63 වැනි මැංගුස් සටන ජය පැරදුමෙන් තොරයි

63rd Battle of the Mangosteen

218
63rd Battle of the Mangosteen

කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලය අතර 63 වැනි වරටත් පැවැත්වුණු “මැංගුස් සටන” අද (22) ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව පළමුව පන්දු යැවීමට තිස්ස නායක ශරීන් ද සිල්වා විසින් තීරණය කළ අතර, ඒ අනුව කළුතර විද්‍යාලය වෙනුවෙන් පිතිකරණය ආරම්භ කිරීමට ලිවිරු සෙන්මිත් සහ කෞශිල අමෝධ්‍ය පිටියට පිවිසුණා.

නමුත් ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 8කට සීමා කරමින් කෞශිල ලකුණු 6කට පිටියෙන් ඉවත් කිරීමට තිස්ස විද්‍යාලයේ අජිත බුද්දිල විසින් සමත් වූ අතර පසුව ලිවිරු සමඟින් පිටියේ එක් වූ යුතික දිල්රුක් කළුතර ඉනිමට මනා අඩිතාලමක් දැමීමට සමත් වුනා.

ඔවුන් විසින් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 95ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර වේගවත් ඉනිමක් දියත් කළ යුතිකගේ දැවී යාමෙන් අනතුරුව කළුතර ඉනිම කෙමෙන් බිඳ වැටෙන්න පටන් ගත්තා.

මෙහි දී යුතික විසින් පන්දු 62කට පමණක් මුහුණ දෙමින් ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහුට අනෙක් පසෙන් සහය සිටි ලිවිරුට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 29ක් පමණයි.

කළුතර ඉනිමේ බිඳ වැටීම ආරම්භ වීමත් සමඟම ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය ද තරමක් අඩු වූ අතර ඉනිමේ මැද භාගයේ දී තීක්ශණ තාරුක විසින් ලබා ගත් ලකුණු 52 කළුතර කණ්ඩායමට ලකුණු 200 සීමාව ඉක්මවා යාමට සහය ලබා දුන්නා.

ඊයේ දිනය නිමා වීමට මද වේලාවක් ඉතිරි ව තිබිය දී පන්දුවාර 73යි පන්දු 2කට මුහුණ දුන් කළුතර විද්‍යාලය සියල්ලන් දැවී ලකුණු 241ක් රැස් කිරීමට සමත් වූ අතර, ඔවුන්ගේ පිතිකරණ බලඇණියට ප්‍රබලතම අභියෝගය බවට පත් වෙමින් තිස්ස විද්‍යාලයේ මලිඳු ඩිල්ශාන් විසින් ලකුණු 50කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා. ඊට අමතරව නඳුන් ද සිල්වා විසින් කළුතර ඉනිමේ කඩුලු 3ක් බිඳ දැමීමට සමත් වුනා.

ඒ අනුව කළුතර විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු 241කට පිළිතුරු ඉනිම දියත් කිරීමට තිස්ස විද්‍යාලයේ ආරම්භක පිතිකරු යුගලය අශාන් විශ්ව සහ මල්ශ කවිශාන් පිටියට පිවිසුන ද, ඔවුන්ට ආරම්භක කඩුල්ල වෙනුවෙන් රැස් කිරීමට හැකියාව ලැබුණේ ලකුණු 16ක් පමණයි.

ලකුණු 10ක් ලබා සිටි අශාන් තිස්ස ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී යාමෙන් අනතුරුව තෙනුශ්ක අශේන්, මල්ශ සමඟින් පිටියේ එක් වූ අතර ඔවුන් දෙදෙනා විසින් තිස්ස ඉනිම ස්ථාවර කිරීමට සමත් වුනේ ලකුණු 85ක සබඳතාවක් පිහිටුවමිනුයි. ඔවුන්ගේ සබඳතාව ආරම්භ වී මොහොතකට පසුව තරගයේ පළමු දිනය නිමා වූ අතර ඒ වන විට තිස්ස පළමු ඉනිම ලකුණු 34කට 1 කඩුල්ලක් ලෙස දිස් වුනා.

