පරණ මුහුණු කිහිපයක් ආයිත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට

21605

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර මේ මස 14 වැනිදා ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය අද (7) නිල වශයෙන් මාධ්‍යයට නිකුත් විය. ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගාවලිය මෙයයි.

ශ්‍රී ලංකාවට එන නවසීලන්ත කණ්ඩායමට ශ්‍රී ලාංකික පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකාව නියෝජනය කළ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ……

මේ සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි වමත් ආරම්භක පිතිකරුවෙකු වන දිමුත් කරුණාරත්න වෙත ලබා දී තිබේ.  මීට අමතරව ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් නායකයින් වන දිනේෂ් චන්දිමාල් හා ඇන්ජලෝ මැතිව්ස් ද මේ ක්‍රීඩකයින් විසි දෙදෙනාගේ මූලික සංචිතය සඳහා ඇතුළත් කර තිබේ. 

මේ වසර ආරම්භයේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ දී චන්දිමාල් හා මැතිව්ස් හට ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කිරීමට නොහැකි විය. මැතිව්ස් හට  තරගාවලිය මඟ හැරී ගියේ ආබාධයකට ලක්වීම නිසයි. චන්දිමාල් මේ වන විට ග්ලෝබල් T20 තරගාවලිය නියෝජනය කිරීම වෙනුවෙන් කැනඩාවට ගොස් සිටියි. 

කරුණාරත්න ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්වූ පසුව පැවති පළමු ටෙස්ට් තරගාවලියේ දී ම සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව 2-0ක සුපිරි ජයක් ලබාගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, දනුෂ්ක ගුණතිලක, ශෙහාන් ජයසූරිය, චාමික කරුණාරත්න, දිල්රුවන් පෙරේරා, අකිල දනංජය, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු

 ශ්‍රී ලංකා – නවසීලන්ත තරග කාල සටහන 

  • අගෝස්තු 08 – 10: තුන්දින පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණය.  
  • අගෝස්තු 14 – 18: පළමු ටෙස්ට් තරගය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය. 
  • අගෝස්තු 22 – 26: දෙවන ටෙස්ට් තරගය – කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණය.  
  • අගෝස්තු 29: විස්සයි විස්ස පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය.  
  • සැප්තැම්බර් 01: පළමු විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය.  
  • සැප්තැම්බර් 03: දෙවන විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය. 
  • සැප්තැම්බර් 06 – තුන්වැනි විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය.  

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා සජීව තරග අත්දැකීම ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<