සිනමාවෙන් Peléව දකිමු!

2006 Football World Cup Germany

388

සිනමාවෙන් ඔබට කවදාවත් සියයට සියයක් ඇත්ත දකින්න නොලැබෙන්න පුළුවන්, නමුත් සිනමාවට පුළුවන් ඔබව සත්‍ය ගවේෂකයකු කරන්න.

ඔබ පාපන්දු ලෝලියෙක් නම් Pelé: Birth of a Legend නැරඹිය යුතු ඒ නිසායි. ඔබට ඒ හරහා පුළුවන් Edson Arantes do Nascimiento කියන ලොව බිහිවුණු විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාව සොයාගෙන යන්න.

බ්‍රසීලය කියන්නේ පාපන්දු වල නිජ භූමිය නොවෙන්න පුළුවන්, නමුත් බ්‍රසීල පාපන්දු සංස්කෘතියෙන් තොරව ඔබ පාපන්දු ගැන කතා කරන්න උත්සාහ කරනවා නම් ඒක ලුණු නොදාපු හොද්දකට වඩා ලොකු වෙනසක් වෙන්නේ නැහැ.

අන්න ඒ පාපන්දු සංස්කෘතිය ඇතුළේ අපි දන්න, අපේ වැඩිමහල් පරම්පරාවත් දන්න, අපෙන් පස්සේ පරම්පරාවත් දැන ගත යුතු මුල්ම නම වෙන්නේ Edson Arantes do Nascimiento නොහොත් Dico නොහොත් Pele.

අන්න ඒ Pele ගැන තමයි Pelé: Birth of a Legend චිත්‍රපටියෙන් ඔබට දැක ගන්න පුළුවන් වෙන්නේ.

ඒක චිත්‍රපටියක්, ඒ නිසා කතාව ලස්සන වෙන්න ලුණු ඇඹුල් වැටෙනවා කියන එක හංගන්න අවශ්‍ය කාරණාවක් නෙවෙයි. ඒත් ඒ චිත්‍රපටිය ඇතුළේ තියෙනවා Nascimiento විසින් Dico වුනේ කොහොමද කියලා වගේම Dico, Pele බවට පරිවර්තනය වෙන්නේ කොහොමද කියලත්.

අපි උත්සාහ කරන්නේ සිනමාව හරහා Peléව කියවන්න.

හැම කතාවකටම ආරම්භයක් තියෙනවා.

මේ කතාව පටන් ගන්නේ 1958 ජුනි මාසේ 15 වැනිදායින්. එදා 1958 පාපන්දු ලෝක කුසලානයේ බ්‍රසීලය සහ සෝවියට් සමූහාණ්ඩු කණ්ඩායම් අතර තරගය පැවැත්වෙන්න නියමිත වෙලා තිබුණා.

ඒ තරගය පාපන්දු ලෝකයට තවත් එක තරගයක් කියලා පැත්තකින් තියන්න බැරි හේතුවක් තියෙනවා. එදා තමයි වයස අවුරුදු 17ක් විතරක්  වුණු Pelé තමන්ගේ පළමු ලෝක කුසලාන තරගය ක්‍රීඩා කරන්න නියමිත වෙලා තිබුණේ.

ඒත් මේ කතාව හරියටම පටන් ගන්නේ 1950න්, ඒ වෙද්දී අපේ කතා නායකයාට Pelé කියන නම පට බැඳිලා තිබුණේ නැහැ. ඔහුගේ යහළුවන් ඔහුව ආමන්ත්‍රණය කළේ Dico කියන නමින්.

1950 කියන්නේ බ්‍රසීලය කියන පාපන්දු රජ දහනම සැණකෙළිමත් ස්වභාවයක් ගත් වසරක්. මොකද තමන්ගේ පළවෙනි පාපන්දු තරගය ක්‍රීඩා කරලා වසර 50ක් ඉක්මවලා යද්දී බ්‍රසීලයට පුළුවන් වෙනවා පාපන්දු ලෝක කුසලාන තරගාවලියකට සත්කාරකත්වය ලබා දෙන්න.

