Blue Star වසර 16කට පසු කිරුළක පහස ලබයි

Super League 2021

483

දේශීය පාපන්දු පිටියෙහි වැඩි අවධානයක් දිනාගත් ශ්‍රී ලාංකීය ප්‍රථම වෘත්තීය පාපන්දු ලීගය වන ‘සුපර් ලීග් 2021’ තරගාවලියේ අවසන් තරග ද්විත්වය අද (11) කොළඹ තුරඟ තරග පිටිය සහ සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුනා. 

එම තරගයන්ගෙන් Colombo FC සහ Blue Eagles SC කණ්ඩායම් පරදවමින් ජයග්‍රහණය ලැබීමට Blue Star SC සහ Sea Hawks FC කණ්ඩායම් වලට හැකි වුනා. එම ජයග්‍රහණය සමඟින් මෙරට පළමු වෘත්තීය පාපන්දු කුසලානය දිනාගැනීමට කළුතර Blue Star SC ක්‍රීඩකයින් සමත් වුනේ වසර 16කට පසු පාපන්දු කිරුළක් ජයග්‍රහණය කරමිනුයි.

Colombo FC – Sea Hawks FC

කොළඹ තුරඟ තරග පිටියෙහි පැවති මෙම තරගයෙන් ගෝල 3-2 ක ජයක් ලැබීමට Sea Hawks FC ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගාවලියේ මෙතෙක් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන දිනා සිටි Colombo FC ක්‍රීඩකයින්ට තරගාවලිය ජයග්‍රහණය කිරීම සඳහා මෙම තරගය ජයගැනීම අනිවාර්යය වූ අතර කණ්ඩායම් ද්විත්වයම සහභාගී වූ අවසන් තරග ජයග්‍රහණය කර තිබුනා.

තරගයේ සිය කණ්ඩායමට අවශ්‍ය ආරම්භය ගෙන දීමට Colombo FC යොවුන් ක්‍රීඩක මොහොමඩ් ආකීබ්ට හැකි වුනේ තරගයේ 15 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුවට ලැබුනු පන්දුවක් සාර්ථකව ගෝලයට එල්ල කරමිනි.

නමුත් එම සතුට කෙටි වේලාවක් තුළ අහිමි කරමින් තරගයේ 37 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුවෙන් පිටත සිට රැගෙන ආ පන්දුවක් අලංකාර පහරක් මඟින් ගෝලයට තුළට යොමු කරමින් ගෝල තත්වය සම කිරීමට Sea Hawks නායක සුභාෂ් මධුෂාන්ට හැකි වුනා.

තරගය ජයග්‍රහණය කරමින් ශූරතාවය දිනාගැනීමේ අරමුණින් Colombo ක්‍රීඩකයින් පිටියට පිවිසුනත් Colombo ක්‍රීඩකයෙකු දඬුවම් රාමුවේ සිදුකළ වරදක් නිසාවෙන් හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කරගත් Sea Hawks ක්‍රීඩක මොහොමඩ් හස්මීර් සිය කණ්ඩායම පෙරමුණට ගෙන ඒමට සමත් වුනා.

එම ගෝලය වාර්තා කරගැනීමෙන් කෙටි වේලාවකට පසු එනම් 76 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වෙමින් මොහොමඩ් හස්මීර් ලබා දුන් පන්දුවක් ගෝලයට එල්ල කරමින් Colombo බලාපොරොත්තු සුන් කිරීමට අවිශ්ක කවිඳුට හැකි වුනා.

තරගයේ 87 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් ගෝලයට එල්ල කරමින් Colombo FC කණ්ඩායමේ දෙවැනි ගෝලය වාර්තා කිරීමට මෝමස් යාපෝට හැකි වූවත් තරගයේ වෙනසක් සිදුකිරීමට එය ප්‍රමාණවත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Colombo FC 02- 03 Sea Hawks FC 

ගෝල වාර්තා කළ ක්‍රීඩකයින්:

Sea Hawks FC: සුභාෂ් මධුෂාන් 37’, මොහොමඩ් හස්මීර් 65’ (P), අවිශ්ක කවිඳු 76’.

