Sea Hawks ජයග්‍රහණය ආපසු හැරවෙයි! New Youngs සහ Colomboට දඩ!

Super League 2021

476

සුපර් ලීග් තරගාවලියේ කණ්ඩායම් කිහිපයක් සිදුකළ පැමිණිලි වලට අදාළ විමර්ශනයන් වල ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වූ පරිදි Sea Hawks සහ Up Country SC අතර තරගයේ ප්‍රතිඵලය ද ආපසු හරවා තිබීම විශේෂත්වයක්. එමෙන්ම Colombo FC සහ New Youngs ක්‍රීඩකයින් හා නිලධාරින් කිහිපදෙනෙක්ට දඩ මුදල් ද නියම කර තිබෙනවා.

2021 දෙසැම්බර් මස 06 වන දින සුපර් ලීග් තරගාවලියේ 17 වැනි තරගය ලෙස Up Country Lions කණ්ඩායම සහ Sea Hawks කණ්ඩායම තරගය වැදුනා. එම තරගය ගෝල 1-0ක් ලෙස ජයගත්තේ Sea Hawks කණ්ඩායමයි. කෙසේ වෙතත් එම තරගයෙන් පසුව Up Country Lions තරග නිලධාරින් පැමිණිල්ලක් කර තිබුනේ සෑම කණ්ඩායමකම අනිවාර්යයෙන් ක්‍රීඩා කළ යුතු වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයා Sea Hawks කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර නොසිටි බවයි. අනතුරුව කළ විමර්ශනයක දී හෙළි වී තිබුනේ Sea Hawks කණ්ඩායම වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෙකු සමඟ තරගය ආරම්භ කළත් ඔහුව පළමු අර්ධයේ දීම පිටියෙන් ඉවත් කර වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෙකු නොවන වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කර තිබුනු බවයි.

තවත් පාපන්දු පුවත් කියවන්න: 

2021 Super League නීති මාලාවේ 21(II) වගන්තිය යටතේ Sea Hawks කණ්ඩායම වරදකරු ලෙස නියම කරමින් Sea Hawks තරගය අතහැර ගියා සේ සලකා ගෝල 3-0ක ජයක් Up Country Lions වෙත ලබා දීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විනය සහ චර්යා ධර්ම කමිටුව තීරණය කර තිබුනා. මීට අමතරව Sea Hawks කණ්ඩායමට රුපියල් 10,000ක දඩයක් ද නියම කර තිබෙනවා.

මේ අතර New Youngs කණ්ඩායම ද Colombo FC කණ්ඩායමට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබුනා. Colombo FC ක්‍රීඩක Mushakir Razeek යේමනයේ උපන් ක්‍රීඩකයෙකු වන අතර ඔහුට ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබා ගැනීම පිළිබඳව තවමත් යම්කිසි ගැටලුවක් පවතිනවා. කෙසේ වෙතත් Colombo FC කණ්ඩායම ඔහුව දේශීය ක්‍රීඩකයෙකු ලෙස සලකමින් කණ්ඩායමට නම් කර තිබුනා. ඔහුව විදෙස් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරවිය හැකි නමුත් දේශීය ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරවිය නොහැකි බව පවසමින් New Youngs කණ්ඩායම පැමිණිල්ලක් ගොනු කර තිබුනත් නියමිත කාලරාමුව තුළ ඔවුන් එම පැමිණිල්ල ගොනු කර නොතිබුනු නිසා New Youngs පැමිණිල්ල ප්‍රතික්ෂේප වුනා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විනය සහ චර්යා ධර්ම කමිටුව විසින් Colombo FC කණ්ඩායමට රුපියල් ලක්ෂ 5ක දඩයක් සහ Mushakir Razeek හට රුපියල් 100,000ක දඩයක් නියම කර තිබීම විශේෂත්වයක් වුනා.

New Youngs සහ Renown අතර තරගයකින් පසුව ඇති වූ සිදුවීමක් පිළිබඳව තරග විනිසුරුවන් පැමිණිල්ලක් කර තිබුනා. ඒ New Youngs ක්‍රීඩකයෙකු සහ නිලධාරියෙකුට එරෙහිවයි. ඒ අනුව තරිඳු ධනුෂ්ක සහ New Youngs කළමනාකරු රෝහිත ප්‍රනාන්දු හට දඩ මුදල් සහ තරග තහනමක් නියම කර තිබෙනවා. අංක 9 ක්‍රීඩක තරිඳු ධනුෂ්ක හට රුපියල් 25,000 දඩයක් සහ තරග දෙකක තරග තහනමක් නියම කර තිබෙන අතර කණ්ඩායම් කළමනාකරු හටත් රුපියල් 25,000ක දඩයක් සහ එක් තරගයක තහනමක් ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් ඇසුරින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<