආරම්භක පිතිකරුවන් බවට පත්වීමට වැඩි ඉඩකඩක් ඇත්තේ Litton Das හා Mehidy Hasan Miraz පිතිකරණ යුගලයයි. අංක 3 ස්ථානයේ Shakib Al Hasan කටයුතු කරනු ඇත.

මැදපෙළ පිතිකරුවන් වශයෙන් අංක 4, 5, 6 හා 7 ස්ථානවල බොහෝ දුරට කටයුතු කිරීමට නියමිතව ඇත්තේ Najmul Hossain, Sabbir Rahman, Afif Hossain හා Mossadek Hossain සිව් දෙනායි.

ඔවුන්ගේ ප්‍රබලතම වේගපන්දු යවන්නා වන Mustafizur Rahmanගේ සහයක වේගපන්දු යවන්නන් දෙදෙනා Saifuddin හා Taskin Ahmed දෙදෙනා බවට පත්වීමේ වැඩි ඉඩකඩක් ඇත. සංයුතියේ අනෙක් පන්දු යවන්නාගේ ස්ථානය හිමිවන්නේ වේගපන්දු යවන්නෙක්ට ද, දඟපන්දු යවන්නෙක්ට ද යන වග තණතිලි ස්වභාවය මත තීරණය වනු ඇත.

මෙවර තරගාවලියට ඔවුන් එක්වන්නේ කණ්ඩායමේ නවක ක්‍රීඩකයන් රැසකටම වැඩි වගකීමක් පවරමිනි. ජාත්‍යන්තර පිටියේ අත්දැකීම් අඩු වුවද ඔවුන් සියල්ලම කැපී පෙනෙන දක්ෂතා සහිත එකතුවකි. බංග්ලාදේශ ප්‍රිමියර් ලීගයේ ඔවුන් දැක්වූ සුවිශේෂී දක්ෂතා ඒ බව මනාව තහවුරු වනු ඇත.

ICC Cricket

කෙසේනමුත් මෑතකාලීනව බංග්ලාදේශය ලද අමිහිරි පරාජයන්, අත්දැකීම් සහිත ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් නොමැති වීම වැනි සියලු කරුණු කාරණා සලකා බැලීමේදී ඔවුන් මෙම තරගාවලියට අවතීර්ණ වන්නේ යම් පීඩනයක් ද සහිතවයි. එවන් අභියෝගයත් සමඟින් ඔවුන් මේ දක්වා හිමිකරනොගත් කිරුළක් වෙනුවෙන් තරගවැදීම ඔවුන්ට කිසිසේත් ලෙහෙසිපහසු කටයුත්තක් නොවනු ඇතත් බංග්ලලාදේශය යනු කිසිසේත් අඩු තක්සේරුවකට ගත නොහැකි කණ්ඩායමකි.

එබැවින් නායක Shakib Al Hasan ප්‍රමුඛ බංග්ලාදේශ නවක ක්‍රීඩකයින් එක්ව එම අභියෝගයට ඔවුන් මුහුණදෙන්නේ කෙසේදැයි අප විමසිල්ලෙන් බලා සිටිමු.

බංග්ලාදේශ සංචිතය –

Shakib Al Hasan (captain), Sabbir Rahman, Mehidy Hasan Miraz, Afif Hossain, Mossadek Hossain, Litton Das, Yasir Ali, Nurul Hasan, Mustafizur Rahman, Saifuddin, Taskin Ahmed, Ebadot Hossain, Hasan Mahmud, Najmul Hossain, Nasum Ahmed.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<