මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එකතු වෙයි

676

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන මහතා එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා තරග වදින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයෙකු ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව මහේල ජයවර්ධන මහතා එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ (First Round) අවසානය දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමඟ කටයුතු කරමින් සිය දැනුම බෙදා ගැනීමට සූදානමින් පසුවනවා. 

ඉන්පසුව ඔහු ශ්‍රී ලංකා 19න් පහළ ජාතික කණ්ඩායම සමඟ එකතු වී මාස 5කට ආසන්න කාලයක් ඔවුන් වෙත සිය දැනුම සහ අත්දැකීම් බෙදා දීමට නියමිතයි. ඒ, එළඹෙන වසර ආරම්භයේ දී පැවැත්වීමට නියමි​ත 19න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගෙනයි. 

මේ දිනවල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ජයවර්ධන මහතා එම තරගාවලිය අවසන් වූ වහාම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) පැමිණෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෛව ආරක්ෂිත බුබුල (Bio bubble) සමඟ එකතු වීමට නියමිතයි.

ඉන්පසුව ඔක්තෝබර් 16 වැනිදා සිට 23 වැනිදා දක්වා සතියකට ආසන්න කාලයක් ඔහු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලය සමඟ එක්ව සිය අත්දැකීම්, IPL තරගාවලිය තුල එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ තණතීරුවල හැසිරීම සහ එහි ස්වභාව​ය පිළිබඳව සිය දැනුම බෙදාගැනීමට නියමිතව සිටිනවා. 

“මහේලගේ මේ නව තනතුරු සඳහා අපි ඔහුව ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ඔහුගේ මේ එකතු වී​ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට සහ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩකයින්ට විශාල සවියක් වෙයි කියලා අපි විශ්වාස කරනවා”, යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළ මාධ්‍ය නිවේදනය වෙනුවෙන් අදහස් දක්වමින් පවසා තිබෙනවා.

ජයවර්ධන මහතාව මේ තනතුරු දෙක සඳහා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන්නේ අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශක කමිටුව විසින් කරන ලද නිර්දේශයන් මතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<