Texas Chargers තිසර සහ තරංග සමඟින් US T10 කිරුළ ඔසවයි!

US Masters T10 2023

4710

තියුණු තරගයක් අනතුරුව ඇමරිකාවේ දී පළමු වරට පැවැත්වුණු US Masters T10 තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Ben Dunkගේ නායකත්වයෙන් යුත් Texas Chargers කණ්ඩායම ඊයේ (27) සමත් වුනා.

තරගාවලියේ වඩාත් සාර්ථක ම කණ්ඩායම් දෙකක් ලෙස සැලකිය හැකි Texas Chargers සහ New York Warriors අතර ඊයේ පැවැත්වුණු මෙම තරගයේ පළමුව ලකුණු සම වූ නිසා දෙවනුව සුපිරි පන්දු වාරයකින් ජයග්‍රාහකයින් තෝරා ගැනීමට සිදු වුනා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් Warriors විසින් නියමිත පන්දුවාර 10 අවසානයේ ලකුණු 92ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙහි දී තිලකරත්න ඩිල්ශාන් පන්දු 12කින් ලකුණු 18ක් ලබා ගත් අතර, ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Jonathan Carter විසින් ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වුනා.

Chargers වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Eshan Adil කඩුලු 3ක් දවා ගනිද්දී, තිසර පෙරේරා සිය පන්දුවාර ද්විත්වය තුල ලකුණු 15කට එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුනා.

ලකුණු 93ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් Texas Chargers ඉනිමට Mohammad Hafeez සහ Ben Dunk විසින් ඉතා විශිෂ්ට අඩිතාලමක් සකසා දුන්නත්, ඔවුන්ගේ මැදපෙළ සහ පසුපෙළ විසින් දැක්වූ අතිශය දුර්වල පිතිකරණ රටාව නිසා නියමිත පන්දුවාර 10 නිමා වන විට Texas Chargers ඉනිම ද ලකුණු 92 කට සීමා වුනා.

මෙහි දී Hafeez විසින් ලකුණු 46ක් සහ Dunk විසින් ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වූ අතර Chargers කණ්ඩායමේ ශ්‍රී ලාංකික නියෝජනයන් වූ තිසර සහ උපුල් තරංග දෙදෙනා ම ලකුණු අතරට පිවිසීමට සමත් වුනේ නැහැ.

Warriors වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වුනු Sohail Khan විසින් කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව තරගයේ ජයග්‍රාහකයින් තෝරා ගැනීම වෙනුවෙන් සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කෙරුණු අතර එහි දී පළමුව පන්දුවට පහර දුන් Texas Chargers එක් කඩුල්ලක් දැවී ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වූ අතර, එය හඹා ගිය New York Warriors විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 13ක් පමණයි.

මේ අනුව US Masters T10 තරගාවලියේ පළමු ශූරයින් බවට පත් වීමට Texas Chargers කණ්ඩායම සමත් වුනා.

  •  New York Warriors: 92/6 (10) Jonathan Carter 39*, Eshan Adil 3-11
  • Texas Chargers; 92/10 (10) Mohammad Hafeez 46, Ben Dunk 20, Sohail Khan 5-15, Shahid Afridi 2-8, Asif 2-14

තරගයේ වීරයා සම්මානය Warriors කණ්ඩායමේ Sohail Khan විසින් දිනා ගනිද්දී, තරගාවලියේ වීරයා බවට පත් වීමට Mohammad Hafeez විසින් සමත් වුනා.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර 5 වැනි තැන තිලකරත්න ඩිල්ශාන්ට (ලකුණු 191) හිමි වූ අතර එහි 6 වැනි ස්ථානය ශෙහාන් ජයසූරිය හට (ලකුණු 181) හිමි වුනා.

එමෙන්ම තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර හත්වැනි ස්ථානය තිසර පෙරේරා හට (කඩුලු 7ක්) හිමි වීමත් විශේෂත්වයක්.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<