දූෂණ වංචා දිගටම මේ ක්‍රීඩාවේ කොටසක් වෙලා තිබ්බා – සංගක්කාර

374
Kumar Sangakkara

2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී මුදලට තරග පාවාදීමක් සිදු වූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ විසින් පසුගිය ජුනි මාසයේ දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කරන්නට විය.

ඒ අනුව 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදු කරනු ලැබූ වෙනස්කම් හතර පිළිබඳව ඔහු මෙහි දී විශේෂයෙන් චෝදනා එල්ල කර සිටින්නට වූ අතර කෙසේ නමුත් අනතුරුව ඊට අදාළව ගැඹුරින් සිදු කරන ලද පරීක්‍ෂණයක් හරහා ක්‍රීඩා අමාත්‍යංශය විසින් එම චෝදනා බැහැර කරමින් පරීක්‍ෂණය නවතා දමන්නට තීරණය කරනු ලැබීය. චෝදනාවලට අදාළව මෙහි දී සිදු කරන ලද එම පරීක්ෂණයේ දී එම කාලවකවානුවේ දී කණ්ඩායමේ නායකත්වය දැරූ කුමාර් සංගක්කාරගෙන් ද ප්‍රශ්න කරන්නට විය. 

ඒ අනුව මෙම සිදුවීම පිළිබඳව Cricbuzz වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් සංගක්කාර පවසා සිටියේ එවන් දෙයකට මුහුණ දීමට සිදුවීම කණගාටුදායක වුවත් අනෙක් පසින් එය ක්‍රීඩාවටට හිතකර වන බවයි. 

“ඒක කණගාටුදායකයි වගේම සමහර වෙලාවට හරිම හාස්‍යජනකයි. ඒ වගේ සිදුවීමකට මෑතක දී මුහුණ දෙන්න වුනා හිටපු ක්‍රීඩා ඇමතිවරයෙක් තේරුමක් නැති ප්‍රකාශයක් කරලා ඊට අදාළ පරීක්ෂණයට ගිහින් අපිට පිළිතුරු ලබා දෙන්න වීමත් එක්ක.  

ඇත්තටම කියනවා නම් ඒකට මට, තේරීම් කමිටුවට නැත්නම් මහේලට හරි එහෙමත් නැත්නම් වෙන කාටහරි මුහුණ දෙන්න වුනත් ඒ ප්‍රකාශ නිකුත් කරන එක වගේම ඒවාට ගිහින් පිළිතුරු ලබා දෙන එකත් ක්‍රීඩාව අතින් ගත්තොත් ක්‍රීඩාවට ගොඩක් හිතකරයි. මොකද මම හිතනවා ඒ ක්‍රියාවලිය ගොඩක් වැදගත් කියලා ක්‍රීඩාවට ගෞරව කිරීම කියන්නේ මොකක්ද කියලා මිනිස්සුන්ට තේරුම් ගන්න. 

ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍යයි අවංක වගේම හිතේ තියෙන දේ කෙළින්ම කියන්න බය නැති මිනිස්සු. ඒ වගේම ඔබට මොනවා හරි ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න වෙනවා නම් ඔබ හැංගෙන්න අවශ්‍ය නැහැ සහ ඒ හැම ප්‍රශ්නෙකටම පිළිතුරු ලබා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. 

දේශපාලනය ගැන සලකලා බලනකොට නිල මට්ටමකින් ක්‍රීඩාවට සම්බන්ධ දේශපාලනික වගේම සදාචාරාත්මක ලෙසත් දූෂිත පුද්ගලයින් ඉන්න කොට ඔබට තේරෙනවා මේ හැමදෙයක්ම එන්නේ කොහෙන්ද කියලා. ඉතින් ඒ අයගේ අරමුණු මොනවද කියන එක අනුමාන කරන්න අපි බයවෙන්න ඕනේ නැහැ.” 

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ දූෂණ වංචා තරමක් ඉහළ අගයක් ගෙන ඇති බව හඳුනා ගත හැකි අතර ඊට අදාළව දිල්හාර ලොකුහෙට්ටිගේ සහ නුවන් සොයිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝණය කිරීම හේතුවෙන් තහනමකට ලක්වීමේ සිදුවීමත්, තවදුරටත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වන සනත් ජයසූරිය ICCයේ දූෂණ විරෝධී ඒකකයට සහය දැක්වීමට ප්‍රතික්‍ෂේප කිරීමේ සිදුවීමක් පාදක කරගෙන ඔහුව වසර 2ක කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම කටයුතුවලින් තහනම් කිරීමේ අවස්ථාවත් පෙන්වා දිය හැක. එමෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පසුගිය වසරේ දී තරග පාවාදීමට අදාළ සියලුම වැරදි අපරාධ ගතකරමින් ඊට අදාළ පනත් කෙටුම්පතක් ද සම්මත කිරීමට කටයුතු කරනු ලැබීය.  