ඊයෙ හවස් භාගයේ මෙන් ම, අද උදෑසන ද ඔවුන් විසින් මෙම සබඳතාව ඉතා සෙමෙන් දියත් කරමින් පැමිණි අතර පන්දු 100ක දී ලකුණු 58ක් රැස් කර සිටි තෙනුශ්ක තිස්ස ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියා. ඉන්පසුව තිස්ස ඉනිමේ තවත් කඩුලු දෙකක් ඉක්මනින් දැවී ගිය අතර කණ්ඩායම් නායක ශරීන් ද සිල්වා නැවතත් මල්ශ සමඟින් එක් වී ඉනිම බිඳ වැටීම නතර කිරීමට සමත් වුනා.

ඔවුන් දෙදෙනා විසින් ඉතා සෙමෙන් ලකුණු 62ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර තිස්ස ඉනිමේ ලකුණු සංඛ්‍යාව 164ක් වන විට ඉනිමේ පස්වැනි කඩුල්ල ලෙස ලකුණු 32ක් ලබා සිටි ශරීන් දැවී ගියා.

ඉන්පසුව ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි මල්ශගේ කඩුල්ල දවා ගැනීමට තීක්ෂණ තාරුක විසින් සමත් වූ අතර ඒ වන විට මල්ශ විසින් පන්දු 180ක් වැය කර ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වුනා.

එතැන් පටන් කණ්ඩායම් දෙක ම තරගයේ ජයග්‍රහණයක් සොයනවා වෙනුවට තම අභිමානය රැක ගැනීම වෙනුවෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් සොයා යන බව පෙනී ගියා. කණ්ඩායම් දෙකම දිනය නිමා වීමට ආසන්න මොහොත තෙක් ම එකිනෙකා හා අභියෝගාත්මක ව ක්‍රීඩා කළ අතර  ඉනිමේ 96 වැනි පන්දුවාරය ආරම්භ වන විට තිස්ස විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 232ක් ලබා සිටියා.

ඒ වන විට පළමු ඉනිමේ කළුතර විද්‍යාලය ලබා ගත් ලකුණු 241ට වඩා තිස්ස විද්‍යාලය ලකුණු 9ක් පිටුපසින් සිටියා. නමුත් ඉනිමේ 95 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවෙන් තිස්ස විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 233කට සීමා කිරීමට කළුතර විද්‍යාලය සමත් වූ අතර, ඒත් සමඟම තරගයේ දෙවැනි දිනයේ නිමාව සනිටුහන් කිරීමට තරග විනිසුරුවන් විසින් පියවර ගත්තා.

තරගයේ නිමාව සටහන් වන විට තිස්ස විද්‍යාලය අබිබවා පළමු ඉනිමේ ලකුණු 8ක වාසියක් ලබා ගැනීමට කළුතර විද්‍යාලය සමත් වූ නමුත් තරගය ජය පරාජයෙන් තොරව නිමාව දුටුවා.

තිස්ස ඉනිම නිමා කිරීමට කළුතර විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වීමට උදාන් තේජක විසින් සමත් වුනේ ලකුණු 38කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වෙමිනුයි.

ඊට අමතරව දිනුක තිසර සහ හංසක අනුපම කඩුලු 2ක බැඟින් බිඳ හෙළීමට සමත් වුනා.

කළුතර විද්‍යාලය පළමු ඉනිම: 241/10 (73.2) යුතික දිල්රුක් 74, තීක්ශණ තාරුක 52, හන්සක අනුපම 36, මලිඳු ඩිල්ශාන් 50/4

තිස්ස මධ්‍ය විද්‍යාලය පළමු ඉනිම: 233/10 (95.4) තෙනුශ්ක අශේන් 58, මල්ශ කවිශාන් 52, ශරීන් ද සිල්වා 32, උදාන් තේජක 4/38

  • හොඳම පන්දු යවන්නා – මලිඳු ඩිල්ශාන් (තිස්ස විද්‍යාලය)
  • හොඳම පිතිකරුවා – යුතික දිල්රුක් (කළුතර විද්‍යාලය)
  • හොඳම පන්දු රකින්නා – තෙනුශ්ක අශේන් (තිස්ස විද්‍යාලය)
  • තරගයේ වීරයා – යුතික දිල්රුක් (කළුතර විද්‍යාලය)

විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරග පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<