ආසියානු කුසලාන තරග හම්බන්තොටට ගෙන නොයාමට හේතුව Gavaskarගෙන්

Asia Cup 2023

9430

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ කොළඹ දී පැවැත්වීමට නියමිත තරගවලට වර්ෂාවෙන් බාධා එල්ල වීමේ අවදානමක් තිබිය දීත්, එම තරග හම්බන්තොටට ගෙන නොයා කොළඹ දී ම පැවැත්වීමට හේතුව හිටපු ඉන්දීය ක්‍රීඩක Sunil Gavaskar විසින් අනුමාන කර තිබෙනවා.

අද (09) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරගයේ පටන් 2023 ආසියානු කුසලානයේ සියලු ම තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී වුවත්, මෙම තරගවලට වර්ෂාවෙන් බාධා එල්ල වීමේ විශාල අවදානමක් මතුව තිබෙනවා. 

මේ නිසා මෙම තරග සියල්ල ම හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට ගෙන යෑමට තීරණය කර ඇති බව මීට පෙර දැන ගැනීමට ලැබුණා. කෙසේ වෙතත් පසුව ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් නිල වශයෙන් නිවේදනය කළේ තරග පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණයේ වෙනසක් නොවනු ඇති බවයි. 

මෙම වර්ෂාව ඇති වීමේ ගැටලුව ද පසෙකලා තරගාවලිය කොළඹින් හම්බන්තොටට ගෙන නොයෑමට හේතුව කුමක් ද යන්න පිළිබඳ පසුගිය දිනවල බොහෝ දෙනා කතාබහ කළා. 

හිටපු ඉන්දීය ක්‍රීඩකයෙකු වන Sunil Gavaskar විසින් මෙයට හේතුව ලෙස සඳහන් කරන්නේ ක්‍රීඩකයින්ට කොළඹ තරම් සුවපහසුවක් හම්බන්තොට නොමැති වීම වන්නට ඇති බවයි. 

කවුරු හරි ඇත්ත කතාව සොයා ගත යුතුයි. ක්‍රිකට් පැත්තෙන් බැලුවොතින් හම්බන්තොටට යන්න අවශ්‍ය නොවුනේ ක්‍රීඩකයින්ට වෙන්න ඇති. 

ඒ නිසා බලධාරීන්ට අවසාන මොහොතේ කොළඹ කාලගුණය ගැන දැන ගෙනත් හම්බන්තොටින් කොළඹට මාරු වෙන්න සිදු වෙන්න ඇති.” 

Gavaskar විසින් මෙහි දී සඳහන් කරන්නේ මෙම තීරණය වෙනස් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩක කැමැත්ත බලපාන්නට ඇති බවයි. නමුත් මෙහි දී කිසිදු කණ්ඩායමක් ඉලක්ක නොකිරීමට ද Gavaskar විසින් වග බලාගෙන තිබෙනවා. 

“මම ක්‍රීඩකයින් කියලා කියද්දී, මම එයින් කියන්නේ එක් කණ්ඩායමක ක්‍රීඩකයින් පමණක් නොවෙයි, සියලු ම කණ්ඩායම්වල ක්‍රීඩකයින්. 

පරිපාලකයින්ට ඇඟිල්ල දික් කිරීම පහසුයි. ඔවුන්ව පහසුවෙන් ම බිල්ල බවට පත් කරන්න පුළුවන්. කොළඹ කාලගුණ අනාවැකිය හොඳ නැති බව දැන දැනම හම්බන්තොට තරග නොපවත්වන්නේ ඇයි කියන එක සොයා ගැනීම ඇත්තටම වැදගත්.” 

මෙහි දී ඔහු විසින් විශේෂයෙන්ම අවධාරණය කරන්නේ ක්‍රීඩකයින්ට සැලසෙන පහසුකම් අතිශය වැදගත් බවයි. 

නිසැකවම ඔබට අවශ්‍ය වන්නේ ක්‍රීඩකයින් හොඳ මානසික පරිසරයක සිටීමයි. මේ වෙලාවේ දී ව්‍යායාම සහ පුහුණුවීම් පහසුකම් හොඳ විය යුතුයි.” 

මෙම ආසියානු කුසලානය මෙන්ම එළඹෙන ලෝක කුසලානය ද අතිශය වැදගත් නිසා ම ක්‍රීඩකයින්ට හොඳ වාතාවරණයක් ගොඩ නැංවීමට අවශ්‍ය බවයි Gavaskar විසින් සඳහන් කර තිබෙන්නේ. 

මේ නිසා Gavaskarට අනුව නම් මෙම තීරණ වෙනසට හේතුව හම්බන්තොට ඇති පහසුකම් වල අඩුපාඩු බව අනුමාන කළ හැකියි. කෙසේ වෙතත් මේ කිසිවක් නිල වශයෙන් තහවුරු වූ ඒවා නම් නොවෙයි. 

2023 ආසියානු කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<