පීතරයන්ට එරෙහි ජෝසප්වරුන්ගේ බලගැන්වීම

89 වැනි සාන්තුවරයන්ගේ සටන

221

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන සාන්තුවරයන්ගේ සටන මහා ක්‍රිකට් තරගය මේ මස 28 සහ 29 දිනවල කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

89 වැනි වරට පැවැත්වෙන මෙම තරගයේ දී සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කරන සදීශ ජයවර්ධන වෙතයි. සාන්ත පීතර විද්‍යාලය නිමුතු ගුණවර්ධන විසින් මෙහෙයවනු ලබයි.

මෙතෙක් පැවති වාර්ෂික මහා ක්‍රිකට් තරග අතරින් සාන්ත ජෝසප් විද්‍යාලය තරග 12ක් ජයග්‍රහණය කරමින් ඉදිරියෙන් පසුවෙන අතර ඔවුන් අවසන් වරට රුවන්ත ප්‍රනාන්දුපුල්ලේගේ නායකත්වය යටතේ 2008 වසරේ දී මහා තරගය ජය ගත්තා.

සාන්ත පීතර විද්‍යාලය ජයග්‍රහණය කර ඇති මහා සංග්‍රාම ගණන 10ක්. ඔවුන් අවසන් වරට  විනු මොහොට්ටිගේ නායකත්වය යටතේ 2016 වසරේ දී ජය ලබා ගන්නවා. ඒ අනුව සාන්තුවරයන්ගේ සටනේ ජයග්‍රාහකයන්ට පිදෙන Maurice Le Goc පියතුමා අනුස්මරණ කුසලානය ආසන්නත ම ජයග්‍රාහකයන් ලෙසින් වසර 7ක් තිස්සේ රඳවා ගෙන තිබෙන්නේ සාන්ත පීතර විද්‍යාලයයි.

තරග 66ක් නොවිසඳුණ තරග ලෙසින් ඉතිහාසයට එක් වෙනවා.

සාන්තුවරයන්ගේ සටනේ ජයග්‍රහණ බෙදී ගිය ආකාරය
සාන්ත ජෝසප් විද්‍යාලය සාන්ත පීතර විද්‍යාලය
වර්ෂය තරගය නායකයා වර්ෂය තරගය නායකයා
1 1933 1 රොබට් ප්‍රනාන්දු 1946 12 Dion Walles
2 1934 2 ක්ලෝඩ් විජේසිංහ 1947 13 Dion Walles
3 1940 8 Czerny Serpanchy 1955 21 ක්ලයිව් ඉන්මාන්
4 1944 10 මැල්කම් ද කොස්තා 1965 31 ට්‍රැවිස් ප්‍රනාන්දු
5 1945 11 මැල්කම් ද කොස්තා 1967 33 ටෝනි ඕපාත
6 1948 14 ජෝ ද මෙල් 1973 39 ගාමිණී ගුණසේන
7 1949 15 ටොමි රොද්‍රිගෝ 1978 44 සුරාජ් අබේසේකර
8 1952 18 Ken Surpanchy 2010 76 චතුර පීරිස්
9 1956 22 කීර්ති කල්දේරා 2012 78 ෂෙහාන් ප්‍රනාන්දු
10 1970 36 හෙක්ටර් පෙරේරා 2016 82 විනූ මොහොට්ටි
11 1972 38 රොහාන් ප්‍රනාන්දු
12 2008 74 රුවන්ත ප්‍රනාන්දුපුල්ලේ

සාන්ත ජෝසප් විද්‍යාලය

සාන්ත ජෝසප් විද්‍යාලය මෙවර සාන්තුවරයන්ගේ සටනට එක් වෙන්නේ නිමා වූ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ Tier A කාණ්ඩයේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමඟ සම ශූරයන් වෙමින්.

