යුපුන් දකුණු ආසියාවේ ක්‍රීඩකයෙකු පැමිණි ඉහලම ශ්‍රේණිගත කිරීමට

689

මේ දිනවල වඩාත් කතාබහට ලක් වූ ශ්‍රී ලාංකික කෙටිදුර ධාවන ශූරයෙකු වන යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ වත්මන් ලෝක ශ්‍රේණිගත කිරීමේ 40 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

නවතම ශ්‍රේණිගත කිරීමට අනුව යුපුන් ප්‍රසාද ලකුණු 1215ක් ලබා ගනිමින් මෙලෙස 40 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත්ව ඇති අතර මෙය ඔහුගේ ක්‍රීඩා දිවියේ ලබා ගත් ඉහළම ශ්‍රේණිගත කිරීම ද වෙනවා.

එමෙන්ම මෙම වර්ගීකරණයේ නවතම දත්තවලට අනුව දකුණු ආසියානු කලාපයෙන් පළමු ක්‍රීඩකයන් 50 තුළට ඇතුළත් වූ එකම ක්‍රීඩකයා ද ඔහුයි.

පසුගිය 10 වැනිදා පැවති මෙවර ඩයමන්ඩ් ලීග් තරග වාරයේ අවසන් තරගාවලිය වූ Zurich Diamond League තරගාවලියේ පිරිමි මීටර් 100 අවසන් තරගය නියෝජනය කරමින් දැක්වූ දස්කම් නිසා ඔහුට මෙලෙස ඉහළට පැමිණීමට හැකිව තිබෙනවා.

එම ඩයමන්ඩ් ලීග් තරගය මෙවර තරග වාරයේ හොඳම දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙන් වූ අතර ඉතාලියේ පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේ දී යුපුන් දැක්වූ දස්කම් නිසා මීටර් 100 ඉසව්වේ හොඳම ක්‍රීඩකයන් අතරට එක්වීමට ඔහුට වරම් හිමි වීම ද කැපී පෙනුණා.

මෙලෙස ඩයමන්ඩ් ලීග් තරගාවලි නියෝජනය කළ එකම ශ්‍රී ලාංකිකයා වූ යුපුන් අවසාන තරගය තත්පර 10.22ක කාලයකින් අවසන් කළේ නවවැන්නා ලෙසයි.

එම තරගාවලිවලට අමතරව යුපුන් මෙවර තරග වාරයේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ අතර මැයි මාසයේ පැවති තරගයක දී තත්පර 10.15ක කාලයකින් මීටර් 100 ඉසව්ව අවසන් කර තමන්ගේම දකුණු ආසියානු වාර්තාව බිඳ හෙළීමට ද ඔහු සමත් වුනා.

එමෙන්ම Florence Diamond League තරගාවලියට සහභාගී වූ යුපුන් එහි මීටර් 100 ඉසව්ව තත්පර 10.16ක කාලයකින් සිව්වැන්නා ලෙස අවසන් කළා.

මෙම දස්කම් නිසාවෙන් වසර 29කට පසු අවශ්‍ය සුදුසුකම් සපුරාලමින් 2020 ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්වට සුදුසුකම් ලබා ගැනීමට යුපුන්ට හැකි වුනේ වසර 25කට පසුව ඔලිම්පික් මීටර් 100 ඉසව්වක් නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ද වෙමිනි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<