සුජීව විජේනායකට ජපානයේ තවත් තනතුරක්

177

බේස්බෝල් සහ සොෆ්ට්බෝල් මෙහෙයුම් කළමනාකරුවෙකු ලෙස 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සංවිධායක මණ්ඩලයට එක්වූ සුජීව විජේනායක මහතාට ජපාන සන්නාම තානාපති තනතුරක් පිරිනැමීමට ජපාන තානාපති කාර්යාලය සහ ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය කටයුතු කර ති​​බෙනවා.

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සංවිධායක මණ්ඩලයට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස අගනා සේවාවක් ඉටු කරමින් මෙරටට විශාල කීර්තියක් ගෙන දුන් සුජීවගේ සේවය අගය කිරීමක් ලෙස මෙම සන්නාම තානාපති තනතුරු ඔහුට ලබා දී තිබෙනවා.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා, නියෝජ්‍ය තානාපති චන්දන වීරසේකර මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වී තිබූ අතර එහි දී තානාපතිවරයා විසින් සුජීවගේ සේවය ඇගයීමට ලක් කර තිබුණා.

තමන්ට හිමි වූ නව පත්වීමෙන් පසු රැස්ව සිටි පිරිස අමතමින් සුජීව විජේනායක මහතා ප්‍රකාශ කර සිටියේ මෙතෙක් වසර 15ක් තිස්සේ ජපානයත් ශ්‍රී ලංකාවත් අතර පවත්වාගෙන ආ එම මිත්‍රත්වය නව පත්වීමත් සමඟ වැඩි කර ගනිමින් ශ්‍රී ලංකාවට විශාල කීර්ති නාමයක් ගෙන ඒමට බලාපොරොත්තු වෙන බවයි.

“විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ආර්ථිකමය, අධ්‍යාපනික, සමාජීය සහ ක්‍රීඩාව යන අංශයන්ගෙන් ඉදිරියට ගෙන යාමට තානාපති කාර්යාලය සහ ව්‍යාපාරික සංගමය සමඟ අත්වැල් බැඳ ගනිමින් සුහදව වැඩ කරන්න සූදානම්.

ඒ වගේම මේ තනතුර මට පිරිනමන්නට කටයුතු කිරීම පිළිබඳව ජපාන තානාපති කාර්යාලයට සහ ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයට මගේ විශේෂ ස්තූතිය පුදකර සිටිනවා”, යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

>> තවත් ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<