මෙම පිළිබඳව අදහස් දක්වමින් සංගක්කාර පවසා සිටින්නේ ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ දුර්වල ආකෘතිය දූෂණ වංචා පැතිර යාමට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.

“මම හිතන විදිහට දූෂණ වංචා දිගටම මේ ක්‍රීඩාවේ කොටසක් වෙලා තිබ්බා. අවාසනාවකට වගේ ඒක වුනේ ගණන්වල සහ 2000 මුල් අවදියේ. පසුව ඒක තරග සහ අවස්ථාවන් පාවාදීම දක්වා ආවා.

පස්සේ ක්‍රීඩාවට අත්දැකීම්, දැනුම, සහ ආත්ම ගෞරවය බෙදා දෙන්න පුළුවන් වගේම ක්‍රීඩාවේ මූල ධාතූන්, සංස්කෘතිය සහ සම්ප්‍රදායන් තරුණ කණ්ඩායමකට ලබා දෙන්න පුළුවන් ක්‍රිකට් ක්‍රීඩාවේ පැරණි ප්‍රබලයින් හිඟ වුණාම ඒ වගේ කණ්ඩායමක් දුර්වල වෙනවා වගේම අවදානමකට ලක්වෙනවා. 

වසර ගණනාවක් පුරාවට අපි ශ්‍රී ලංකා කණ්ඩායම ගැන බැලුවොත් ඒ දැනුම තරුණ ක්‍රීඩකයින්ට බෙදා දෙන සහ ක්‍රීඩකයින්ට ඔවුන්ගේ වගකීම් හරියාකාරව තේරුම් කරලා දෙන ඒ පැරණි ක්‍රිකට් ප්‍රබලයින් අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. 

දැන් අපි ක්‍රීඩා සමාජයකට ගිහින් බැලුවොත් අපිට දැකගන්න ලැබෙන්නේ ඉන්න අත්දැකීම් බහුලම ක්‍රීඩකයින් හැමෝම වගේ ඕස්ට්‍රේලියාවට සහ එංගලන්තයට යන විදිහ. මොකද ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරන එක මේ වෙනකොට වෘත්තීමය ස්වභාවයක් ගන්නේ නැති තත්වයකට පත්වෙලා තියෙනවා. 

ඉතින් ඔබට ජීවත් වෙන්න මුදල් හොයාගන්න නම් ඔබ වෙනත් රටකට යනවා. එතකොට මේ ක්‍රීඩා සමාජවලට එන තරුණ ක්‍රීඩකයින් ඔක්කොටම ඒ අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වෙලා යනවා. ඉතින් ඒ වගේ දුර්වල සහ අවදානම් සහගත පළමු පෙළ ආකෘතියක් තියෙන කොට දූෂිත පුද්ගලයින්ට ක්‍රීඩකයින් හරහා ඔවුන්ගේ දූෂණ වංචා වල නිරත වෙන එක පහසු වෙනවා.”

ශ්‍රී ලංකාවේ දුර්වල පළමු පෙළ ක්‍රිකට් ආකෘතිය හරහා දූෂණ වංචාවලට මඟ පෑදෙන ආකාරයට අමතරව දක්‍ෂ ක්‍රීඩකයින් ඉදිරියට ගෙන ඒමට සලස්වන නිසි පද්ධතියක් නොමැති වීම පිළිබඳව ද සංගක්කාර මෙහි දී සිය අදහස් පළකරන්නට විය.

“දක්‍ෂ, තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ට විශිෂ්ට ක්‍රීඩකයින් දක්වා ඉදිරියට යන්න අවශ්‍ය පද්ධතිය සහ මඟපෙන්වීම ඔවුන්ට ලබා දෙන්න අපි අසමත් වෙලා තියෙනවා. මම හිතන විදිහට ඒක දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ පද්ධතියේ තියෙන ලොකු අසාර්ථකත්වයක්.