Colombo FC: මොහොමඩ් ආකීබ් 15’, මෝමාස් යාපෝ 87’.

Blue Star SC – Blue Eagles SC

කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති මෙම තීරණාත්මක තරගය තියුණු සටනකින් පසුව ගෝල 3-2ක් ලෙස ජයග්‍රහණය කිරීමට Blue Star SC ක්‍රීඩකයින්ට හැකි වුනා.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටින Blue Star ක්‍රීඩකයින්ට වසර 16කට පසු කිරුළක පහස ලැබීමට මෙම තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්යය වූ අතර පසුගිය සතියේ තරගය ජයග්‍රහණය කරමින් ඔවුන් මෙම තරගයට පිවිසියා.

සිය කණ්ඩායමට අවශ්‍යම වූ තරගයේ දී ක්‍රියාත්මක වූ Blue Star ප්‍රවීණ ක්‍රීඩක මොහොමඩ් ෆසාල් තරගයේ පළමු ගෝලය රැස් කිරීමට 11 වැනි මිනිත්තුවේ දී සමත් වුනේ දඬුවම් රාමුව තුළට පැමිණි පන්දුවක් අලංකාරව දැල තුළට ස්ථානගත කරමිනුයි.

ඉන් කෙටි වේලාවකට පසු ලැබූ පන්දුවක් ගෝලයට එල්ල කරමින් Blue Star කණ්ඩායමේ දෙවන ගෝලය රැස් කිරීමට මොහොමඩ් අර්ශාඩ්ට හැකි වූ නමුත් එයට පිළිතුරු ලෙස තරගයේ 15 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කිරීමට Blue Eagles ක්‍රීඩක ලසිත ප්‍රනාන්දුට හැකි වුනා.

තීරණාත්මක තරගයක් තුළ රතු කාඩ් පතක් ලබාගැනීම නිසාවෙන් 35 වැනි මිනිත්තුවේ දී පිටියෙන් ඉවත් වීමට Blue Star ක්‍රීඩක මොහොමඩ් අර්ශාඩ්ට සිදු වූ අතර ඉන් ප්‍රයෝජන ගත් Blue Eagles ක්‍රීඩක නෙත්ම මල්ෂාන් 39 වැනි මිනිත්තුවේ දී දෙවන ගෝලය වාර්තා කරමින් පළමු අර්ධය සමව අවසන් කළා.

සිය කණ්ඩායමට අවශ්‍යම වූ මොහොතේ ක්‍රියාත්මක වූ Blue Star ක්‍රීඩක සෙනාල් සංදේශ් දඬුවම් රාමුව තුළ සිට දී ලබා දුන් ඉතාමත් හොඳ පන්දුවක් පහසුවෙන්ම ගෝලය තුළට එල්ල කරමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කිරීමට මොහොමඩ් ඉශාන්ට හැකි වුනා.

ඒ සමඟින් වසර 16කට පසුව පාපන්දු ශූරතාවයක් දිනාගනිමින් ‘සුපර් ලීග් 2021’ කිරුළ දිනාගැනීමට Blue Star ක්‍රීඩකයින්ට හැකි වුනේ ශ්‍රී ලංකාවේ පළමු වෘත්තීය පාපන්දු තරගාවලියේ කිරුළ ජයගනිමිනුයි.

අවසන් ලකුණු තත්වය: Blue Star SC 03- 02 Blue Eagles SC

ගෝල වාර්තා කළ ක්‍රීඩකයින්:

Blue Star SC: මොහොමඩ් ෆසාල් 11’, මොහොමඩ් අර්ශාඩ් 14’, මොහොමඩ් ඉශාන් 83’.

Blue Eagles SC: ලසිත ප්‍රනාන්දු 15’, නෙත්ම මල්ෂාන් 39’.

>>පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න<<