1950 පාපන්දු ලෝක කුසලානය ගෙදරින් පිට ගෙනි යන්න බ්‍රසීල පාපන්දු කණ්ඩායම කිසිම ඉඩක් දේවි කියලා කිසිම කෙනෙක් විශ්වාස කරේ නැහැ.

නමුත් අවාසනාවන්ත විදිහට එදා බ්‍රසීලයට ලෝක අනුශූරයින් විදිහට උරුගුවේ කණ්ඩායම් හමුවේ දෙවැනි වෙන්න සිදු වෙනවා.

ඒක බ්‍රසීල ජනතාව අදටත් ව්‍යසනයක් විදිහට හඳුන්වන සිදුවීමක්. පරාජය දරා ගන්න බැරි තැන මිනිස්සු සිය දිවි නසා ගන්නවා, හෘදයාබාධ වලින් මිය යනවා.

සරලවම කියනවා නම් බ්‍රසීල පාපන්දුවට ඉතිහාසයේ වැදුණු දරුණුම පහරක් විදිහට මේ 1950 ලෝක කුසලාන පරාජය හඳුන්වා දෙන්න පුළුවන්.

අපේ කතා නායකයාගේ Dicoට ඔහුගේ මව විසින් පාපන්දු තහනම් කරලයි තියෙන්නේ, ඉතින් ඔහුට සිද්ධ වෙනවා 1950 බ්‍රසීල පාපන්දු පරාජය පිළිබඳ රේඩියෝ විස්තර විචාරයට හොරෙන් ඇහුම්කන් දෙන්න.

Dico හොරෙන්ම පරාජයේ වේදනාව විඳිද්දී, ඔහුගේ පියා João Ramos do Nascimento එළිපිට ම ඒ පරාජයේ වේදනාව විඳ ගන්නවා ඔබට චිත්‍රපටියෙන් දකින්න ලැබේවි.

හැබැයි එදා තාත්තාගේ ඇස් දිහා බලාගෙන Dico එක පොරොන්දුවක් ලබා දෙනවා.

“මම බ්‍රසීලය වෙනුවෙන් ලෝක කුසලානයක් දිනවලා දෙනවා තාත්තේ, මම පොරොන්දු වෙනවා.”

Peléගේ පියා João Ramos do Nascimento නොහොත් “Dondinho”.

මෙතැනින් පස්සේ අපි චිත්‍රපටියේ දර්ශන එකින් එක විස්තර කර ගන්නේ නැතුව, අපිට චිත්‍රපටයේ මුණ ගැහෙන චරිත කිහිපයක් හඳුන්වා දෙමින් Pelé: Birth of a Legend චිත්‍රපටිය කියවා ගමු.

මොකද චිත්‍රපටයක් වේවා, කවියක්, ගීතයක්, පොතක්, ටෙලි නාට්‍යයක් වගේ ඕනම කලා නිර්මාණයක් ගැන ලියවෙන විස්තරයක් ඇතුළේ, ඒ නිර්මාණයේ රස මැරෙනවා නම් ඒක අපි නිර්මාණයට කරන අගෞරවයක් බව මම විශ්වාස කරනවා.

ඒ නිසා අපි රස නොමරා රස විදිමු, මේ චිත්‍රපටය බලපු / කවදා හෝ බලන කෙනෙක්ට මේ ලියවිල්ල අත්වැලක් පමණක්ම වේවි.

Peléගේ පියාව ඇත්ත ජීවිතයේ දී අපිට හඳුන ගන්න ලැබෙන්නේ Dondinho යන නමින්. ඔහු තමයි Peléගේ ළමා කාලයේ හොඳම මිතුරා වගේම පාපන්දු පුහුණුකරු වෙන්නෙත්.