දක්ෂ පිතිකරුවන් රාශියකගෙන් සමන්විත ඩාලි පාර ක්‍රීඩකයන් අතරින් ඉදිරියෙන් ම සිටින විශ්වාසවන්ත ම පිතිකරුවා වන්නේ නායක සදීශ ජයවර්ධන. දකුණත් පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දක්වන සදීශ නිමා වූ පාසල් ක්‍රිකට් තරග සමයේ දී කොළඹ වෙස්ලි විද්‍යාලයට ලකුණු 117ක්, කුරුණෑගල මලියදේව විද්‍යාලයට ලකුණු 134ක් සහ මොරටු විද්‍යාලයට එරෙහිව ලකුණු 121ක් වාර්තා කිරීමට සමත් වෙනවා. එම ලකුණුත් සමඟ ඔහු මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ දී ලකුණු 1000ක් ලබා ගත් පිතිකරුවන් අතරට ද එක් වුනා.

පිතිකරුවෙක්ට අමතර ව සදීශ කඩුලු රකින්නා ලෙස ද කටයුතු කරමින් කණ්ඩායමට සිය දායකත්වය දක්වනවා.

නරේන් මුරලිදරන් ද සාන්ත ජෝසප් විද්‍යාලයීය පිතිකරු ලැයිස්තුවේ විශ්වාසවන්ත පිතිකරුවෙක් බවට පත් ව තිබෙනවා. ඔහු මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ දී ලකුණු 600කට ඉහළ සංඛ්‍යාවක් ලබා ගන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව නොදැවී ලබා ගන්නා ලද ලකුණු 131ක් සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එරෙහිව ලබා ගන්නා ලද ලකුණු 102ක් ද සමඟයි.

කණ්ඩායමේ එක ම ද්විත්ව ශතකලාභියා වන හිරාන් ජයවර්ධන ද ප්‍රතිවාදීන්ගේ සිත් සසළ කරන පිතිකරුවෙක් ලෙසින් සැලකෙනවා. ඔහු රාජකීය විද්‍යාලයට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 200ත් සමඟින් මෙවර තරගාවලියේ ලකුණු 500ක් ඉක්මවා ලබා සිටිනවා.

ඊට අමතර ව සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එරෙහිව ලකුණු 101ක් ලබා ගනිමින් පාසල් තරග මාලාවේ දී ලකුණු 500ක් ඉක්මවා සිටින අවින්ත ද අල්විස් ද විශ්වාසවන්ත ජෝසප්වරයෙක් ලෙසින් හඳුන්වනවා.

එමෙන් ම මුදිත දිසානායක, ලහිරු අමරසේකර, හිරාන් කපුරුබණ්ඩාර, රිශ්ම අමරසිංහ සහ සහන් දාබරේ ද සාන්ත ජෝසප් කණ්ඩායම වෙනුවෙන් සන්නද්ධව සිටින සාන්ත ජෝසප්  පිතිකරුවන් ලෙසින් විශ්වාසය දිනා සිටිනවා.

පන්දු යැවීවේ දී ලහිරු අමරසේකර සහ යෙනුල දෙව්තුස කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් බවට පත් ව තිබෙනවා. ඔවුන් දෙදෙනා එක්ව නිමා වූ පාසල් ක්‍රිකට් සමයේ දී කඩුලු ශතකයක් ඉක්මවා දවාගනිමින් දක්ෂතා දැක් වූ අයයි.

ඊට අමතර ව මුදිත දිසානයක සහ ගයාන් චමෝද් ද පන්දු යවන්නන් ලෙසින් මෙම මහා ක්‍රිකට් තරගයේ දී දක්ෂතා දක්වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි.

සාන්ත ජෝසප් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: සදීශ ජයවර්ධන (නායක), ෂෙවෝන් ඩැනියෙල්, නරේන් මුරලිදරන්, හිරාන් ජයසුන්දර, හිරුන් කපුරුබණ්ඩාර, මුදිත දිසානායක, අවින්ත ද අල්විස්, ලහිරු අමරසේකර, මානස මධුභාෂණ, යෙනුල දෙව්තුස, ගයාන් චමෝද්, රිෂ්ම අමරසිංහ, දිනුක් සේරසිංහ, කෙනත් ලියනගේ, අභිශේක් ජයවීර, සසංක රණවීර.

