ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවට පුහුණු තරග දෙකක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

748
File Photos

ඔක්තෝබර් 17 වැනිදා ආරම්භ වීමට නියමිත 2021 විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර බංග්ලාදේශය සහ පැපුවා නිව් ගිනියාව සමඟ නිල පෙර සූදානම් වීමේ තරග (Official warm-up games) දෙකක් සඳහා ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිතයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන මෙම තරග ද්විත්වය ඔක්තෝබර් 12 වැනිදා බංග්ලාදේශය සමඟත්, 14 වැනිදා පැපුවා නිව් ගිනියාව සමඟත් පැවැත්වීමට නියමිතයි.

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාව Group A ඔස්සේ තරග කරන අතර ඔවුන් සහභාගී වන පළමු තරගය ඔක්තෝබර් 18 වැනිදා නැමීබියාව සමඟ පැවැත්වීමට නියමිතයි. ඉන්පසුව අයර්ලන්තය සමඟ 20 වැනිදාත්, නෙදර්ලන්තය සමඟ 22 වැනිදාත් ශ්‍රී ලංකාව තරග කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව එම කාණ්ඩයේ පළමු ස්ථාන දෙක අතරට පිවිසීමට සමත් වුවහොත් සුපිරි 12 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා අතර එහි දී ඔවුන් බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ B2 ඔස්සේ පැමිණෙන රට සමඟ පළමු වටයේ තරග සඳහා සහභාගී වනු ඇත.

කණ්ඩායම් 16කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලානයේ සියලු තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<