අතීතයේ දී (මේ කියන්නේ 1950ටත් පෙර කාලය ගැන) බ්‍රසීලයේ පාපන්දු ක්‍රීඩාව කියන්නේ ඒ තරම්ම මුදල් ගලා ගෙන ආපු ක්‍රීඩාවක් නෙවෙයි. ඒ නිසා බොහෝ දක්ෂ ක්‍රීඩකයින් ලීග් තරග ක්‍රීඩා කලත් ඒ තරගකාරී බව දිගුකාලයක් තිස්සේ පවත්වා ගෙන යන්න සමත් වෙන්නේ නැහැ. මොකද දරිද්‍රතාව සහ පවුල් බර ඔවුන්ගේ උර මතට කඩා වැටීම නිසා.

Dondinhoට සිදු වෙන්නෙත් අන්න ඒ අභාග්‍යමත් සිදුවීමට මුහුණ දෙන්න. ඔහුත් දක්ෂ ක්‍රීඩකයෙක්, නමුත් Peléට තරම් අවස්ථාවන් හිමි නොවුනු. මම හිතන්නේ තාත්තා කෙනෙක් විදිහට ඔහු තමන්ට යන්න බැරි වුණු මාවතේ තම පුතාට යන්න ඉඩ හදලා දෙනවා.

Dondinhoගේ රැකියාව වුනේ රෝහල් පිරිසිදු කරන්නෙක් විදිහට වැඩ කරන එක. කවුද හිතන්නේ මේ රෝහල් පිරිසිදු කරන දුගී මනුස්සයා පාපන්දු ක්‍රීඩාවෙන් වාර්තා තියපු කෙනෙක් කියලා.

ඔබ දන්නවා ද Dondinho නමට නිල නොලත් පාපන්දු ලෝක වාර්තාවක් තිබෙන බව. ඔහු එක තරගයක දී තමන්ගේ ඔලුවෙන් ගෝල පහක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.

“මගේ තාත්තා ඒක කළේ කොහොමද කියලා පැහැදිලි කරන්න පුළුවන් දෙවියන්ට විතරයි.”

Pelé තමන්ගේ පියාගේ වාර්තාව ගැන එහෙම කියලා තිබුණා. Pelé පස්සේ කාලෙක ලෝකයේ බිහි වුණු විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා බවට පත් වෙන්න ඇති, ඒත් ඔහුට කවදාවත් බැරි වුනා ඔහුගේ පියා Dondinhoගේ පෙර කියපු වාර්තාව අභිබවා යන්න.

Edson කොහොමද Pelé බවට පත් වුනේ?

ඒක හරි ලස්සන කතාවක්, ඔබට සිනමාපටය බැලුවොත් ඇත්ත කතාවට තවත් අඩු වැඩිය එකතු කරලා ලස්සන කරපු ඒ හේතුවත් බලාගන්න පුළුවන්.

ඔහුගේ නිවැසියන් ඔහුව හැඳින්වුවේ Dico නමින්, යහළුවනුත් එක්කෝ Dico කිවුවා, නැත්නම් Edson නමින් ඔහුව ආමන්ත්‍රණය කළා.

ඒත් Peléගේ තිබුණු වචන උච්චාරණයේ අසීරුතාවයක් උපහාසයට නංවන්න තවත් පාසලේ ළමයි කිහිප දෙනෙක් ඔහුව Pelé නමින් ආමන්ත්‍රණය කරන්න පටන් ගන්නවා.

ඔහු මේ අලුත් නමට කිසිම විදිහකින් කැමති වෙන්නේ නැහැ, නමුත් ඔහු ඒකට අකමැති බව දැනගත්තයින් තවත් වැඩියෙන් ඔහුට Pelé නමින් කතා කරන්න අනිත් අය පෙළඹුණා.