නිලධාරීන්; රංජිත් අන්ද්‍රාදි පියතුමා (විදුහල්පති), ප්‍රියාන් සුබසිංහ (ක්‍රීඩා භාර ආචාර්ය), ආසිරි කල්දේරා (ක්‍රිකට් භාර ආචාර්ය), ටොරින් පිටිගල (පන්දු රැකීමේ පුහුණුකරු), ඩිනාල් දඹරගේ (සහාය පුහුණුකරු), ඩිලාන් රාමනායක (පුහුණුකරු), එස්. රවින්ද්‍රන් (ලකුණු සටහන්කරු)

සාන්ත පීතර විද්‍යාලය

සාන්ත පිතර විද්‍යාලයීය කණ්ඩායමේ පිතිකරුවන් අතරින් ඉහළ දක්ෂතා දක්වා ඇත්තේ දකුණතින් පිත්ත හසුරුවන නායක නිමුතු ගුණවර්ධන. ඔහු මෙවර තරගාවලියේ ලකුණු 700 සීමාව ඉක්මවා ලබා ගනිමින් තම කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ද ඉටු කළා. ඔහුගේ දක්ෂතා අතරට සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව ලබා ගත් ශතකයක් ද තිබෙනවා.

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන විශේන් හැළඹගේ සාන්ත පීතරයන් සතු වඩාත් සටන්කාමී සඟයෙක් ලෙස හැඳින්විය හැකි. තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ඔහු මෙවර පාසල් ක්‍රිකට් තරගවාරයේ දී ලකුණු 600 සීමාව ඉක්මවා ලබා ගෙන තිබෙනවා.

එමෙන් ම දක්ෂතා දැක් වූ ඉදිරිපෙළ පිතිකරුවන් අතරින් ඔවීන් සල්ගාදුට ද හිමි වෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්. ඔහු කොළඹ, ඉසිපතන විද්‍යාලයට එරෙහිව ඉනිම් දෙකේ දී ම ශතක වාර්තා කරමින් දක්ෂතා දැක්වූ අතර මොරටුව සාන්න සෙබසතියන් විද්‍යාලයට එරෙහිව ද ශතකයක් ලබා ගනිමින් කණ්ඩායමේ වැඩිම ශතකලාභියා බවට පත් වෙනවා.

ඊට අමතර ව කණ්ඩායමේ කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව ශතකලාභීන් රුසඳ ගමගේ, කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව ශතකලාභී ලකිඳු සමරජීව මෙන් ම කවික ජයසුන්දර සහ උපනායක සංශේ ගුණතිලක ද නිමා වූ පාසල් ක්‍රිකට් තරගවාරයේ දී ලකුණු 500 ඉක්මවා ලබා ගනිමින් දක්ෂතා දක්වමින් කණ්ඩායම හා එක්වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

කණ්ඩායමේ පන්දු යවන්නන් අතරින් ෂෙනෝන් රොද්‍රිගෝ, කවික ජයසුන්ද සහ නායක නිමුතු ගුණවර්ධන ඉදිරියෙන් පසුවෙන අතර ඔවුන්ට අමතර ව ෂේන් රොබට් සහ සචින් පෙරේරා ද විශ්වාසය තැබිය හැකි පන්දු යවන්නන් ලෙසින් හැඳින්විය හැකියි.

සාන්ත පීතර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; නිමුතු ගුණවර්ධන (නායක) සංශේ ගුණතිලක (උප නායක) රුසද ගමගේ, ෂෙනොන් රොද්‍රිගෝ, විශේන් හැළඹගේ, ඔවින් සල්ගාදු, කවික ජයසුන්දර, ලෂ්මික පෙරේරා, ඩිලන දම්සර, ලකිඳු සමරජීව, ෂේන් රොබට්, නේතන් ඩේවිඩ්, චමිඳු පෙරේරා, ඉෂිර ආයුපාල, රිතිල සුරවීර, දිනෙත් ද සිල්වා, අනුප ගරුමාන්න, සචින් පෙරේරා, වෙනුක් හේමචන්ද්‍ර, ආරෝන් මෝසස්.