අපි පළමු පෙළ ක්‍රිකට් පද්ධතිය සහ ආකෘතිය ගැන නිසි අවධානයක් යොමුනොකර හැමතිස්සේම ඒ ගැන පසුපසින් ඉඳලා තියෙන්නේ. අනෙක් රටවල් ගත්තොත් ඔවුන් ඔවුන්ගේ ඒ පද්ධතීන් නිසි පරිදි වැඩිදියුණු කරගෙන තියෙන්නේ. 

ශ්‍රී ලංකාව තුළ අපි හැමවෙලේම කියන කතාවක් තියෙනවා ක්‍රීඩකයෙකුගේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ පළවෙනි අවුරුදු දෙක තුළ අපි ඔවුන්ට උගන්නන්නේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන හැටි කියලා. මට හිතෙනවා ඒක දැන් ඉස්සරටත් වඩා ගොඩක් අපිට ගොඩක් අදාළයි කියලා. ඉතින් අපි අපේ පළමු පෙළ ක්‍රිකට් පද්ධතිය නිසි පරිදි සකස් කරලා, වැඩිදියුණු කරලා මේ ක්‍රීඩකයින්ට අනාගතයේ දී විශිෂ්ට ක්‍රීඩකයින් වෙන්න අවශ්‍ය හොඳම බිම් මට්ටමේ ආකෘතියක් හදලා දෙනකන් අපි ඒ ක්‍රීඩකයින්ව අසාර්ථක කරනවා. ඒ නිසා ඔවුන්ව අසාර්ථක කරන ඒ පද්ධතිය දෙසට ඇඟිල්ල දිගුනොකර වර්තමානයේ තරුණ ක්‍රීඩකයින් දෙසට ඇඟිල්ල දික්කරන එක ගොඩක් අසාධාරණයි.”

තවත් කියවන්න;

අවසාන වශයෙන් සංගක්කාර මෙහි දී මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතින ‘Black Lives Matter’ ව්‍යාපාරයට සමගාමීව ජාතිවාදය සහ එකිනෙකා වෙනස්කොට සැලකීම පිළිබඳව ද අදහස් දක්වනු ලැබීය.

“සමේ පැහැය මත පදනම් වෙලා විතරක් නෙමෙයි ඒ වගේ වෙනස්කොට සැලකීම් සිදු වෙන්නේ. ජාතිවාදයේ සහ වෙනස් කොට සැලකීමේ විධි කිහිපයක්ම තිබෙනවා. ඒවගෙන් සමහරක් ඓතිහාසික වශයෙන් පැවතගෙන එන ඒවා. තවත් සමහරක් අවස්ථානුකූලව සිදුවෙන ඒවා. 

අපි ‘Black Lives Matter’ වගේම ලෝකය පුරා ජාතිවාදය සහ වෙනස්කොට සැලකීම් ගත්තොත් මම හිතනවා ඒකට කරන්න පුළුවන් වැදගත් ම දේ තමයි අපේ දරුවන්ට නිවැරදි විදිහට ඉතිහාසය උගන්වන එක කියලා. නැතුව ඉතිහාසයේ පිරිපහදු කරපු පිටපත් උගන්වන එක නෙමෙයි.

ඔබ හරිම විදිහට ඇත්තම ඉතිහාසය ඉගෙන ගත්තොත් මම හිතනවා ඔබට ආකල්පවල ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් වෙයි කියලා. අපි හැමෝටම උගන්වලා තියෙනවා අපේ රටට ආදරය කරන්න කියලා. ඒත් සමහර වෙලාවට අපි ඒක අන්ධ විශ්වාසයකින් අනුගමනය කළාම වෙන්නේ ඒ හරහා වෙනත් සංස්කෘතීන්, රටවල්, මිනිස්සු, ජාතීන් වගේම වෙනත් ආගම් ද අගය කරන එක නවතින එක. 

ඉතින් ඔබ හොඳට ඒවා ගැන ඉගෙන ගන්න, ඔබේ මනස විවෘත කරන්න වගේම විශේෂයෙන්ම ඔබගේ දෑස් විවර කරලා බලන්න. මොකද එහෙම නැතුව වෙනසක් වෙන්නේ නෑ වගේම තමයි ඒ වෙනස එක රැයකින් වෙන්නෙත් නැහැ.”

Cricbuzz වෙබ් අඩවියේ පළවූ ලිපියක පරිවර්තනයකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<