“ඔවුන් මට Pelé කියලා කතා කරද්දී මම ඒකට කැමති වුනේ නැහැ, මට හිතුණේ ඒක මහා කැත නමක් කියලයි.

පස්සේ මම තේරුම් ගත්තා මට කතා කරන නම අදාළ කර ගත යුතු නැති බව, දැන් මම ඒ නමට කැමතියි.”

Peléගේ මවත් අමතක කරන්න බැරි චරිතයක්

මේ සිනමාපටය ඇතුළේ ඔබට මුණ ගැහෙන සංවේදීම චරිත දෙකෙන් එකක් තමයි Peléගේ අම්මා.

“මගේ අම්මා පුදුමාකාර කාන්තාවක්, ඇය හැමතිස්සෙම පවුල ගැන වගේම මගේ අධ්‍යාපනය ගැන උනන්දු වුනා. ඇය මට ඉගැන්නුවා කොහොමද මිනිස්සුන්ට ගෞරව කරන්න ඕන කියලා.”

හැම අම්මා කෙනෙක්ම වගේ ඇයත් තමන්ගේ දරුවගේ අනාගතය ගැන හිතලා  ගන්න සමහර තීරණ ඔබේ ඇස් වලට කඳුලක් ගේන්න සමත් වේවි.සමහර තැන්වල දී ඇය තමන්ගේ සංවේදී හැඟීම් යටපත් කරන්න උත්සාහ කරන තැන්වල දී ඔබත් සංවේදී වේවි.

Pelé පාපන්දු ක්‍රීඩා කරනවාට ඇය මුලින් තදින්ම විරුද්ධ වෙනවා, මොකද ඇය දන්නවා ඔහුගේ ස්වාමි පුරුෂයාට පාපන්දු ක්‍රීඩා කරලා අවසානයේ ඉතිරි වුනේ මොනවද කියන්න.

“මුල් කාලේ මම පාපන්දු ක්‍රීඩා කරමින් ඉඳලා ඇයට අහු වුනාම මට ඇය තදින් බැන වදිනවා, සමහර විට ඒක ඊටත් වඩා නරක වෙන වෙලාවලුත් තියෙනවා.”

Ginga ශෛලිය සහ බ්‍රසීල පාපන්දු සංස්කෘතිය.

ඔබට 2014 පාපන්දු ලෝක කුසලානය ගැන මතකයක් තියෙනවා නම්, ඔබ දන්නවා ඒක මොන තරම් වර්ණවත් එකක් වුනා ද කියන්න.

ඔබ බ්‍රසීල පාපන්දු රසිකයෙක් නම් ඔබ දන්නවා ඔවුන් අනෙක් රටවලින් වෙනස් වෙන දේවල් මොනවද කියන්න සහ බ්‍රසීල ක්‍රීඩකයින්ගේ හැසිරීම් මොන වගේ ද කියන්න.

ඒ හැම දෙයක් ඇතුලෙම ගැබ් වෙලා තියෙන්නේ බ්‍රසීල පාපන්දු සංස්කෘතික ලක්ෂණ.

බොහෝ බ්‍රසීල ක්‍රීඩකයින් තමන්ගේ පාපන්දු ක්‍රීඩාව පටන් ගන්නේ වීදි වලින්, ඉතාම කුඩා අවධියේ පටන් පාපන්දුව පාදයේ කොටසක්ම කරගෙන ජීවත් වෙන බ්‍රසීල පාපන්දු සංස්කෘතිය ඇතුළේ තියෙන වඩාත් වටිනාම අංග දෙක වෙන්නේ Ginga නම් ක්‍රීඩා ශෛලිය සහ Samba නර්තන ශෛලිය.

Ginga භාවිත කරමින් අතීත බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ දස්කම් දක්වපු ක්‍රීඩකයින් අතරින් ඉහළින්ම රැඳෙන්නේ Pelé  සහ ඔහුගේ කණ්ඩායම් සගයා වුණු Garrincha යන දෙදෙනා.