නිලධාරීන්; රෝහිත රොද්‍රිගෝ පියතුමා (විදුහල්පති), මිලාන් බර්නාඩ් පියතුමා (ක්‍රීඩා සම්බන්ධීකාරක), සුනන්ද ප්‍රනාන්දු (ක්‍රිකට් භාර ආචාර්ය) ශානක ප්‍රනාන්දු (ප්‍රධාන පුහුණුකරු) යොහාන් ධර්මවර්ධන (සහාය පුහුණුකරු) ඩී. එන්. පතිරණ (ලකුණු සටහන්කරු)

මෙම තරගයේ තීරණයක් අපේක්ෂාවෙන් පෙර වසරවල දී සේ ම කණ්ඩායම් දෙකට ම පළමු ඉනිම පන්දුවාර 60කට සීමා කර තිබෙනවා.

සාන්තුවරයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සමගාමීව පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය මේ මස 30 වැනිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

1975 දී ආරම්භ වූ මෙම තරග පොකුර මෙවර පැවැත්වෙන්නේ 49 වැනි වරටයි. නිමා වූ තරග 48න් තරග 24ක් සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ ජයග්‍රහණය කර ඇති අතර ඔවුන් අවසන් වරට 2021 වසරේ දී ෂෙරාන් ෆොන්සේකා යටතේ ජයග්‍රහණය ලබා ගත්තා.

සාන්ත පීතර විද්‍යාලය මෙතෙක් ජයග්‍රහණය කර ඇත්තේ තරග 21ක් පමණක් වූවත් 2022 වසරේ දී වනුජ සහන් ගේ නායකත්වය යටතේ ජයග්‍රහණය කරමින් ලබා ගත් පීටර් ඒ. පිල්ලේ පියතුමා අනුස්මරණ කුසලානය තිබෙන්නේ ඔවුන් සතුවයි.

එක්දින සීමිත පන්දුවාර තරගවල තරග 2ක් විසඳුමකින් තොරව අවසන් ව ඇති අතර 2001 වසරේ පැවැති තරගය ලකුණු සම වීමෙන් අවසන් ව තිබෙනවා.

සාන්තුවරයන්ගේ සටනේ දෙදින සහ එක්දින කුසලාන ද්විත්වය ම මේ වෙද්දී සුරක්ෂිතව රැදී පවතින්නේ බම්බලපිටියේ ය. ඒ මෙම තරග ද්විත්වයේ ම ආසන්නත ම ජයග්‍රාහකයන් ඔවුන් බැවිනුයි.

එබැවින් මෙවර තරගයේ දී සාන්තුවරයන්ගේ කුසලාන සිහිනයේ කිමිදෙමින් සිටින සාන්ත ජෝසප්වරුන් වඩාත් සටන්කාමී සඟයන්ගෙන් ගහණව පිටියට පිවිසෙනු නොඅනුමායි. එසේ වෙද්දී සාන්ත පීතරයන් ද ඊට සරිලන කණ්ඩායමකින් පිටියට පිවිසිම වැලැක්විය නොහැකියි.

සාන්තුවරයන්ගේ සටන සඳහා එක්වෙන සාන්ත ජෝසප් විද්‍යාලයට සහ සාන්ත පීතර විද්‍යාලයට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!

තරගයේ උණුසුම ඒ ආකාරයෙන් ම විඳ ගැනීමට Dialog Axiata PLC සමාගම උරදී තිබෙනවා. ඒ අනුව මෙම තරගය Dialog ටෙලිවිෂන් නාලිකා අංක 70 ඔස්සේත්, ThePapare.com ඔස්සේත් සහ Dialog ViU App ඔස්සේත් සජීවීව නැරඹීමටත් අවස්ථාව සලසා දී තිබෙනවා.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<