මැලේසියාව T20 ඉතිහාසය අලුතින් ම ලියයි

ICC Men’s T20 World Cup 2024 Asia Regional Qualifier B

5486

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ පන්දු යවන්නෙකු විසින් වාර්තා කළ විශිෂ්ටතම පන්දු යැවීමේ වාර්තාව තමන් සතු කර ගැනීමට මැලේසියා වේගපන්දු යවන්නෙකු වන Syazrul Idrus අද (26) සමත් වුනා. 

2024 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ආසියානු කලාපීය B ශ්‍රේණියේ තරගාවලියට අදාළව අද පැවැත්වුණු පළමු තරගයේ දී Idrus විසින් මෙම වාර්තාගත පන්දු යැවීම සටහන් කිරීමට සමත් වුනේ චීන කණ්ඩායමට එරෙහිවයි. 

මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් චීන ක්‍රීඩකයින් පන්දුවාර 11.2ක දී ලකුණු 23කට දැවී ගිය අතර, මෙහි දී Syazrul Idrus විසින් සිය පන්දුවාර 4 තුළ එක් නිලකුණු පන්දුවාරයක් ද සමඟින් ලකුණු 8කට කඩුලු 7ක් බිඳ හෙළීමට සමත් වුනා. 

මෙය ජාත්‍යන්තර විස්සයි විස්ස ඉතිහාසයේ පන්දු යවන්නෙකු විසින් කඩුලු 7ක් දවා ගත් ලොව ප්‍රථම අවස්ථාව ද වූ අතර මීට පෙර ක්‍රීඩකයින් 12 දෙනෙකු විසින් කඩුලු 6 සීමාව තෙක් පැමිණීමට සමත් වුනා. 

එහි දී ශ්‍රී ලංකාවේ අජන්ත මෙන්ඩිස්, ඉන්දියාවෙන් Yuzvendra Chahal සහ Deepak Chahar මෙන්ම ඕස්ට්‍රේලියාවේ Ashton Agar විසින් ද මෙම කඩුලු 6 සීමාවේ සිය හොඳම පන්දු යැවීම් සටහන් කර තිබුණා. 

චීනය සහ මැලේසියාව අතර අද පැවැත්වුණු තරගයේ දී චීනයේ පළමු කඩුල්ල දැවී ගියේ ලකුණු 12ක දී වූ නමුත්, එතැන් පටන් ලකුණු 11ක් තුළ ඔවුන්ගේ සියලු ම කඩුලු බිඳ වැටීම විශේෂත්වයක්. එමෙන්ම එම දැවී ගිය චීන පිතිකරුවන් 10 දෙනා අතුරින් 6 දෙනෙකු ම ලකුණු ලබා ගැනීමටත් ප්‍රථම නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට Idrus ප්‍රමුඛ මැලේසියානු පන්දු යවන්නන් විසින් සමත් වීම විශේෂත්වයක්. 

මේ අතර මෙම තරගයෙන් මැලේසියාව කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් ද වාර්තා කිරීමට සමත් වුනා. එමෙන්ම මෙම තරගාවලිය ජයග්‍රහණය කරනා කණ්ඩායම මෙම වසරේ නොවැම්බර් මාසයේ නේපාලයේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන Asia Regional Final තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලැබීමට නියමිතයි. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ICC නිල වෙබ් පිටුව ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<