මතීෂ පතිරණ චෙන්නායි කණ්ඩායමට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

1199

Chennai Super Kings (CSK) ක්‍රීඩක Adam Milneගේ ආදේශක ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ සමඟ ගිවිසුම් ගත වීමට CSK කණ්ඩායම් බලධාරීන් තීරණය කර තිබෙනවා.

Kolkata Knight Riders කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Adam Milne පාදයේ මස්පිඩු ඇදීමකට ලක්වුනා. ඉන්දීය රුපියල් කොටි 1.9ක දැවැන්ත මුදලකට මිල දී ගත් Milneගේ මේ හදිසි ආබාධය නිසා ඔහුට IPL තරගාවලියේ ඉදිරි තරග අහිමිව යනවා.

ඒ නිසාවෙන් ඔහුගේ ආදේශකයා ලෙස ශ්‍රී ලංකා 19න් පහළ ලෝක කුසලාන සංචිතය නියෝජනය කළ ලසිත් මාලිංගගේ ඉරියව්ව හා සමාන ඉරියව්වකින් වේගපන්දු යවන පතිරණ සංචිතයට කැඳවීමට CSK බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉන්දීය රුපියල් ලක්ෂ 20ක මුදලකට පතිරණ සමඟ CSK ගිවිසුම් ගත වී තිබෙන අතර ඔහු ඉදිරි දින කිහිපයක කාලය ඇතුලත නිරෝධායනයට ලක්වී CSK සමඟ එක්වීමට නියමිතයි.

පතිරණ ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් තරග රටාව තුල List A තරගයකට සහ විස්සයි විස්ස තරග දෙකකට ක්‍රීඩා කර තිබෙනවා. මීට අමතරව ඔහු අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියකට ද සහභාගී වී අත්දැකීම් ලබාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ද සිටින CSK කණ්ඩායම මෙවර IPL ප්‍රසාද ලකුණු සටහනේ තවමත් රැඳී සිටින්නේ 9 වැනි ස්ථානයේයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<