Ginga කියන්නේ 16 වැනි සියවසේ දී අප්‍රිකාවෙන් බ්‍රසීලයට ආපූ ආත්මාරක්ශක සටන් කලාවක් වන Capoeira සහ Samba කියන නර්තන ශෛලිය එකට එකතු වෙලා නිර්මාණය වුණු ක්‍රීඩා රටාවක්. මේකත් සමගින් ඉතාම කාර්‍යක්ශමව වගේම උපක්‍රමශීලී ව පාපන්දුව හැසිරවීමේ අවස්ථාව ක්‍රීඩකයින්ට හිමි වෙනවා.

ඉහත දීත් කතා කරපු Samba නර්තන ශෛලියේ ආභාෂය අදටත් ඔබට දැක බලාගන්න පුළුවන් බ්‍රසීල ක්‍රීඩකයින් ගෝල සැමරුමක් කරන වෙලාවක දී.

මෙතන දී  Pelé ගැනත් විශේෂ යමක් සඳහන් කරන්න අවශ්‍යයි. ඔහුගේ කුඩා කාලයේ පුහුණුකරු වුණු Dondinho (ඔහුගේ පියා) Peléට පන්දුව කකුලට හුරු කරන්න මුලින්ම භාවිත කළේ ඉදුණු අඹ ගෙඩි කියලයි වාර්තාවල තියෙන්නේ.

ඒක ඔබට මේ සිනමා පටයේ දීත් දැක ගන්න ලැබේවී.

ඒ වගේම Ginga ක්‍රීඩා ශෛලිය ගැන, 1950 දී ලෝක කුසලානය පරාද වුනායින් පස්සේ මේ Ginga ශෛලියට එල්ල වුණු විවේචන ගැන, ඒ වගේම Pelé, Garrincha වගේ ක්‍රීඩකයින් මේ ශෛලිය උපයෝගී කරගන්නා විදිහත් ඔබට මේ සිනමාපටයෙන් දැකගන්න ලැබේවි.

හැබැයි පොඩි අවවාදයක් දෙන්න කැමතියි, චිත්‍රපටයේ පෙන්වන හැමදේම ඇත්ත නෙවෙයි!

චිත්‍රපටියේ තියෙන්නේ අතිශයෝක්තියෙන් පෙන්වලා දෙන ඇත්ත කතාවක්

ලිපියේ ආරම්භයේ දී ම කිවුවා වගේ, සිනමාවෙන් ඔබට දකින්න ලැබෙන්නේ ලුණු ඇඹුල් එකතු කරලා රස කරපු කතා. ඉතින් ඔබට ඇත්ත නැත්ත තෝරා බේරා ගන්න වෙනවා.

මේ ලිපියේ ප්‍රධානතම අරමුණ වෙන්නෙත් ඒකයි, මොකද මම ඉහතින් විස්තර කරපු ගොඩක් චරිත ස්වභාවයන්, සිදුවීම් ඔබට සිනමාපටයෙන් දකින්න පුළුවන්. නමුත් යම් අතිශයෝක්තියකුත් එක්ක.

උදාහරණයක් විදිහට චිත්‍රපටයෙන් Pelé  ගේ පියා ගැන අපිට ලැබෙන අදහස ඇත්ත ජීවිතයට වඩා ටිකක් කටුකයි, සිනමා පටයේ පෙන්වන්වාට වඩා දස්කම් පෙන්වපු ක්‍රීඩකයෙක් ඔහුගේ පියා.

ඒ වගේම චිත්‍රපටයේ අවසාන භාගයේ දී 1958 ලෝක කුසලාන තරගාවලියේ Peléගේ පළමු තරගය සහ ඊට පසුව ඔහුගේ ඉදිරි ගමන ගැන සිනමාපටයෙන් පෙන්වන්නේ අතිශය අතිශයෝක්තියකින් යුතුව. හොඳම උදාහරණය තමයි ඔහුගේ පළමු ලෝක කුසලාන ගෝලය චිත්‍රපටියේ නොපෙන්වීම!

