එංගලන්තයට ඕස්ට්‍රේලියානු විශිෂ්ටයෙකුගෙන් උපදෙස්

The Ashes 2023

1447

හිටපු ඕස්ට්‍රේලියානු නායක Ricky Ponting විසින් 2023 අළුබඳුන තරගාවලියේ තරග 4ක් අවසන් වීමෙන් පසුව එංගලන්තය විසින් හඳුන්වා දුන් Bazball ක්‍රීඩා රටාව පිළිබඳ සිය අදහස වඩාත් ස්වාධීන ආකාරයකින් ඉදිරිපත් කර තිබෙනවා. 

එංගලන්තය විසින් Bazball ක්‍රීඩා රටාව හඳුන්වා දීමෙන් පසුව ඔවුන්ට ඕස්ට්‍රේලියාව මුණ ගැසුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මෙය වූ අතර තරගාවලිය ආරම්භ වීමට පෙර සිට ම බොහෝ දෙනෙකු විසින් විශ්වාස කළේ Bazball කෙතරම් සාර්ථක ද යන්න ඕස්ට්‍රේලියාව ඉදිරියේ තහවුරු වනු ඇති බවයි. 

එවන් වටපිටාවක් තුළ ආරම්භ වූ තරගාවලියේ පළමු තරග දෙක ම ඕස්ට්‍රේලියාව විසින් ජයග්‍රහණය කළ අතර, කෙසේ හෝ නැවතත් තරගාවලියට අවතීර්ණ වූ එංගලන්තය විසින් තෙවැනි තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා. නමුත් පසුගිය ඉරිදා නිමා වූ සිව්වැනි තරගය ජය පරාජයෙන් තොර වීම නිසා මෙවර ද අළුබඳුන කුසලානය ඕස්ට්‍රේලියාව සන්තකයේ ම නතර වූ අතර, දැන් එංගලන්තයට ඉතිරි වී ඇත්තේ තරගාවලිය සම මට්ටමින් අවසන් කිරීමේ අවස්ථාවක් පමණයි. 

මේ අතර මෙම තරගාවලියේ එංගලන්තය විසින් පරාජය වූ පළමු තරග ද්විත්වය තුළ ඔවුන්ගේ යම් උපක්‍රම පිළිබඳ (විශේෂයෙන්ම නායක Ben Stokes හට) විවේචන එල්ල වුනා. 

පළමු තරගයේ පළමු දිනයේ දී ම සිය පළමු ඉනිම නතර කිරීමට Stokes විසින් ගත් තීරණය මෙන්ම, දෙවැනි තරගයේ දී ඔවුන් විසින් ක්‍රීඩා කළ ආකාරය ද මෙසේ විවේචන වලට භාජනය වුනා. 

සිව්වැනි තරගය නිමා වීමෙන් පසු හිටපු ඕස්ට්‍රේලියානු නායකයා විසින් ICC වෙබ් අඩවිය සමඟින් පැවැත්වූ අදහස් දැක්වීමක දී සඳහන් කළේ එංගලන්තය මීට වඩා බුද්ධිමත් (Smart) අයුරින් ක්‍රීඩා කළ යුතු ව තිබූ බවයි. 

“සමහර තීරණ, Edgbaston හි ඉනිම අත්හිටුවීම, ලෝඩ්ස් හි පළමු ඉනිමේ පිතිකරණය.” 

මෙවැනි අවස්ථාවල දී එංගලන්තය තරමක් ඉක්මන් තීරණ ගත් බවයි Ponting සඳහන් කරන්නේ. 

“ප්‍රමාණවත් තරම් කතාබහට ලක් නොවුනු දෙයක් තියෙනවා, 

ඔවුන් තමන්ගේ ක්‍රිකට් සන්නාමය, ක්‍රීඩා කළ යුතු හරි වෙලාව, හරි තැන ගැන කතා කළා. ඔවුන්ට ආක්‍රමණශීලී සහ ප්‍රහාරාත්මක ක්‍රිකට් ක්‍රීඩකයින් අවශ්‍ය වුනා. නමුත් ඔවුන්ට බුද්ධිමත් (Smart) ක්‍රීඩකයිනුත් අවශ්‍යයි. 

මම හිතන්නේ ඔවුන් කිහිප අවස්ථාවක ම විය හැකි තරම් බුද්ධිමත් වුනේ නැහැ.” 

නමුත් මෙම විවේචනය අතරේ ම ඔහු විසින් එංගලන්ත පිතිකරණයේ විශිෂ්ටත්වය අගය කිරීමට අමතක කළේ ද නැහැ. 

මැන්චෙස්ටර් හි දෙවැනි දිනයේ ඇදහිය නොහැකි ක්‍රිකට් ක්‍රීඩාවක් දැක්කා. Zak Crawley විසින් පන්දු 182කින් ලකුණු 189ක් සහ Joe Rootගේ ඉනිම. එය මෙතෙක් මා දැක ඇති වඩාත් ම විනෝදාත්මක සහ අධෛර්යයට පත් කරවන (ප්‍රතිවාදීන්) අන්දමේ ක්‍රිකට් ක්‍රීඩාවක්.” 

කෙසේ වෙතත් සැම දෙයක් ම අවසානයේ එංගලන්තය තවමත් තරගාවලිය 2-1ක් ලෙස පිටුපසින් සිටින බවයි Ponting විසින් අවධාරණය කරන්නේ. 

එමෙන්ම 2005 අළුබඳුන තරගාවලිය මෙන්ම මෙවරත් ඉතා හොඳ, ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගන්නා ක්‍රිකට් තරගාවලියක් පැවැත්වුණු බව ඔහු විසින් සඳහන් කරනවා. 

මේ අතර සිව්වැනි ටෙස්ට් තරගයෙන් පසුව Ben Stokes විසින් සඳහන් කළේ තරගාවලිය අසාර්ථක වුව ද තම කණ්ඩායම ක්‍රීඩාවට ප්‍රවේශ වූ අයුරු පිළිබඳ පසු කාලයක දී කතාබහට ලක් වෙනු ඇති බවයි. 

නමුත් Pontig නම් මේ පිළිබඳ දරන්නේ තරමක් වෙනස් විදිහේ අදහසක්. 

“ඔවුන් බොහෝ විට කතා කරාවී. නමුත් මම අදහස් කරන්නේ ඕස්ට්‍රේලියාව දින්නොත්, ඔවුන් එංගලන්තය 3-1ක් ලෙස පරාජය කළොත් (ඉතිරි ටෙස්ට් තරගය ද ජයග්‍රහණය කරමින්) මට විශ්වාසයි එංගලන්තයේ තනි දස්කම් ගැන කතා කරනවාට වඩා ගොඩක් මිනිස්සු ඒ ප්‍රතිඵලය ගැන කතා කරාවී.” 

එමෙන්ම එංගලන්තයට ප්‍රතිඵල ගැන නොතැවී විනෝදාස්වාදය වෙනුවෙන් ක්‍රීඩා කිරීම සහ ජය පරාජය පිළිබඳ ව ද සිතමින් ක්‍රීඩා කිරීම අතර යම් සමබරතාවක් තබා ගත හැකි නම් ඔවුන් සතු ව ඇති දක්ෂතා සමඟ ඔවුන්ට තවත් තරග රාශියක් ජයග්‍රහණය කළ හැකි බවයි Ponting විසින් මෙහි දී අවධාරණය කර තිබුණේ. 

2023 අළුබඳුන තරගාවලියේ පස් වැනි සහ අවසන් ටෙස්ට් තරගය එළඹෙන 27 (බ්‍රහස්පතින්දා) ආරම්භ වීමට නියමිතයි.  

එම තරග විස්තර ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ICC නිල වෙබ් පිටුව ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<