නමුත් මේ හැම දෙයක් ඇතුලෙම Peléගේ කතාව වඩාත් සිනමාත්මකව ප්‍රේක්ෂකයාට සමීප කරවන්න චිත්‍රපට අධ්‍යක්ශකවරු වෙන Jeff Zimbalist සහ Michael Zimbalist විසින් සමත් වෙලා තියෙනවා.

ඒ අධ්‍යක්ෂණය සාර්ථක නිසාමයි අද ඒ ගැන මේ වගේ ලිපියක් ලියැවෙන්නෙත්.

චිත්‍රපටය ගැන යමක්.

2016 වර්ෂයේ දී තිරගත වෙන Pelé: Birth of a Legend සිනමාපටය ඉතා හොඳ ආදායම් වාර්තාවක් එක්ක ප්‍රේක්ෂකයාට සමීප වෙන්න සමත් වුනා.

මේක ප්‍රේක්ෂකයාට මුදා හැරෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ දී, නමුත් මේක රූපගත කරන්නේ Peléගේ නිජ බිම වුණු බ්‍රසීලයේ දී.

2014 බ්‍රසීලයේ පැවැත්වුණු පාපන්දු ලෝක කුසලානට සමගාමීව තමයි පළමු වතාවට මේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීම පිළිබඳ තොරතුරු මාධ්‍යයට මුදා හැරෙන්නේ.

ඒ වගේම මේ චිත්‍රපටයේ සංගීත සංයෝජනය කරන්නේ අපි කවුරුත් දන්න අපේ අසල්වැසියා A. R. Rahman විසින්. ඔහුගේ ඒ සංගීත සංයෝජනය 89 වැනි ඔස්කාර් සමාන උළෙලේ දී සම්මානයක් වෙනුවෙන් නාම යෝජනා අතර එක වෙන්නත් සමත් වුනා.

ඒ වගේම විශේෂයෙන්ම මතක් කළ යුතු දෙයක් තමයි මේ චිත්‍රපටයේ එක තැනක දී ඔබට ඇත්තම Peléවත් දකින්න ඉඩ ලැබේවී. ඔහු තත්පර ගානක දර්ශනයක් වෙනුවෙන් ආරධිත රඟපෑමක නිරත වෙලා තියෙනවා.

ප්‍රේක්ෂකයාගේ ඇස් අද්දරට කඳුලක් වගේම, අවසානයේ සිනහවක් ගෙන්නත් Pelé: Birth of a Legend සිනමාපටයට හැකියාව ලැබෙනවා.

අපි Peléගේ කතාවට, ඔහුගේ ක්‍රීඩා ජීවිතයට, ඒ ක්‍රීඩා ශෛලියට ආදරය කරන්න පටන් ගන්නවා.

එතැනින් පස්සේ ඔබ Pelé ගැන තව දුරටත් හොයන්න වෙහෙසෙනවා.

මොකද මේ සිනමාපටයෙන් ඔබට දකින්න ලැබෙන්නේ 1958 පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගයට වන තෙක් Peléගේ කතාව විතරයි.

හැබැයි එතනින් එහාට තමයි ඔහු පාපන්දු ලෝකයේ පුරාවෘත්තයක් වෙන ගමන ආරම්භ වෙන්නේ. ඒ නිසා ඔබට ඇත්තටම Pelé ගැන දැන ගන්න නම් චිත්‍රපටියෙන් පස්සේ අන්තර්ජාලය පීරන්න වෙනවා.

ඔබට හොයාගන්න සිදු වෙනවා ඇයි Peléව පුරාවෘතයක් විදිහට හඳුන්වා දෙන්නේ කියලා.

නවතම ක්‍රීඩා තොරතුරු දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<